දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මිනිසත් බවින් ඵල නෙළමු

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

ධර්මයේ දී වටිනා කරුණු කිහිපයක එකතුවට ක්ෂණය කියා කියනවා. එම කරුණු කිහිපය ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙන අතර, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට එය හේතු වෙනවා. නිවන් අවබෝධයට හේතුවන කාරණා සමූහයක් එකතු වන තැන ක්ෂණ සම්පත්තිය පිහිටන බව අප දන්නවා. එය ඉතාමත් දුර්ලභ ඉතාම කලාතුරකින් සිදුවන්නක්.
බෞද්ධ අප හැම දෙනාගේම මූලික බලාපොරොත්තුව කවදා හෝ නිවන අවබෝධයටයි. ඒ නිවන සාක්ෂාත් කරන්නට නම් සම්පූර්ණ වියයුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ දුර්ලභ කරුණු අද ඔබට සම්පූර්ණව ලැබී තිබෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය යි.

දුර්ලබව ලැබූ මිනිස් බව

ක්ෂණ සම්පත්තියට අවශ්‍ය මූලිකම කාරණාව නම් මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමයි. මුලින්ම මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්න ඕන. එය ඉතා දුලබයි. (දුල්ලභං ච මනුස්සත්තං) මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම හරිම දුර්ලභයි. ඔබට සිතෙයි මනුස්ස ජීවිතය ලැබීම දුර්ලභනම් මෙතරම් ජනගහණයක් ලෝකයේ වැඩිවෙන්නේ ඇයි කියලා.මනුෂ්‍යයෙක්ව උපත ලබනවා කියන දේ දුර්ලභ වෙන්න හේතුවක් තිබෙනවා. ඒ සඳහා තනි මනුෂ්‍යයෙක්ව පමණක් උදාහරණයට ගතයුතු නැහැ. මේ ලෝකයේ සිටින අනෙකුත් සියලු සත්ත්ව ප්‍රජාවන් සමඟ මනුෂ්‍ය වර්ගයා සසඳන්න ඕන. එවිට දුර්ලභයි කියා කියන්නේ. ඒ හැමෝම අතරේ මනුෂ්‍යයෙක් ව ඉපදීම අමාරු දෙයක්. සත්ව ලෝකයේ සත්ත්වයන් සමඟ සංසන්දනය කරන විට මනුෂ්‍යයන් කෙතරම් අඩුද කියා ඔබට තේරුම් ගන්න පුළුවන්. කූඹි ගුලකින් නිකුත්වෙන කුඹි ප්‍රමාණය සමහර විට එය මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ට වඩා වැඩි වෙන්න පුළුවන්. මහා මුහුදේ සිටින මාළු බැලුවොත් ඒක කෙතරම් ලොකු ගණනක්ද? මනුෂ්‍යයෙක් මැරුණාම ඒ මිනිය වසා ගන්නා පණුවෝ එකතු කළොත් ඒකත් මොන තරම් ප්‍රමාණයක්ද?

පරිපූර්ණ ආත්ම භාවයක

පිරිපුන් මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නට ඇස්, කන්, නාස් ආදිය පිහිටි, විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඕන. මනුස්සයන් ලෙස ඉපදිලා අන්ධ වූ, බිහිරි වූ, අංගවිකල වූ අය කී දෙනෙක් අප අතර සිටිනවාද? ශරීර විකලත්වයක් නැතිව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ක්ෂණ සම්පත්තියේ මුල් කාරණාවයි. ඒ වගේම හොඳ නොහොඳ කල්පනා කරන්නට පුළුවන් ඤාණ ශක්තියක් තිබෙන්න ඕන. එහෙම අය අප අතර ඉතාම අඩුයි. එයාට නුවණ තිබුණානම් එසේ කියන්නේ නැහැ. එසේ කරන්නේ නැහැ කියා අප කියන්නේ යම් කෙනෙක් ඤාණ ශක්තිය නොමැතිව වැඩක් කළ විටයි.
ඒ වගේම කිසිවෙකුට අත නොපා ජීවත්විය හැකි ආර්ථික ශක්තියක් තිබීමත් වැදගත්. එය පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය කාරණාවක්. අධික දුක්ඛිත ජීවිත ගතකරන අයට සත්‍යාවබෝධය වෙත යාම ටිකක් අපහසුයි. අධික පීඩාවන් කරදර එනවිට එයින් නිරන්තරයෙන් ඇතිවෙන්නේ ගැටීමක් බව අප දන්නවා. නිරයගාමි සතුන්, පේ‍්‍රතයන්, තිරිසන් සතුන්ට සත්‍යාවබෝධය වෙත යන්න බැරි ඒකයි. ඒ අයගේ සිත නිතර පීඩාවෙන් විඳවනවා. එසේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න නම් ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියයන්ගේ විකලත්වයෙන් තොරව මිනිසත් බවක් තිබෙන්න ඕන. ඒවගේම මනුෂ්‍ය ආත්මයක් ලබන කෙනෙක් මන්ද බුද්ධික නම් ඒ පුද්ගලයාට ක්ෂණ සම්පත්තිය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. මන්ද බුද්ධික කියනවිට ඒ ජීවිතය කෙතරම් අවාසනාවන්ත ද? ඒ ආකාරයට බලනවිට ඔබේ ජීවිතය කෙතරම් වසනාවන්තද? ලෝකයේ බොහෝ අය උපන්විට අඳ, ගොළු, බිහිරි මන්ද බුද්ධිකව ඉපදෙනවා නම් එය අභාග්‍යයක් නොවේද?

