දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

තිදොර සංවර කර ගත යුත්තේ ඇයි

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති 

මාවරලේ භද්දිය හිමි

බුදු දහම සම්මුති සංවරය තුළින් පමණක් නැවතිය යුතු යැයි ප්‍රකාශ කරන දහමක් නොවේ. බුද්ධ ශ්‍රාවකයන් වන අපගේ අරමුණ වනුයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමයි. ලස්සනට සංවරව ඇඳ පැළඳ අනෙකුත් පිරිසගේ සිත කලබල කරන්නේ නැතිව සිටීම පමණක් අපගේ ජීවිතයේ අරමුණ නොවේ. මිනිස් ජීව්තයක ප්‍රධානම අරමුණ නිවන් දැකීමයි. නිවන් දැකීමට නම්, අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ සංවරකමක්ද කයෙන් වැරැදි තුනක් නොකර සිටීම පළමු කාරණාවයි.
කායේන සංවරෝ සාධු 
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු 
සාධු සබ්බත්ත සංවරෝ
කය සංවර කරගත යුතුවා සේම සියලුම ආකාරයෙන් සෑම පැත්තකින්ම සංවර විය යුතු බව බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇත. සම්මුති ලෝකය තුළ , සංවරකම සහ අපගේ පරමාර්ථ සම්පූර්ණ කරගැනීම සදහා කටයුතු කළ යුතුයි. සම්මුති ලෝකයේ සංවරකම යනු පාරේ ගමන් කිරීම සඳහා කහ ඉරක් ලකුණු කර තිබේ නම් එම කහ ඉරෙන් පමණක් පාර මාරුවීම සංවරකම වේ. මිනිසුන් ට ගමන් කිරීම සදහා පදික වේදිකාවක් ගොඩනගා තිබෙනවා නම් එම පදික වේදිකාවෙහි නිවැරැදි පැත්ත තුළ ගමන් කිරීම සංවරකම වේ. පඩි පෙළක ඉහළට නගින විට එය බැසයන පිරිසට ඉඩ තබමින් පඩි පෙළ නගින පිරිස එක පැත්තකින් පමණක් පඩිපෙල දිගේ ඉදිරියට ගමන් කිරීම අපගේ සංවර කමයි. සමිමුති ලෝකය තුළ සංවරව ජීවත් නොවුන හොත් ලෝකය තුළත් හරිම අපිළිවෙළක් ඇතිවෙයි. මිනිසුන් අසංවරව පාරේ ගමන් කරනවා නම්, අසංවරව යම් ස්ථානයකට ඇතුළු වනවා නම්, හෝ පිට වී යනවා නම්, එම රට ඉදිරියට ගමන් කරන්නේ නැහැ.
බටහිර රටවල ජයග්‍රහණය සඳහා එක් හේතුවක් වනුයේ ඔවුන් සම්මුති පැවැත්ම සඳහා අවශ්‍ය සංවරය ඔවුන් විසින් නිවැරැදිව ගොඩනගා ගෙන තිබීමයි. ඔවුන්ට ගමනක් යාමට තිබෙනවා නම් එම පිරිස බසය නියමිත වේලාවට පැමිණෙන නිසා එම වේලාව ප්‍රමාද නොකර නියමිත වේලාවට පෙර අදාළ බස් නැවතුම වෙත පැමිණ රැඳී සිටීමට තරම් ඔවුන් තුළ සංවරකම සහ ඉවසීම ගොඩනගා ගෙන තිබීම