දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මනුෂ්‍යයාට තිබෙන මාණික්‍යය කුමක්ද?

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ ශාස්තෘන් වහන්සේ සැදැහැවත් දෙව් මිනිසුන් විසින් “සමන්ත චක්ඛු” නමින් මහත් ගෞරවයෙන් හඳුන්වනු ලැබුවා. එහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකය තුළ වැසුණු නොදුටු කිසිවක් ම තිබුණේ නැහැ. ඒ ආශ්චර්යවත් සම්බුදු නුවණින් මනාකොට විසඳාලිය නොහැකි කිසිදු ගැටළුවක් තිබුණේ ද නැහැ. තමන්ට නිවැරැදි ලෙස අර්ථ වටහා ගත නොහැකි ප්‍රශ්න විසඳා ගැනීමට සැදැහැ සිත් ඇති මිනිසුන් මෙන් ම දෙව් බඹුනුත් ඒ බුදුරජාණන් වහන්සේ සොයා පැමිණියේ ඒ නිසාම යි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරායේ. එදා රැය පහන් වෙද්දී එක්තරා දෙව් කෙනෙක් මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ආවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් හිටගත්තා. හිටගත් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා.
කිංසු යාව ජරා සාධු 
කිංසු සාධු පතිට්ඨිතා
කිංසු නරානං රතනං 
කිංසු චෝරේහි දූහරන්ති

ජරාජීර්ණ වෙලා යනතෙක්ම පුරුදු කරන්න හොඳ මොකක්ද? කුමක් මත පිහිටීමද හොඳ? මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක් ද? හොරුන්ට පැහැරගන්න බැරි දේ මොකක් ද? ඒ දෙවියාගේ පැනයට බුදුරජාණන් වහන්සේ සිව්පද ගාථාවකින් මෙසේ සෘජු පිළිතුරක් වදාළා
සීලං යාව ජරා සාධු 
සද්ධා සාධු පතිට්ඨිතා
පඤ්ඤා නරානං රතනං 
පුඤ්ඤං චෝරේහි දූහරන්ති

ජරාජීර්ණ වෙලා යනතාක්ම හොඳ, සිල් රැකීම තමයි. ශ්‍රද්ධාව මත පිහිටීම තමා හොඳ. මිනිසුන්ගේ මාණික්‍යය කියන්නේ ප්‍රඥාවටයි. පින තමයි සොරුන්ට පැහැරගන්න බැරි.
අරුත් කැටිකොට බුදුරජාණන් වහන්සේ විසින් පවසා වදාළ මේ ගාථාව තුළ දෙව් මිනිස් ජීවිත පරිපූර්ණ වශයෙන් සුවපත් කර ගැනීමට උපකාර වන ධර්මයක් අන්තර්ගතව තිබෙනවා. මේ ලෝකයේ සාමාන්‍ය කෙනෙකු හට නම් වයසට යනතුරුම සිල්වත්ව ජීවිතය ගතකිරීම වටිනා දෙයක් බව තෝරාබේරා ගන්නට හැකියාවක් නැහැ. අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ මේ අර්ථය වදාරන්නේ මෙලොව පරලොව දෙකෙහිම ඇති තතු මනාව දකිමින්. සිල්වත් බවෙහි වටිනාකම ඒ ශීලය පරිපූර්ණ කළ සම්බුදු ශ්‍රාවක වූ සීලව නම් රහත් මුනිඳුන් විසින් මෙසේ වදාළා.
මේ බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයම යි. මේ ජීවිතයේදී හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා. නුවණ තිබෙන කෙනා සිල් රකින්නට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමා ප්‍රශංසාව ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටුවීම. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා ඔහුට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල කෙනා පාපි ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සේම ගුණ කථාවත් ප්‍රශංසාවත් ලබනවා.
මුලින්ම පිහිට වෙන්නේ ශීලය යි. ශීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ දෙයක්. සියලු ගුණ ධර්මවල ප්‍රමුඛයා ශීලය යි. එනිසා ශීලය පිරිසුදුව තබා ගන්නට ඕනෑ. සිත මහා මුහුද නම් ශීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන සීලය හැම බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථය යි. ඒ නිසා ශීලය පිරිසුදුව තිබෙන්නට ඕන. ශීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්. මහේශාක්‍ය පාලමක්. අති උතුම් සුවඳක්. දස දිශාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ ශීලයට යි. ශීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.
ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදීත් අපායේ ඉපදිලා දුක් විඳින්නට සිදුවෙනවා. ශීලයක් නැති එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා. ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා. පරලොවදී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කර ගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා.ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන්නේ ශ්‍රද්ධාව මත පිහිටා කටයුතු කිරීම හොඳ බවයි. ශ්‍රද්ධාව කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ඇති පැහැදීමට යි. (සද්දහති තථාගතස්ස බෝධිං) ශ්‍රද්ධාවෙන් යුතු ශ්‍රාවකයා කල්පනා කරන්නේ (සත්ථා මේ භගවා) භාග්‍යවතුන් වහන්සේ තමා මගේ ශාස්තෘන් වහන්සේ (සාවකෝ හමස්මි) මම වනාහි ශ්‍රාවකයා වෙමි (ජනාති භගවා) භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක (අහං න ජානාමි) මම කිසිත් නොදනිමි යනුවෙන් බව ‘කිටාගිරි’ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා. යම් කෙනෙක් බුදු රජුන්ගේ අවවාදයට අනුශාසනාවට අනුවම කටයුතු කළේ ඔවුන්ට සැප සැලසෙන යහපත උන්වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබෙනවා.
පින්වත් මහණෙනි, මම මේ ලෝකයේ යථාර්ථය දකින්න දක්ෂ කෙනෙක්. මම පරලොව යථාර්ථය දකින්නත් දක්ෂ කෙනෙක්. මම මාරයාට අයත් දේ හඳුනාගන්න දක්ෂ කෙනෙක් . මම මාරයාට අයත් නොවන දේ දකින්නත් දක්ෂ කෙනෙන්. මම මරණයට අයත් දේ දකින්න දක්ෂ කෙනෙක්. මම මරණයට අයත් නැති දේ දකින්න දක්ෂ කෙනෙක්. මහණෙනි, යම්කිසි කෙනෙක් මම කියා දෙන ධර්මය ඇසිය යුතුයි, විශ්වාස කළ යුතුයි කියා හිතනවානම් එය ඔවුන්ට බොහෝ කලක් හිතසුව පිණිස ම පවතින්නේ.
මිනිසුන්ට ඇති වටිනාම වස්තුව ලෙස භාග්‍යවතුන් වහන්සේ් පෙන්වා දුන්නේ ප්‍රඥාව යි. උන්වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකයාට තිබිය යුතු ප්‍රඥාාව නම් මෙයයි. එනම් ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වූයේ වෙයි. සංස්කාරයන්ගේ හට ගැනීමත්, වැනසී යාමත් දකිනා ආර්ය වූ කලකිරීමෙන් යුතු මනාකොට දුක් ක්ෂය වීම පිණිස පවතින ප්‍රඥාවේ යුක්ත වුයේ වෙයි. දවසක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා ඒ ප්‍රඥාව ලබන්නේ කෙසේද කියා. උන්වහන්සේ ඊට පිළිතුරු ලෙස වදාළා
සද්දහානෝ 
ධම්මං නිබ්බාන පත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං 
අප්පමත්තෝ විචක්ඛණෝ