කලණ මිතුරු ඇසුර

දැන් ඔබ මිනිසෙකුව ඉපදී සිටිනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා. නමුත් බුදුවරයෙක් ලෝකයේ පහළවෙලා සිටියත් සමහරුන්ට ඒ බුදුරජාණන් වහන්සේ අසලට යාමට, ඒ ධර්මය අසන්නට හැකියාව හෝ වාසනාව නැහැ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබෙන කෙනෙකුට පමණයි බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් වෙත සමීපවීමේ හැකියාව තිබෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ අතිශයින්ම වැදගත් දෙයකටයි. “ස්වාමිනි බුදුරජාණන් වහන්ස මේ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා නොවේද?” කියා දිනක් ආනන්ද තෙරුන් විමසා සිටියා. “ආනන්දය, අඩක් නොව මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත” බව තථාගතයන් වහන්සේ වදාළා. එවැනි කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණොත් පමණයි බුදුන් වහන්සේගේ දහම සොයාගෙන යා හැකි වන්නේ.

සදහම් ඇසුම

දැන් ඔබ බුද්ධෝත්පාද කාලයක ඉපදුණා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළා. දුර්ලභ කරුණ වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. මෙයත් ඉතාමත් දුර්ලභ කරුණක්. තථාගතයන් වහන්සේ වදාළා ඕපසමිකෝ, පරිනිබ්බායිකෝ, සම්බෝධගාමි, සුගතප්්පවේදිතෝ කියා වචන කිහිපයක්.
මෙහිදී ඕපසමික කියන්නේ කෙලෙස් සංසිඳවන සද්ධර්මය යන අරුතයි. යම් දේශනාවක් අසනවිට සිතේ කෙලෙස් වැඩෙනවානම්, සංසාරය දිගු වෙනවානම්, මානය වැඩිනම් එය සද්ධර්මය නොවේ. ඕපනයික කියන්නේ මේ රාග, ද්වේශ, මෝහය අඩුවීමේ වැඩපිළිවෙලක් ඇති ධර්මය යි. සම්බෝධගාමි - මේ ධර්මය ආර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුª වේවා කියන සංඥාවෙන් ධර්මය ශ්‍රවණය කිරීමයි. සසර දුක වැටහිලා නිවන උදෙසා ගමන් කිරීමට අප උනන්දු කරන ආකාරයේ දේශනාවක් විය යුතුයි. පරිනිබ්බායිකෝ - අප තුළ තිබෙන කෙලෙස් පිරිනිවන් පාන්නට උපකාරි වන ධර්මයක්. සුගතප්පවේදිතෝ - සුගත තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරන ලද ධර්මයම විය යුතුයි. එහෙම ධර්මයක් ඇසීම දුර්ලභයි.

සුදුසු පෙදෙසක විසුම

මේ කියන ධර්මය වටහා ගැනීමටත්, ධර්මානුකූලව ජීවිත්වීමටත් සුදුසු පරිසරයක විසීම වැදගත්. එයට “පතිරූපදේස වාසෝ” කියා කියනවා. ධර්මය ඇසීමට සුදුසු පරිසරයක ජීවත්වීම සහ ඒ අසන ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි පරිසරයක් වීම එහි අරුතයි. මෙයටයි ක්ෂණය නැත්නම් මොහොත කියන්නේ. ඒ වටිනා මොහොත නැවත ලැබේවි යැයි සිතීම අපහසුයි. ඒ නිසා මේ ලැබුණ මොහොතින් ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවීම ඉතාම කලාතුරකින් වන සිදුවීමක්. අපට ඒ පිළිබඳව අගයක් හෝ වැටහීමක් නැත්තේ බුද්ධෝත්පාද කාලයක අප ඉපදුන නිසායි. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ඒ සද්ධර්මය පවතින කාලය තුළත් එවැනි පිරිසක් සිටිනවානම් කල්ප ගණනාවකට බුදු කෙනෙක් පහළ නොවෙන බුද්ධ ශුන්‍ය කල්පයක ඉපදෙන අයගේ ජීවිත කෙසේද කියා සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණොත් ධර්මය පහළ වෙන්නේ නැහැ. ධර්මය පහළ නොවුණොත් සංඝයාගේ පහළවීමකුත් නැහැ. බුද්ධ ධම්ම, සංඝ පහළවීමක් නැතිනම් නිවන්මඟ එළිපෙහෙළි වීමක් නැහැ. එසේ නොවන්නට සුදුසු පරිසරයක ජීවත්වීමේ වාසනාව දැන් අපට මේ මොහොතේ උදා වී තිබෙනවා.