ඔවුනගේ අනාගත අභිවෘර්ධියට එක හේතු සාධකයක් වෙයි. එම බසය පිටත්වීමට තිබෙන නියමිත ෙවිලාව පැමිණි විගසම දොරටු වසාගෙසන බසය ගමන ආරම්භ කරයි. විනාඩි දහයක් මෝ ප්‍රමාද වූ මඟියකු ඇත්නම් ඔහු හෝ ඇය ඊළඟට පැමිණෙන බසයේ ගමන් කළ යුතුයි. අප හැඩ ගැසී තිබෙන්නේ අප ගෙදර සිට එනකම් හෝ බසය නවත්වාගෙන සිටිය යුතුය යන මානසිකත්වය වන අතර රියදුරු මහත්වරුද නියමිත වේලාවට අප රැගෙන යන්නේද නැත. අප ප්‍රමාද වී බසයට ගොඩ වුවද අපගේ අවශ්‍යතාව වනුයේ නියමිත වේලාවට අපට අදාල ස්ථානයට රුගෙන යා යතු බවට අප සිතනු ලබයි. අප සම්බන්ධව ගනු ලැබුවාවූ තීරණයම පාරේ ගමන් කරන හැම පුද්ගලයා කෙරෙහිම ක්‍රියාත්ක කිරීම නිසා සම්ුපූර්ණයෙන්ම මිනිසුන් පනහකගේ හැටකගේ සම්පූර්ණ වැඩ කටයුතු අඩාල වෙයි. නියමිත වේලාවට යා යුතු නම් නියමිත වේලාවට බසය පිටත් විය යුතු අතර මඟියාද නියමිත වේලාවට බස් නැවතුම වෙත පැමිණිය යුතුªයි. මඟීන් බසයෙන් බසිද්දීම අනෙක් පැත්තෙන් රිංගීමට හෝ උත්සාහ කිරීම නිසා වන ප්‍රමාදයෙන් අපගේ සියලුම කටයතු ප්‍රමාද වී යයි. බසය තුළ සිටින අන්තිම මඟියා බසයෙන් බසින තෙක් බලා සිට බසයට නැඟීමට තරම් අප කාරුණික වන්නේ හෝ සංවර වන්නේ නැත. රටවල් දියුණු වී ඇත්තේ එම සංවරකම නිසයි. අපගේ පිළිවෙළක් නැතිකම නිසාම අප අසාර්ථක මිනිසුන් බවට පත්වනු ඇත. අප තුළ සංවරයක් ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතුය.
ඇඳුම පැළඳුම, ආහාර පාන ගැනීම, බුදුන් වැඳීම, මෙන්ම තමන් කරන ක්‍රියාවන් සඳහා එයට අදාළ විනයක් තිබිය යුතුය. එසේ නොවුන හොත් සම්මුති ජීව්තය අවුල් සහගත වනු ඇත. සාමාන්‍ය ලෝකය තුළ පවතින සංවරකම ආගමකට අයත් වන කාරණාවක් නොවේ. කහ ඉර පැනීම නිවැරැදිව පාර මාරුවීම සඳහා නීතිය පමණක් අදාළ වන අතර එය වෙනත් ආගමකටද යන්න ආගමකට ඇතුළත් කාරණාවක් නොවේ. බස් නැවතුම ආගමකට අදාළ වන්නේ නැත. සංවරකම සෑම විටම ආගමික කාරණාවක් ලෙස නොගත යුතුය. සංවරවීම රටේ පොදු සම්ප්‍රදායක් වෙයි. බොහොම හෙමින් කතාකරන, සෙමින් වැඩකටයුතු කරන , දඟලන්නේ නැතිව සිටීන පිරිස් සංවර වුවන් ලෙස අප සැළකුවද එහි වරදක් නැතත් සෙමින් කතා කිරීම වාචසික සංවරය ලෙස බුදු දහම හඳුන්වන්නේ නැත. 'දිවීම' කායික අසංවරය ලෙස බුදුදහම සළකන්නේ නැත.
