දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසුනට සිත අලවා වාසය කිරීම

කථිකාචාර්ය, දර්ශනපති,

රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි

භව කතරෙහි තෘෂ්ණාභරිත ව අතරමං ව සසර ගින්නෙන් දැවි දැවී ඇවිදින්නා වූ මං මුලා වූ සත්ත්වයාට ඉන් මිදීමේ මාර්ගය පහදා දුන් ඒ ආශ්චර්යමත් ධර්මය ලොවට වදාළ උතුමාණෝ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ අසිරිත් බුදු බණ නිරන්තරයෙන් ශ්‍රවණය කිරීමෙන් සද්පුරුෂයන්ගේ සිත පාරිශුද්ධභාවයට පත්වෙනවා.
චිත්ත පාරිශුද්ධත්වයට වඩා වටිනා තවත් යමක් ඇතැයි සිතීම පවා දුෂ්කරයි. එය උපමාවකින් කියනවානම් මේ සිත හරියට විලක් වගේ. අප දන්නවා විලක ස්වරූප දෙකක් පවතින බව. ඒ පස් පියුමෙන් සුසැදි ව අලංකාර ව සුවඳ විදාරණය කරමින් නිශ්චල ව පවතින අවස්ථාව සහ විල කැළඹිලා බොරවෙලා දුර්වර්ණ ව පවතින අවස්ථාව.
පළමු අවස්ථාවේ විලෙහි අසිරියක්, අලංකාරයක්, සුන්දරත්වයක් දකිනවා. විඳිනවා. දෙවන අවස්ථාවේ විලක ඕලු, මානෙල් ආදී පංච පුෂ්පයන්ගෙන් සජ්ජිත ව සුසැදි ව තිබෙනවා වෙනුවට සුළඟට මුසු වූ දුගඳ සහ අව පැහැය යි. මඩ ගොහොරුවකින් හමන ගන්ධය පමණයි. ඒ නිසා එහි වටිනාකමක් අප දකින්නේ නැහැ. මඩ වලක් දෙස අප හෙළන දෘෂ්ටිය පිළිකුල්. අප පි‍්‍රය කරන්නේ විලක කුමන අවස්ථාව ද කියා අප හොඳින් දන්නවා. එහෙනම් අප අවබෝධ කරගත යුත්තේ, අවධාරණය කරගත යුත්තේ මේ දෙයාකාර ස්වභාවයේම අපේ සිතේ තත්ත්වය ද පවතින්න පුළුවන් බවයි. විලක් වගේ නිශ්චල ව පවතින සිතක් තිබෙන්නත් පුළුවන්. විලක් වගේ කැලඹිලා පවතින සිතක් තිබෙන්නත් පුළුවන්. ඒත් වැඩිපුරම මිනිස් සිත් පවතින්නේ කැලඹුණු දැඩි ස්වරූපයෙන්. උත්සාහ කළොත් නො කැළඹුණු සිතක් පවත්වා ගැනීමට අපට අවකාශය තිබෙනවා. එහෙම සිතක් පවත්වාගන්න පුළුවන්නම් ආධ්‍යාත්මික වටිනාකමක් අපේ ජීවිතවලට සමීප කර ගන්න භාග්‍යයක් උදා වෙනවා. එනිසා නිතරම අමිල වූ ආධ්‍යාත්මික දේ සමීප කර ගන්නට අප උත්සාහ කළ යුතු වෙනවා.
මේ මිනිස් සිත කැළඹෙන්නේ කොහොම ද? අපටත් විවෘත කළ විට සුළඟ හමන දොරටු තිබෙනවා. ඒ ඇස, කන, දිව, නාසය, ශරීරිය කියන පංචේන්ද්‍රියයන්. මේ දොරටු හරහා අප ලබා ගන්නා සිත කළඹන සුළගෙත් ප්‍රභේද තිබෙනවා.
1. ඇස නමැති දොරටුව හරහා හමන රූප නමැති සුළඟ , 2. කන නමැති දොරටුව හරහා හමන ශබ්ද නමැති සුළඟ, 3. දිව නමැති දොරටුව හරහා හමන රස නමැති සුළඟ, 4. නාසය නමැති දොරටුව හරහා හමන ගන්ධ නමැති සුළඟ,
5. ශරීරය නමැති දොරටුව හරහා හමන ස්පර්ශ නමැති සුළඟ
මේ පංචවිධ සුළඟ පංච ද්වාර හරහා නිරන්තරයෙන්ම හමනවා. එහෙම හමන විට සිත කැළඹෙනවා. සිත තුළ සිතිවිලි පහළ වෙනවා. ඒවා වැල් පට වැල් ඇදිලා අප විඩාවට පත්කරනවා. වෙහෙසට පත් කරනවා. හොඳ නරක නො වැටහී යනවා. කිසිදු අරමුණකට පවා පොළොඹවන්නේ නැතිව යනවා. ඒ නිසා කැළඹුණු සිත කැළඹුණු විල සේ ම සුවයක්, මිහිරක් අප වෙත සමීප කරන්නේ නැහැ. ඒනිසා අප ධර්මය මනසිකාරයෙන් යුක්ත ව චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත ව කටයුතු කරන්න උට්ඨාන වීර්යය ඇතිකර ගැනීම අනිවාර්ය වෙනවා.