අෂ්ට දුෂ්ඨක්ෂණ

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ධර්මය පවතින අවස්ථාවක වුවත් එයින් ප්‍රයෝජන නොගන්නා පිරිසක් අප අතර සිටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා ධර්මය දේශනා කරන විට ඔහු නිරයේ ඉපදිලානම් ඒ අවස්ථාව මඟ හැරෙනවා. ඒ අයට මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. ඒ වගේම යමෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම් එවිටත් ඒ මොහොත, ක්ෂණ සම්පත්තිය අහිමියි. ක්ෂණ සම්පත්තිය කියන්නේ සත්‍ය අවබෝධ කර ගන්නට පුළුවන් මොහොතටයි. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ භවය සුවපත් කරගන්නවා කියන එකටයි.ඒ වගේම යමෙක් මිලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුණොත් ඔහුටත් මේ ධර්මය ඇසෙන්නේ නැති නිසා අවබෝධ කරන්න බැහැ. දරුණු මිනිසුන් නිසා මානව ගුණධර්ම අඩුයි. වනචාරි වගේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා ඔවුන්ටත් සත්‍ය අවබෝධය කරා යාම අපහසුයි.
ඒ වගේම තවත් සමහරු හොඳ පරිසරයක ඉපදුනත් මිථ්‍යා දෘෂ්ටිකයි. ඔහු මෙලොව, පරලොව, හොඳ නරක කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. මව, පියා කියා විශේෂ කෙනෙක් සිටිනවා කියා විශ්වාස නැති අවදිමත් දේ පිළිබඳව එල්බ සිටිනවා. ඔහුටත් සත්‍යාවබෝධය වෙත යන්න බැහැ.
තවත් කෙනෙක් ඉපදෙනවා අබුද්ධෝප්පත්ති කාලයක සියලු දෙය සම්පූර්ණයෙන් ලැබුණත්, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා නැත්නම් ඔහුටත් මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ප්‍රඥාව ඇතිව ඉපදුනත් ධර්මය දේශනා කරන්නට බුදු කෙනෙකු ලෝකයේ නැති නිසා මේ ක්ෂණය කියන මොහොත අහිමියි.
එනිසා අද අප සැමටම සත්‍යය අවබෝධය පිණිස මාර්ගය විවෘතව තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමයි අප සතු වගකීම වන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධිමත්ව ගවේෂණය කළ යුතු ආදීනවයන්

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහි උන්වහන්සේට පහළ වූ මනෝභාවයන් පිළිබඳව බුද්ධත්වය ලබාගැනීමෙන් පසු පළමු වන ආස්වාද සූත්‍රයෙහි දේශනා කරයි. රූපයෙහි ආස්වාදය කුමක්ද? රූපයෙහි ආදීනවය කුමක්ද?රූපයෙහි නිස්සරණය කුමක්ද? රූප, ෙවිදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාාණ යන පංචස්කන්ධය පිළිබඳව විග්‍රහ කර තිබෙන නිසා බුදු දහම නිතරම දුක පිළිබඳව පමණක් කතා කරන දහමක් ලෙස ඇතැමුන් සිතයි.
බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳව විග්‍රහ කරයි. රූපයෙහි ආස්වාදයක් තිබෙන බවත් එහි තිබෙන්නාවූ ආස්වාදය කුමක්ද ?ඊළඟ පියවර වශයෙන් රූපයෙහි ආදීනවය කුමක්ද?ඊළඟ කාරණාව ලෙස රූපයෙහි තිබෙන්නාවු නිස්සරණය කුමක්ද?තවත් කාරණාවක් ලෙස වේදනාවද විග්‍රහ කරයි. ෙවිදනාවෙහි පවතින ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව විමර්ෂණය කරයි.