ස්වාමීන් වහන්සේ නමක් දිව්වා කියා අපායගාමීවන්නේ නැත.ස්වාමීන් වහන්සේගේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් ඒ තුළ නොමැති වුවද, එසේ දිවීම ස්වාමීන් වහන්සේ නමකට ගැලපෙන්නේ නැත. දිවීම තුළින් ස්වාමීන් වහන්සේ නමක් දුසිල්වත් බව තීරණය කළ නොහැකිය. එය ස්වාමීන් වහන්සේගේ නිවන් මඟ සමඟ සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසාම පූර්ණ අවබෝධය කරා යන ගමනට එය කිසිදු සම්බන්ධයක් නැති බව ඔබ වටහාගත යුතුයි. ස්වාමීන්වහන්සේලා සිල්වත්ද දුසිල්වත්ද යන්න මැනීම සඳහා මිනිසුන් එවැනි ක්‍රියාවන් යොදා ගනු ලබයි. වචන උච්චාරණය කිරීම , අතපය හැසීරවීම බුදුහාමුදුරුවන් දේශනා කරනු ලැබූ ආගමික ශික්ෂාවට හෙවත් ආගමික සංවරකමට අදාළ වන්නේ නැත. සාමාන්‍ය සම්මුති ලෝකය තුළ සිටින මිනිසුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය වනුයේ සිල්වතා කවුද යන්න පිළිබඳව තවකෙනකුගේ සිල්වත් බව සෙවීමට වැඩකට නැති කාරණාවක් ද වෙයි. ගිහි පැවිදි දෙපිරිසම සම්පූර්ණ විශ්වාසය මත පිහිටා වැඩ කටයුතු කරගෙන යනු ලබයි. ස්වාමීන් වහන්සේලා සිල්වත් බවට ගිහියා විශ්වාස කරන අතර ගිහියා ගිහි සිල් ආරක්ෂා කරනු ඇති බවට ස්වාමීන් වහන්සේලා විශ්වාස කරනු ලබයි.
සිල්වත් බවේ ප්‍රමාණය දන්නේ තම තමන් පමණයි. සීලය කෙතරම්ද යන්න සොයාගැනීම ඇතැම් පුද්ගලයන්ට අවශ්‍ය කාරණාවක්. සීලය පිළිබඳව කිසියම් දුරක් බලාගෙන යාම හාමුදුරුවන්ට පමණක් නොවේ, ගිිහියන්ටත් එතරම් හොඳ කාරණාවක් නොවේ. පාරේ ගමන් කරන විට බඹයක් පමණ දුර බැලිය යුතු බව බුදුපියාණන් වහන්සේ ගිහියන්ටත් ස්වාමීන් වහන්සේලාටත් වදාරා ඇත. ඒ ටික දුර හෝ සිහිකල්්පනාවෙන් සොයා බලා ගමන් කළහොත් වළකට හෝ ඇද වැටීමට හැකියි. එය නිවනට සම්බන්ධ කාරණා නොවුනත් බුදුපියාණන් වහන්සේ එවැනි දේ වදාරනු ලැබ ඇත්තේ එය ජීවත් විමට අවශ්‍ය වන කාරණා වූ බැවිනි. මහ හයියෙන් කෑ කෝ ගසන අය බුදු හිමියන්ගේ ශ්‍රාවකයන් නොවන අතර කෑ නොගසන අය බුදුහිමියන්ගේ ශ්‍රාවකයන් වන්නේද නැත. කොක් හඬළා සිනාසෙන්නේ නැතුවා සේම එසේ නොකරන පිරිස බුද්ධ ශ්‍රාවකයන් බව ඒ තුළින් ඇඟවෙන්නේ නැත. බුද්ධ ශ්‍රාවකයකු වීමට කළ යුත්තේ වෙනම කාරණාවන් වේ.