අද අප ඔබට ඒ සඳහා පහාරාද සූත්‍රය කියා දෙනවා. කවුරුත් හඳුනන පි‍්‍රයකරන සොබාදහමේ අපූරු නිමැවුමක් වූ මහා සාගරය පිළිබඳව වගේම උත්කෘෂ්ඨ ගෞතම බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා මේ සූත්‍ර ධර්මයට ගොනුවෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මහා සාගරයේ සහ බුද්ධ ශාසනයේ පවතිනා වැදගත් කාරණා උපමාත්මක ව පහදා දුන්නා.
මෙහි නම අන්වර්ථ වී තිබෙන්නේ ඒ නමින් හඳුන්වන අසුරයා නිසා. "පහාරාද" නිකම් ම අසුරයෙක් නොවේ. අසුර නායකයෙක්. බුදුරජාණන් වහන්සේ දිනක් වේරංජාවේ නලේරු නමැති වෘක්ෂ මූලයෙහි වැඩ ඉන්න විට එතැනට බොහෝ පිරිස ධර්මය අසන්නට පැමිණුනා. මේ පහාරාද අසුරයාටත් අසන්න ලැබුණා තථාගතයන් වහන්සේ ඉතා මිහිරි ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය අසන සත්ත්වයෝ සුවපත් වෙනවා කියලා. මෙහි සත්‍යයතාව විමසන්නට පහාරාදත් යනවා. තථාගතයන් වහන්සේ වදාළා සතුට සාමිචියේ යෙදනවා.
උන්වහන්සේ වදාළා පහාරාද, ඔබ මෙතරම් මහ මුහුදට කැමැති ඇයි? කියලා. ස්වාමිනි, අප කරුණු අටක් නිසා මහමුහුදට ආශාව උපදවා ගෙන වාසය කරනවා.
1). මේ මහ මුහුද හරි ගැඹුරුයි. ගැඹුරු වුනාට ආරම්භය ගැඹුරු නොවන නිසා අප මුහුදට සිත් අලවා වාසය කරනවා. 2). මේ මුහුදේ විවිධ රැලි ඇතිවෙනවා. ඒත් සාමාන්‍ය අවස්ථාවල ඒ කුමන රැලි ආවත් ඒ රැලි වෙරළ ඉක්මවා නොයන නිසා සිත් අලවා වාසය කරනවා. 3). ඒ වගේම මේ මහමුහුදට මළකුණු ආදි කුණුප කොටස් එකතු වෙනවා. ඒත් ඒවා රඳවා නො ගෙන වෙරළ වෙත සමීප කරන නිසා අප මුහුදට සිත් අලවා වාසය කරනවා, 4). මේ මහා මුහුදට ගංගා, යමුනා, අචිරවතී ආදි විවිධ නම් සහිත ගංගා ජලය එකතු වුණත් එකතු වූ පසු එකී නාමයන්ගෙන් පෙනී නොසිට එකම සාගර ජලය යන නමින් පමණක් පෙනී සිටින නිසා මුහුදට සිත අලවා වාසය කරනවා, 5). මේ මහ මුහුදට කොපමණ ගංගා ජලය හෝ වැසි ජලය ඒකරාශි වුණත් අඩු වැඩි බවක් නො පෙනෙන නිසා අප මුහුදට සිත අලවනවා, 6). මහමුහුදට කරදිය, මිරිදිය ආදි වූ හෝ කුමන රසයක් සහිත ජලය ඒකරාශි වුණත් එකම ලුණු රසය පමණක් ගන්නා නිසාත් අප මුහුදට සිත අලවා වාසය කරනවා, 7. විවිධ වටිනා මැණික් වර්ග ගැවසෙන නිසා අප මහ මුහුදට සිත් අලවා වාසය කරනවා, 8. ස්වාමිනි, කුඩා සත්ත්වයෝ පමණක් නොව තල්මුසන් ආදි කොට ඇති විවිධාකාර මහා සත්ත්වයෝ වාසස්ථාන කොට ඇති නිසා ද අප මහ මහුදට සිත් අලවා වාසය කරනවා කියා පහාරාද පවසා සිටිනවා. තථාගතයන් වහන්සේ පහාරාදට වදාළා පහාරාද ඔබ කියු කාරණා බුද්ධ ශාසනනයේදීත් දකින්න පුළුවන්. ඒ නිසාම මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට සිත අලවා වාසය කරනවා.