මේ ආකාරයෙන් සංඥා, සංස්කාර ආදීන්ගේ ස්වභාවයද ඒ ආකාරයෙන්ම විමර්ෂණය කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහිම මෙහි ස්වභාවය කල්පනා කළා. ලෝකයෙහි පවතින ආස්වාදය කුමක්ද? එහි ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? මහණෙනි, රූපය නිසා යම් සුවයක් උපදීද? එය රූපයාගේ ආස්වාදයයි. රූපය හේතු කොටගෙන යම්කිසි සුවයක් යම්කිසි සොම්නසක් යමෙකු තුළ උපදීද? එය රූපයෙහි ආස්වාදයයි. රූපයෙහි ආස්වාදයක් නැති බව කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකියි. අප කැමැති රූපයක් දකින විටම අපට සුවයක් දැනෙයි. ලස්සන රූපයක් අපේ වුවත් නොවූවත් එම රූපය පිළිබඳව අපට සොම්නසක් උපදියි. එය ලස්සන බවට අප ප්‍රසිද්ධියෙහි හෙළිදරවු නොකළත්, අප රහසින් හෝ එය විඳගනී. රහත් නොවුණ ඕනෑම ගිහියෙකු හෝ සිතෙහි පාලනයක් නැති පැවිදි උතුමෙකු වුවද ලස්සන රූපයක් දකින විට එම රූපය ආස්වාදය කරයි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකු එයින් ලැබුණ වින්දනය සුඛයක් ලෙස හෝ සොම්නසක් ලෙස සැලකිය හැකියි. අපගේ කාමරය ලස්සනට තබාගැනීමට උත්සාහ කරනු ලබන්නේද එම කාරණාව නිසයි. පොත් මේසය ලස්සනට තබාගෙන නැත්නම් එම කාමරයෙහි පාඩම් කිරීමට සිතක් ඇති නොවෙයි. තමන් ජීවත් වන පරිසරයෙහි සොම්නසක් සුවයක් පවතිනවා නම්, එම කාර්යය සතුටින් කළ හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි කිසිදු ෙබිදයකින් තොරව ඕනෑම රූපයක ආස්වාදයක් විඳිය හැකියි. රූපය සම්බන්ධව අප විසින් ගොඩනඟා ගනු ලබන මනෝභාවයන් රූපයෙහි ආස්වාදයට හේතු වෙයි. නමුත් සම්මුති ලෝකයෙහි රූපයෙහි ආස්වාදයක් පවතින බව සිතුවද,පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් නැහැ. එය නිවැරැදිව අප තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නැති බව පැහැදිලිව දේශනා කරයි. බෝධිසත්ත්ව අවධියෙහි රූපයෙහි ආස්වාදය විඳිනු ලැබුවත් බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නොමැති බවට දේශනා කරයි. නොවඩන සිතක් ඇති ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට රූපයෙහි ආස්වාදයක් දැනුනත් වඩන ලද සිතක් තිබෙන උත්තමයෙකුට රූපයෙහි ආස්වාදයක් නොදැනෙයි. රූපය නිසා සතුට උපදිනවා නම්,එය ආස්වාදයයි. අපට ආස්වාදයක් ඇති නොවන රූපයකට වෙනත් පුද්ගලයෙකුට ආස්වාදයක් දැනිය හැකියි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට තමන් කැමැති ඕනෑම රූපයක ආස්වාදයක් දැනිය හැකියි . එම ආස්වාදය මනසෙහි ඇතිවන ස්වභාවය මිස රූපයට සම්බන්ධ කාරණාවක් නොවෙයි. කැමැති රූපයක් සමඟ ආස්වාදය ඇතිවනවා යනු, ආස්වාදය හටගනු ලබන්නේ රූපයෙහි නොව මනසෙහි ඇතිවන ස්වභාවයක් බවයි. මනස පුර්වාංගමව රූපයෙහි ආස්වාදය පිටතට පැමිණෙයි. යම් රූපයක් අනිත්‍ය ද දුක්ද,විපරිනාමද එය රූපයාගේ ආදීනවයයි. අපට සොම්නස උපදවන රූපවල පවතින විපරිනාම බව හෙවත් අනිත්‍ය බව එහි පවතින ගැටලුවයි. ඕනෑම ආස්වාදයක පවතින අර්බුදය නම්, එම ආස්වාදය පැවැති ආකාරයෙන්ම පවත්වාගැනීමට බැරි මට්ටමට රූපය පත්වන විට මනසත් ඒ ආකාරයෙන්ම වෙනස් වෙයි. එය රූපයාගේ ආදීනවයයි. එම රූපයෙහි ඡන්ද රාග ප්‍රහාණයක් පවතිනවා නම්, එය නිස්සරණයයි. කවුරුන් හෝ පුද්ගලයෙකු රූපයට තිබෙන්නාවූ එම කාරණා වටහා ගැනීම අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙයි. රූපයෙන් ඇතිවන වින්ඳනයත් සමඟ අපගේ මනස එය ග්‍රහණය කර ගනී. එම රූපය සම්බන්ධව පවතින සොම්නස ස්ථාවර කරගනී. සොම්නස ස්ථාවර කරගැනීමෙන් ඇතිවන අර්බුදය නම්, රූපයට අඛණ්ඩව පැවතීමේ හැකියාවක් නොමැති වීමයි.
තරුණ වයස වන විට සම දිදුළමින් ඇස් කාන්තිමත්ව බබළන ස්වභාවයක් පවතී. අවුරුදු හතළිහ පමණ වන විට ශරීර ස්වභාවය පැවතුණාට වඩා වෙනස් ස්වභාවයක් ගනී. වයස වෙනස් වීමත් සමඟ යම් යම් විකෘති ස්වභාවයන් හට ගනී. කලු කොණ්ඩය සුදුපැහැ වෙයි. රූපයෙහි සොම්නසක් සමඟ පවතින ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියෙහි නිවැරැදිවම එම ස්වභාවය හඳුනාගනු ලැබුවා. එම රූපය සඳහා පැවතිය යුතු නිස්සරණය නම්,අප එම රූපයට දැඩි ලෙස ඡන්දය, රාගය, ඇලීම ඇතිකර නොගැනීම ඒ සඳහා විසඳුමයි. කාමරූප දකින අවස්ථාවෙහි ඇති වන සොම්නසත් සමඟ එහි පවතින අනිත්‍යතාව, නිසරුබව, හිස්බව ස්ථිර නැති බව, අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි බව අවබෝධකර ගැනීමෙන් අප තුළ පවතින ඡන්ද රාග ප්‍රහීණ වෙයි.රූපයෙහි පවතින අනිත්‍යතාව අවබෝධ කර නොගත හොත් ඡන්ද රාග ප්‍රහීණ නොවෙයි. රූපයෙහි පවතින ආදීනවයන් බුද්ධිමත්ව ගෙවිෂණය නොකළ හොත් ඡන්ද රාග අඛණ්ඩව පවතියි.