සංවරකමෙහි සම්මුති අර්ථයක් තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි. උපාසිකාවක් තමන්ට ගැලපෙන ඇඳුමින් පැළඳුමින් ද , තරුණ දරුවන් ඔවුන්ට ගැලපෙන සංවර ඇඳුමින්ද පැළඳුමින්ද සැරසී ආගමික ස්ථානවලට පැමිණීම සම්මුතියෙහි පිහිටුවිම වෙයි. සම්මුති ලෝකය තුළ ජීවත් වීමේදී අනික් අයගේ අසංවරකම නිසා අප අසංවර වීම වැළැක්විම පමණක් නොව තමන්ගේ අසංවරකමෙන් අනෙකුත් පිරිස් අසංවර වීම ද වැළැක්විය යුතුයි. අනිත් පිරිස් නිසා අප අසංවර නොවී සිටීමත් සංවරකම වන අතර, අප නිසා අනිත් අය අසංවර තත්වයට පත්නොකර ඉඳීමත්, සංවරකමක් වෙයි. එම සංවරකම් දෙකම අපට අවශ්‍ය කාරණා වන අතර අප කරන ක්‍රියා තුළින් අනෙකුත් පිරිස අසංවර නොවී සිටීමට උත්සාහ කළ යුතුයි. ඇඳුම් පැළඳුම් , කතාබහ හැසීරීම් වැනි කාරණා තුළින් ප්‍රවේසමි විය යුතුය. ස්වාමීන් වහන්සේලා එළියට වැඩම කරනවා නමි,හෝ ගමේ වැඩම කරනවා නම්, හාත්පසින්ම බෙල්ලේ සිට වළලුකර දක්වා සිරුර වටකර සිවුර පෙරවිය යුතු බවට බුදුපියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට වදාරා ඇත. සිරුර වැසෙන සේ දෙවුරම වැසෙන ආකාරයට සිවුර ඇඳිය යුතු බව වදාරා ඇත. ස්වාමීන් වහන්සේලා ගමේ වඩින අවස්ථාවන් තුළ උන්වහන්සේලාගේ ඉන්ද්‍රියන් තුළින් අනෙකුත් පිරිස අසංවර වීම වැළැක්වීමටත්, ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු වීම සදහා අනෙකුත් පිරිසගේ කරදරකාරී අවධානමකට ලක් විම වැළැක්වීම සදහායි. ඒ තුළින් දෙපාර්ශ්වයේම සංවරය ආරක්ෂා වෙයි. දෙවුර වසා සිවුර පෙරවීම ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාවටත් හොඳයි. කාන්තාවන් සංවර ආකාරයෙන් ඇඳීම තුළින්ම ඔවුන්ගේ ආරක්ෂාව සැළසෙයි. පන්සල ට පැමිණෙන විට සංවර වූ ඇඳුමක් ඇඳ පැමිණිම වඩාත් යෝග්‍ය වූ අතර විළි වසා ගැනීම යන අර්ථයෙන් ගත් විට එලියට යන සෑම අවස්ථාවකදීම කාන්තාව සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයෙන් සංවර වූ ඇඳුමක් ඇඳගෙන යාම තමාගේ ආරක්ෂාවට බොහෝ හේතු වේ. ඇතැම් අවස්ථාවලදී ළමයින් ඉදිරිපිට ඇඳිය යුත්තේ කුමන ඇඳුමද කියා නොදන්නා අම්මලාත් ලංකාව තුළ ජ,ීවත් වෙනවා. වයස අවුරුදු පනහ හැටක් යන තෙක්ම ඒ අය එක දිගටම කරල තියෙන්නේ වැරැදි පමණයි. තමන්ගේ පුතා තමන්ගේ දුව වැඩිවියට පත් වූ දරුවන් සිටින ස්ථානයට නිවැරැදි ඇඳුමක් නොඇඳ රාත්‍රියට ඇඳ සිටි ඇඳුමින් තමන්ගේ දරුවන් ඉදිරියට පැමිණිම නොහොබිනා ක්‍රියාවක්. රාත්‍රි ඇඳුමින්ම ගෙදර වැඩ කරමින් දවල් වෙනතුරු සිටීම කෙතරම් නොහොබිනා ක්‍රියාවක්ද එසේ ඇඳ සිටීමට ඔවුන්ට ලැජ්ජාවක් නැති