1.) මේ ශාසනයත් ගැඹුරුයි. ඒ සාගරය සේ් ම ආරම්භය ගැඹුරු නොවන නිසා ශාසනයට කැමැති අයෙකුට සිත් අලවා වාසය කළ හැකියි. (පංචසීලය සරණ යෑමෙන් ඔහුට මේ ශාසනය පිවිසිය හැක.)
2.) පහාරාද, මේ ශාසනයේද විවිධ රැලි, විවිධ ප්‍රශ්න ඇතිවිය හැකියි. නමුත් වෙරළ හෙවත් සීලය (පන්සිල්, දසසිල්, අධිසිල්) කඩා බිඳගෙන නොයන නිසා සසුනට ද සිත් අලවා වාසය කළහැකියි
3). මහමුහුද මළකුණු ආදි කුණප කොටස් රඳවා නො ගෙන වෙරළ වෙත සමීප කරනා සේ සසුනෙහි සීලය බිඳගත් යමෙක් වේ නම් ඉබේම ඔහු සසුනෙන් බැහැර වෙන නිසා සසුන පිරිසුදු වෙනවා. ඒ නිසාද සසුනෙහි සිත් අලවා වාසය කළ හැකියි.
4) පහාරාද, මහමුහුදට ගංගා, යමුනා, අචරවතී ආදි විවිධ නම්ගොත් සහිත ගංගා ජලය එකතු වුණත් එකතු වූ පසු එකී නාමයන්ගෙන් පෙනී නොසිට එක ම සාගර ජලය ලෙස පෙනී සිටිනවා සේ විවිධාකාර උස් පහත් කුලවලින් පිරිස් ශාසනයට ඇතුළු වෙලා පැවිදි වූ පසු “බුද්ධ ශ්‍රාවක” යන එකම සංඥා නාමයකින් පෙනී සිටින නිසා සසුනෙහි සිත් අලවා වාසය කළ හැකියි.
5). මුහුදට කොපමණ ගංගා ජලය හෝ වැසි ජලය ඒකරාශී වුවත් අඩු-වැඩි බවක් නො පෙනෙන්නේ යම් සේද සසුනෙහි ද එලෙසම යි. කොතරම් පිරිසකගේ යෑම් ඒම් සිදුවුවත් අඩුවැඩි බවක් මතුවෙලා පෙනෙන්නේ නැහැ. ඒනිසා සසුනෙහි සිත අලවා වාසය කළ හැකියි.
6). මුහුදට කරදිය, මිරිදිය ආදී වූ කුමන රසයක් සහිත ජලය ඒකරාශි වුණත් එකම ලුණු රසය පමණක් ගන්නා අයුරින්ම ගෞතම බුද්ධ ශාසනයේද අනුගාමික පිරිසට ඒ මඟ ගමන් කිරීමෙන් ලැබිය හැක්කේ එකම රසයකි. ඒ විමුක්ති රසය යි. ඒ නිසා සසුනෙහි සිත් අලවා වාසය කළ හැකිය.
7). මැණික් වර්ග ගැවසෙන නිසා මුහුදට ඔබ සිත් අලවා වාසය කරන අයුරින් මේ බුදු සසුනේ වඩා වටිනා මාණික්‍යයෝ පවතිනවා. ඒ නිසාම සසුනේ සිත් අලවා වාසය කළ හැකියි.
8) සාගරයේ ලොකු කුඩා සතුන් සිටිනවා සේම බුදු සසුනේ ද සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් උත්තමයන් වැඩ සිටිනවා. ඔවුන් මාර රාජ්‍යය කඩා සුණු විසුණු කොට ආර්ය රාජ්‍යය දිනාගත් අයයි. ඒ නිසාද ශාසනයට සිත් අලවා වාසය කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය මෙසේ පැහැදිලි කරද්දී පහාරාද කියනවා ස්වාමිනි, මට සයුර පිළිබඳ වූ කාරණා අටට වඩා සසුන සමෘද්ධිමත් බව වැටහි ගියා. මාද මේ මාර රාජ්‍යයෙන් එතෙර කළ මැනව කියා. එහි ප්‍රතිළුලය ලෙස පහාරාද සයුර හැර සසුනට ඇතුළුව එකී ලක්ෂණ අටම අවබෝධයට ගෙන සිත් අලවා එහි වාසය කිරීම යි.