ඇලීමතුළ ගැටීමක් නිර්මාණය කරයි

වේදනාව නිසා යමිකිසි සුවයක් දැනුනොත් ,එය ෙවිදනාවෙහි ආස්වාදයයි. ඇතැම් රූප දක්නට ලැබෙන විට ඇසට දැනෙන සුවයත් මිහිරි ශබ්දයක් කනට ඇසෙන විට කනට දැනෙන සුවයත් නිසා ඇති වන ෙවිදනාව තුළ සොම්නසක් උපදී. ඕනෑම ෙවිදනාවක් ඇතුළත සුවයක් දැනෙයි. ෙවිදනාවෙහි ආදීනවය නම්, එම සුවය සැමදාම එම ෙවිදනාව පැවැති ආකාරයටම නොදැනීමයි. එක කාලයක් තුළ රූපයක් දැකීමෙන් සිතට දැනෙන සුඛ ෙවිදනාව තවත් කාලයකදී එලෙසම නොදැනෙයි.
උද්‍යෝගය නැති වීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. ෙවිදනාව එකම ආකාරයක දැනෙනවා යනුවෙන් ස්ථිර බවක් නැතිකම ෙවිදනාෙවි ස්වභාවයයි. ෙවිදනාෙවි ආදීනවය නම්, ෙවිදනාවෙහි අනිත්‍ය ස්වභාවයයි. ෙවිදනාව නිත්‍ය ලෙස එකම ආකාරයට පවත්වාගෙන යා හැකි නම්, ආලුනාට ගැටලුවක් ඇති නොවෙයි.