වූවිට ඒ අයගේ ගෙවල්වල ජීවත්වන පිරිසටත් එම ලැජ්ජාව නැතිව යයි. ඒනිසා තමන්ගේ නිවස තුළ වැඩිහිටි දරුවන් සිටින නිසාත්, විවිධ වයස් වට්ටම්වල අය සිටින නිසා උදේ අවදිවූ විගසම ශරීරය පිරිසුදු කරගෙන ඇඳුමක් ඇඳගැනීම ශිෂ්ටකම හෙවත් හැදිච්ච කමයි. සංවරව ඇඳුමක් ඇඳ දවස ආරම්භ කළ යුතුය. රාත්‍රියට ඇඳ සිටි ඇඳුමින්ම සැරසිළා උදේ ආහාරය සඳහා පාන් රැගෙන ඒමට කඩයට යාම කෙතරම් විලි ලැජ්ජා නැති ක්‍රියාවක්ද කෙතරම් අසෝභනද ඒ අය ගමන් කරන්නේ අනෙකුත් පිරිස් ගමන් කරන මහ පාරේම බව ඔවුන්ට හැෙඟන්නේ නැතිද ගෙදර මෙතරම් වැඩ කන්දරාවක් තිබියදී ඇඳ ඇඳ සිටිය හැකිද කියලා ඒ අය හිතනවා. කෙතරම් වැඩ තිබුණද, පිරිසුදු ඇඳුමක් ඇඳගෙන සංවරව සිටීම වටිනම වැඩක් වෙයි. සංවරව ඇඳුමක් ඇඳගැනීම තුළින් තමාගේ ගෞරවය ආරක්ෂා වෙනවා වගේම අනෙක් පැත්තෙන් තමන් නිසා තමන්ගේ ආරක්ෂාවත් සැළසෙයි. තමන් නිසා අනෙකුත් පිරිසගේ මනස අවුල් වීම වැළැක්වෙන අතර පිළිකුළක් ඇතිවීම ද වැළකීයයි. අනෙකුත් අයගේ මනසට ආරක්ෂාව හෝ පිළිකුලක් ඇති නොවන ආකාරයෙන් සිටීමට දෙමවිපියන් වන ඔබ සිතිය යුතුය.
බුදු දහම සම්මුති සංවරය තුළින් පමණක් නැවතිය යුතු යැයි ප්‍රකාශ කරන දහමක් නොවේ. බුද්ධ ශ්‍රාවකයන් වන අපගේ අරමුණ වනුයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමයි. ලස්සනට සංවරව ඇඳ පැළඳ අනෙකුත් පිරිසගේ සිත කලබල කරන්නේ නැතිව සිටීම පමණක් අපගේ ජීවිතයේ අරමුණ නොවේ. මිනිස් ජීව්තයක ප්‍රධානම අරමුණ නිවන් දැකීමයි. නිවන් දැකීමට නම්, අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ සංවරකමක්ද කයෙන් වැරැදි තුනක් නොකර සිටීම පළමු කාරණාවයි.
පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි හෙවත් මගේ පණ පාවිච්චි කර කුරා කූඹ්යකුවත් නොමරා සිටීම පළමු පරමාර්ථය විය යුතුයි. එය කායිකව සංවර වීමේ උපරිම තලය එයයි. අදින්නාදාන හෙවත් කය පාවිච්ච් කරමින් සොරකම් නොකර සිටිය යුතුයි. කාමේසුම්ච්ඡාචාරා හෙවත් කය පාවිච්චි කර වැරදි කාමයන් සොයන්නේ නැතිව සිටිය යුතුයි. කාමයම වැරැදි වුවද, වැරැදි කාමය එයටත් වඩා වැරැදි කාරණාවක් වෙයි. කාමයම වැරැදි වුවද, කාම මිත්‍යාචාරයෙන් ඉවත් වූ නිදහස් වූ විනිර්මුක්ත වූ ජීවිතයක් ගත කිරීමට ගිහියන්ට පැමිණිය නොහැකියි.නිවන් මඟ පුහුණු කරන්නාවූ අතර තුරේ ගිහියන්ගේ පැවැත්ම සඳහා කාමමිත්‍යාචාරයෙන් ඉවත් ව නිදහස් වූ ජීවිතයක් ගිහියන්ට කළ නොහැකියි. පැවැත්ම සම්ුපූර්ණයෙන්ම සහතික වූ පැවිද්දකු බවට ගිහියාට පත්විය නොහැකියි. එවැනි අතහැරීමකට සියලුම ආකාරයේ ගිහියන්ට පැමිණිය නොහැකියි.