ඒ අමා නිවනට පමුණුවන රහතුන් පවසන ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ඒ ධර්මය ආශාවෙන් අහන්න ඕන. ඒ ධර්මය අප්‍රමාදීව නුවණින් විමසන කොට ප්‍රඥාව ලැබෙනවා.ගාථාවේ අවසන් පදයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ජීවත්වන කාලය තුළ අපට රැකවරණය ලෙස රැස් කළ හැකි උතුම්ම දෙය පින බවයි. පින ගැන සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් විවරණයක් ‘නිධිකණ්ඩ සූත්‍රයේ’ සඳහන් ව තිබෙනවා. යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම් සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, ඒ තමා ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නේ. දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහළු සහෝදර සහෝදරියන්ටත් දන්දීම් ගෞරව දැක්වීම් ආදිය කරනවානම් මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බැහැ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. සියල්ලම අත්හැර පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමා අරගෙන යන්න තිබෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බැහැ. හොරුන්ට පැහැර ගන්නත් බැහැ. තමා පස්සෙන් එන ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළයුත්තේ. දෙවි මිනිසුන්ට තමන් කැමැති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමා. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම්, ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි. මිනිස් ලොව සැපවත්, දිව්‍ය ලෝක සැපවත් තව සැප සම්පත් ඇත්නම් ඒවාත් ඒ අමා නිවන් සුවයත් යන මේ හැම දෙයක්ම (දාන, සීල, භාවනා තුළින් ලබාගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි. මේ ආකාරය යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සද්පුරුෂයන් කළ පින් ඇති බව දැන් ප්‍රශංසා කරන්නේ.
සියල්ල දන්නාවූත්, සියල්ල දක්වාවූත් ඒ සම්බුදු නුවණින් පෙන්වා නොදෙන්නට, සෑබෑවටම ජීවිතයක් සුවපත්වීමට උපදවා ගත යුතු මෙබඳු ධර්මයන් ලෝකයට කෙලෙසක නම් විවර වේවිද? එනිසා ඒ අසිරිමත් සම්බුදු නුවණින් අවබෝධ කොට දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය සුරැකිව පවතින යුගයක මිනිසුන් අතර උපන් අප ශ්‍රද්ධාව, ශීලය, ප්‍රඥාව වැනි උතුම් ගුණධර්ම ජීවිත තුළ උපදවාගෙන පිනෙන් පිරුණු ජීවිත ඇතිකර ගන්නට මහන්සි ගනිමු.
නයනා නිල්මිණි