රූපය නිත්‍ය නම්, අපට ආසාවක් ඇතිවුණ දවසෙහි රූපයෙහි පැවති ස්වරූපය අඛණ්ඩව පවතිනවා නම්, ඇලුනාට ප්‍රශ්නයක් නැහැ.රූපය වෙනස් වෙයි. ෙවිදනාවද වෙනස් වෙයි. එම නිසා එවැනි දේ සඳහා ඡන්ද රාග ගොඩනඟා ගැනීම තේරුමක් නොමැති බවත් නිස්සරණයට යා යුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේද එම කාරණාව පිළිබඳ ඇති කරගනු ලැබූ අවබෝධය තුළයි.ඡන්ද රාග හට ගැනීමෙන් ඇතිවන ඇලීම තුළ ගැටීමකුත් නිර්මාණය වෙයි.
අපගේ මනස යම්කිසි වින්ඳනයකට වසඟ වුවහොත් එය වෙනස් වෙන බව පිළිගැනීමට හෝ උහුලාගැනීමකට එම මනස කැමැති වන්නේ නැහැ.යථාර්ථය පිළිගැනීමට සූදානම් නොවන තැන අප හඬාවැළපෙයි. ආදීනවයන් පිළිගැනීමට සූදානම් නොවන නිසා, අප යම් සම්බන්ධකමක් පටන් ගන්නා විටම ආදීනවයක් තිබෙන බව දැනගෙන සිටිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළහ.
එම වෙනස් වීමට කවදා හෝ මුහුණ දිය යුතුයි. එම වෙනස කාලය සහ අවකාශය අතර ප්‍රශ්නයක් පමණක් වෙයි. කුමන මොහොතක හෝ එයට මුහුණ දිය යුතුයි. ෙවිදනාවෙහි ආදීනවය වශයෙන් වේදනාව වෙනස් වන බවත්,අඛණ්ඩව ෙවිදනාව පවත්වාගෙන යාමට බැරි බවත් ෙවිදනාවට අවශ්‍ය ආකාරයට අප පවත්වන්න බැරිකම නිසාත් එය වෙනස් වෙමින් ජරාජීර්ණතාවයට පත්වෙන නිසාත් ඡන්ද රාග ඇතිකර ගැනීමෙන් තේරුමක් නැති බව වටහාගත යුතුයි.
ඊළඟට "සංඥාව" දක්වා ඇත. "සංඥාව" සරල ලෙස "හඳුනාගැනීම" ලෙස අර්ථගැන්විය හැකිය.
ෙවිදනාවකට පසු තාවකාලික හඳුනාගැනීමක් රූපයක් දකින විට ් ඇතිවන ෙවිදනාවක් සමඟ සංඥාවක් ඇති වෙයි. ෙවිදනාව තුළ තාවකාලික වශයෙන් සරල හඳුනාගැනිමක් හටගනී. රූපයත් සමඟ ගනුදෙනු කිරීමෙන් මනසෙහි ඇතිවන සංඥාවෙන් සොම්නසක් උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
ඇතැමුන් පැරැණි සංඥාා සමඟ ජීවත් වෙයි. දකින ලද මුල්ම දවසේ ඇතිවුණ සංඥාාවෙන් ගැලවිය නොහැකිව සිටී.පළමු සංඥාාව සුඛ ෙවිදනාවක් වෙයි. එම සංඥාාවට ආදරය කිරිමට පටන් ගනී. අතීතයේදී මනසේ ඇතිවුණ සංඥාව හේතු කොට ගෙන වර්තමානය තුළත් ආදරය කරයි. එවැනි සංඥාාවන් සඳහා ඉක්මනින් ලොබ බඳින නිසාම අප ප්‍රවේසම් විය යුතුයි.සංඥාාව අඛණ්ඩව එකම ආකාරයක පවතින එකක් නොවන නිසා සංඥාාව වෙනස් වෙයි. සංඥාාව මිරිඟුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.ඈතින් වතුර තිබෙන බව දක්නට ලැබුණත් එතැට පැමිණි පසු වතුර දක්නට නොමැති වීම මිරිඟුවේ ස්වභාවයයි.

සංඥාව

අප සංඥාාවන් ගොඩනඟාගනු ලැබුවද අවසාන වශයෙන් එතැනට ගොස් බලන විට කිසිවක් දක්නට නොලැබෙන බව බොහෝ දෙනෙකෙªට පසුව වැටහෙයි. විවාහයට පෙර කෙතරම් සංඥාාවන් පැවතුණත් විවාහයට පසු සියලු සංඥාාවන් අවසන් වෙයි. විවාහ නොවුණ පුද්ගලයන්ට එය නොවැටහෙන කාරණාවක් වෙයි.සංඥාාව නිත්‍යයයි, සංඥාාව සදාකාලිකයි යනුවෙන් කිසිදා නොසිතිය යුතුයි. සංඥාාව අනිත්‍ය බවත්, සංඥාාව වෙනස් වන සුළු බවත්,එය සංඥාවෙහි ආදීනවය බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.සංඥාාව ඇතිවන විටම එය මිරිඟුවක් බව දැනගත යුතුයි. මිරිඟුව පසුපස යාමෙන් විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බව සිතිය යුතුයි. මට පෙනෙන්න තිබෙන්නේ මිරිඟුවක් මෙයට වඩා ඇත්තක්, මෙයට වඩා වෙනත් පැති මෙහි තිබෙනවා. වර්තමානයෙහි පවතින තත්ත්වය අනාගතයෙහි වෙනස් වෙන නිසා වර්තමානයෙහි ඇතිවන සංඥාවත් සමඟ ඇලීමට යාම අවශ්‍ය නැහැ. එහි සත්‍ය ස්වභාවය මෙය නොවෙයි.
අතීත හැඟීමත් සමඟ මනසෙහි ගොඩනඟාගෙන සිටින සංඥාාවත් සමඟ ඇති කරගනු ලැබූ සංකල්ප සමඟ නිසා තමා වද විඳින බව අවබෝධ කරගැනීම වැදගත් වෙයි. මෙම ප්‍රශ්නය වටහාගැනීමෙන්,ඔහුට ෙමි ලෝකය තුළ පවතින භෞතික ප්‍රශ්න බොහොමයක් විසඳාගත හැකියි. ඇතැමුන්ට ගැලවීමට බැරිව තිබෙන්නේද,අතීතයේදී ඇතිවූ සංඥාා සමඟ ගොඩනැඟුªන සංකල්ප රූප නිසා මිස වර්තමානයෙහි ඇතිවුන සංඥාා සමඟ නොවෙයි.