පැවිදි ජීවිතය සදහා පෙර සංසාර පුහුණුවක් තිබිය යුතුයි. කෝටි දෙකක් ජනගහණය අතරින් පැවිදි පිරිස තිස් දහසක් පමණ සුළු ප්‍රමාණයක් කැප වී සිටින්නේ සියලුම ගිහියන්ට එය කළ නොහැකිවූ දුෂ්කර කාර්යභාරයක් නිසයි. එය විශාල අතහැරීමක් මෙන්ම විශාල සංයමයක් තිබිය යුතුය. එතරම් කැප කිරීමකට ගිහිපිරිසට කළ නොහැකි නිසා ගිහියන්ට වැරැදි නොකළ යුතු බවට දේශනා කොට ඇත. ප්‍රාණඝාත, සොරකම, කාමමිත්‍යාචාරය යනුවෙන් කායික වැරැදි තුනක් වෙයි. මෙම කාරණා තුන තමන්ට කරගන්නා වැරැදි වගේම අනුන්ට කරන වැරැදි ද වෙයි. ප්‍රාණඝාත කරන විට තමන්ගේ ද්වේෂය වර්ධනය වීම තමන්ට කරගන්නා වැරැදි යි. නරක චෛතසිකයන් නිතරම බලවත් වන්නේ සතුන් මරණ පුද්ගලයන් තුළයි. අනෙකාට ජීවත්වීීමට තිබෙන අයිතිය නැති කිරීම අනුන්ට කරන වැරුද්දක් වෙයි. පළමු වරද තමන්ට කරගන්නා අතරම දෙවන වරද අනුන්ට කරනු ලබයි. දෙපාර්ශ්වයම අනතුරකට ලක්වේ. සොරකම් කිරීම තුළින් අනුන්ගේ දේවලට විෂම ලෝභයක් ඇතිකර ගනී, ඒ තුළින් සොරකම් කරන්නාගේ තණ්හාව ටික ටික වර්ධනය වෙයි. අනුන්ගේ දේ වලට තිබෙන තණ්හාව විෂම ලෝභය යි. විෂම ලෝභය නිසා සොරකම් කිරීම තුළින් විෂම ලෝභය වර්ධනය වේ. අනුන්ගේ දේවලට අනවශ්‍ය ලෝලත්වයක් ඇතිකර ගැනීම තමන්ට කර ගනු ලබන හානියයි. සොරකම් කරගැනීමට නොහැකි නම්, අනුන්ගේ දේවලට ඊර්ෂ්‍යා කිරීමට හෝ පටන් ගනී. අනුන්ගේ දෙය සොරකම් කරනවාය යනු , අනුන්ගේ දේ වංචා කරනවාය යනු අනෙක් අයගේ දේපළ පිළිබද අයිතියට හානිකිරීමයි.තමන් දහඩිය මහන්සියෙන් හම්බකරගත් දෙය තවකෙනකු සොරකම් කරනවාට අකැමැති නමි, තමන් ගේ දේ නැතිවෙනවාට තමන් තුළ අකැමැත්තක් තබාගෙන අනුන්ගේ දේ සොරකම් කිරීම වංචාවට ලක්කිරීම අදින්නා දානා වෙයි. අදින්නා දාන යනු සොරකම් කිරීම පමණක් නොවෙයි. නීත්‍යානුකූලව තමන්ට නොදුන් දෙයක්, ධර්මාකූලව තමන්ට අයිති නැති , තමන් විසින් උපයාගන්නේ නැති දෙයක් ගැනීම සදහා වංචාව, කපටිකම, සොරකම, මංකොල්ලකෑම බලහත්කාරය යන සිතිවිලි අදින්නාදානා වෙයි. ඇතැම් දරුවන් අම්මාගෙන් මුදල් ඉල්ලමින් අඩි පොළොවේ ගසමින් කෑ කෝ ගසා මුදල් ලබාගන්නවාය යනු අදින්නාදානා වෙයි. නොදුන් දේ බලහත්කාරයෙන් ලබාගැනීම තුළින් ඔහු අදින්නාදානා සිල් පදය බිඳ දමයි. අනුන්ගේ ඉඩ කඩමි වංචාකරමින් ලබාගැනීම අදින්නාදානා වන අතර ඇතැමි විට ඉහළින් වර්ණනා කරමින් ඔහු රැවටීමේ චේතනාවේන් යමක් ලබා ගැනීමද අන්සතු දෙය වංචාවෙන් ලබාගැනීම වේ.
ඔබගේ නිවැරැදි කායික සංවරය නම්, දිගට ඇඳුම් ඇඳීම නොවේ. එය සම්මුති කායික සංවරය පමණයි. පරමාර්ථ වශයෙන් කායික සංවරය යනු ඔබ කය පාවිච්ච් කරමින් එක වරදක් හෝ නොකළ යුතුයි. ප්‍රාණඝාතය , අදත්තාදානය කාමමිත්‍යාචාරය යන කායිකව සිදුවන වැරැදි පරමාර්ථ වශයෙන් නොකළ යුතුයි.
වාචසික සංවරය තුළ හෙමින් කතා කිරීම සම්මුති සංවරය වේ. නිශ්ශබ්ද වන්න යන්න යම් ස්ථානයක ප්‍රකාශ කර ඇත්නම් එයට අනුකූලව කටයුතු කිරීම සම්මුති ලෝකය තුළ වාචසික සංවරවුවකු වෙයි හෙමින් කතා කිරීම, නිශ්ශබ්දව සිටීම, සම්මුතියේ සංවර කම මිස ඒවා පරමාර්ථමය සංවරකම නොවේ. පරමාර්ථ වශයෙන් සංවර විම යනු බොරු නොකීම, කේලාම් නොකීම පරුෂ වචන හිස් වචන නොකියා සත්‍ය කතාකරන කේළාම් නොකියා සමඟියට හේතු වන කාරණා කතාකිරීම තුළ පරමාර්ථ වශයෙන් වාචසිකව ඉතාම සංවර වූබව කිව හැකියි. හෙමින් කතා කරමින් හෙමින් කේලාම් කියමින් ඔපාදූප කියවීම වාචසික සංවරය නොවේ. සංවරවීම අවශ්‍ය දේ පමණක් කතාකර අනෙක් වේලාවට සිහිණුවනින් සිටීම වාචසික සංවරකම වේ. වාචසික තමන්ගේ වචන සම්බන්ධව තමන්ගේ නිරවද්‍යතාව පවත්වාගෙන යනවා නම්, තමා ඉතාම සංවර වූවකු බව ඔහුට ප්‍රකාශ කළ හැකියි. කයයි, වචනයයි දෙකම සංවර වනුයේ මනසින් සංවර නම්, පමණයි. අපගේ ඇතුළාන්තය අසංවර නම්, කුමන අවස්ථාවකදී හෝ එය එලියට පැමිණිය හැකියි. අපගේ ඇතුළාන්තය බොහෝ සෙයින් සංවර කරගත යුතුයි. විෂම ලෝභයෙන් ඉවත්ව, ව්‍යාපාද හෙවත් අනුන් නැසිය යුතුය යන සිතිවිලි වලින් ඈත්වීම,මිත්‍යා දෘෂ්ටි හෙවත් කර්මය, කර්ම ඵලය විශ්වාස නොකිරීම හෙවත් වැරැදි දර්ශන වලින් ඉවත්වීම තුළින් අපගේ ඇතුළාන්තය සංවර කරගත හැකියි. ඇතුළාන්තය සංවර වූ තැනැත්තා තුළ කය සහ වචනය දෙකම සංවර වේ.