සංස්කාර

සංස්කාර යනු ස්ථාවර සංකල්පයි.එය අපගේ කර්ම ශක්තියයි. රූප දැකල ශබ්ද අහල එය රසවීදීමෙන් ඇතිකරගනු ලබන ෙවිදනාව නිසා අඛණ්ඩව සංඥාා ඇතිකරගෙන දීර්ඝ කාලීනව කටයුතු කිරිමට යාමෙන් සංස්කාර උපදී. කර්ම ශක්තීන්ගේ තෘෂ්ණාව මෝහය ද්වේෂය සමඟ සංස්කාර ධර්ම උපදී.
ස්ථාවරව සංවිඤ්ඤාණික මනසෙහි දිගින් දිගටම හටගනී. රූපයත් සමඟ වේදනවාත් සමඟ දිගින් දිගටම කටයුතු කිරීම පුරුද්දක් විය හැකි වුුවද, පුරුද්දක් වශයෙන් කරනු ලබන දේ මනස ස්ථාවර කරගනී.මනස එය පුරුද්දක් වශයෙන් සිදුනොකරයි. අප ෙවිදනාව සංඥාාව මත පදනම්ව කරන ක්‍රියාකාරකම්වල ඊළඟ භවය නිර්මාණය කළ හැකි තත්ත්වයේ ශක්තීන් නිර්මාණය කරයි. ඊළඟ භවයට ගෙනයා හැකි බලගතු ශක්තීන් වෙයි. සංවිඤ්ඤාාණික මනස හෙවත් දැනුවත් මනසින් එය කරනු ලබයි.බොහෝ අවස්ථාවල අප ජීවත් වනුයේ දැනුවත් මනසින් නොවෙයි.

විඤ්ඤාණය

බොහෝ අවස්ථාවල අප මෙහෙයවනු ලබන්නේ උප විඤ්ඤාාණයයි. උප විඤ්ඤාාණය මත පදනම්ව ඇතැම් කාරණා සිදුකරන විට සංවිඤ්ඤාාණික මනස එය හඳුනාගන්නා බව අප සිතන්නේ නැහැ. එදිනෙදා පුරුදු උප විඤ්ඤාාණය තුළින් කරගෙන ගියත් සංවිඤ්ඤාාණික මනසෙහි ස්ථාවර වශයෙන් ඇතැම් ශක්තීන් උපදී. එම ශක්තීන් ස්ථාවර සංකල්ප වෙයි. මගේ සිත සංස්කාර ගොඩනඟන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් පසු වදාරනු ලැබුෙවිද එම කාරණාවයි.
මගේ සිත විසංයෝජනය වී ඇති නිසා තවදුරටත් සංයෝජනයක් ඇති නොවන බවයි. තවදුරටත් ඇලීම්, ගැටීම්, බැඳීම් නැති බවත් කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බවත්,වදාරා ඇත.කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බව බුදුහිමියන්ගේ අදහසයි. තණ්හාවෙහි ආස්වාදයක් තිබෙනවා. ද්වේෂය තුළත් ආස්වාදයක් ඇතිකරයි. ගැටීම තුළ දුකක් තිබුණත්,ආස්වාදයක්ද පවතී.ආස්වාදය ඇතුළෙහිම ආදීනවයන් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
බුදුරජාණන් වහන්සේ සංස්කාර කෙසෙල් කොටයකට උපමා කරයි. කෙසෙල් ගසේ පිල්ල පිල්ල ගලවාගෙන යනවිට ඇති දෙයක් නැහැ සංස්කාරත් ඒ වගෙයි. අප සිතින් ගොඩනඟන මනෝරාජ්‍යයන් එකින් එක සුද්ද කර බලන විට එහි ඇති දෙයක් නැහැ. ඒ තුළ මතුපිටින් වින්ඳනය කළ හැකි දේ පමණක් පැවතියත් යථාර්ථයක් වශයෙන් ගත හැකි දෙයක් නැහැ.
සංස්කාරවලට නොඇලීම නිස්සරණ යයි. ඡන්ද රාග ඇතිකර නොගැනීම නිස්සරණයයි. අප විසින් ගොඩනංවනු ලබන සංවිඤ්ඤාණික සිත විඤ්ඤාණයයි. අප විසින් කර්ම ශක්තියත් සමඟ ඊළඟ භවයට ගෙන යාම සඳහා ගොඩ නගන සිත් සහ සිතිවිලි පරම්පරාවයි. මීලඟ භවයට අප ගෙන යනු ලබන චිත්ත චෛතසික පරම්පරාවයි. එම විඤ්ඤාාණයෙහි ආස්වාදයක් පවතී. විඤ්ඤාාණයෙහි ආදීනවය නම් විඤ්ඤාාණයත් නිත්‍ය එකක් නොවෙයි. විිඤ්ඤාාණයට නොඇලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
විඤ්ඤාාණය ගොඩනැංවීම නැති කරන කාරණාවලට ඇලිය යුතුයි.කර්ම ශක්තින්ගෙන් විඤ්ඤාාණයක් ගොඩනංවනවා යනු අප සසරෙහි නැවත නැවතත් ඉපදීමයි.නැවත නැවතත් ඉපදෙනවා යනු නැවත නැවතත් හමුවීමයි. නැවත නැවත හමුවෙනවා යනු නැවත නැවත වෙන්වීමයි. එම නිසා විඤා්ඤාාණයටවත් ඡන්ද රාග සාදා නොගත යුතු බව දේශනා කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තථාගත ධර්මය රාග විරාගය පිණිසයි

ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
"බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසා නම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි."
අපගේ තථාගතයන් වහන්සේගේ ධර්මය කුමක් සඳහාද කියා යම් කෙනෙක් ප්‍රශ්න කළොත් කියන්න තිබෙන සරලම පිළිතුර වන්නේ රාග විරාගය පිණිස බවයි. රාග කියන්නේ කැමැත්ත, ආශාව. විරාගය කියන්නේ කැමැත්ත ආශාව දුරු කිරීම. නැත්නම් කැමැත්ත, ආශාව නැතිකර දැමීමයි.
වෙනත් ආකාරයකින් කියනවානම් මේ ලෝකයේ ජීවත්වෙන අප සියලු දෙනා මූලිකව ලැබුණු ගොඩවල් පහක් තිබෙනවා. එය පඤ්චස්කන්ධය කියා හඳුන්වනවා. මිනිසුන්, බ්‍රහ්මයෝ, දෙවියෝ, පේ‍්‍රතයෝ, පිචාසයෝ, තිරිසන්නු මේ සියලු දෙනාටම මේ පඤ්ස්කන්ධය තිබෙනවා. මේ පඤ්චස්කන්ධයට ඇති කැමැත්තට රාගය කියා කියන්න පුළුවන්. මේ පඤ්චස්කධයට ඇති කැමැත්ත නිසා පඤ්චස්කන්ධයක් ලැබෙන ආකාරයට සත්ත්වයා කර්ම රැස්කර ගන්නවා. එවිට කර්මානුරූපව පඤ්චස්කන්ධයක් ලැබෙනවා. එසේ ලැබුණ විට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලට ගොදුරු වෙන්න සිදුවෙනවා. සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා කියා කිව්වේ ඒකයි. සැකෙවින් කියනවා නම් මේ පඤ්ච උපාධානස්කන්ධයම දුකයි. මෙතැනදී ජාති කියා කිව්වේ පඤ්චස්කන්ධයේ පහළ වීමයි. ජරා කියන්නේ එය කැඩී බිඳී යාම, ව්‍යාධි කියන්නේ ලෙඩ රෝගවලට ගොදුරුවීම, මරණ කියන්නේ පඤ්චස්කන්ධය බිඳීයාම. මේ සියලුම දේ දුකට හේතුවක්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසානම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි.
මහමුහුදේ ජලය කොතැනින් ගෙන බැලුුවත් එකම රසයි තිබෙන්නේ. ඒ ලුණු රසය. ඒ වගේ විරාගික දැක්මක් ඇති තථාගතයන් වහන්සේගේ දහමේ කොතැනින් ගත්තත් එය එකම රසයකින් යුක්තයි. ඒ විමුක්ති රසය. එසේනම් මේ පඤ්චස්කන්ධයෙන් ඈත්වෙන, මිදෙන ක්‍රමයයි තථාගතයන් වහන්සේ සෑම තැනකදීම දේශනාකොට තිබෙන්නේ. ඒ ක්‍රමය පැහැදිලි කළ දේශනාව තමයි බුද්ධ දේශනාව.
ඒ දේශනාව සැකෙවින් ගත්තොත් සීල, සමාධි, ප්‍රඥා ලෙස කොටස් කරන්න පුළුවන්. තවත් සරලව කියනවානම් දාන, සීල, භාවනා ලෙස කොටස් කරන්න පුළුවන්. මේ සීල, සමාධි, ප්‍රඥා වැඩීම තුළත් දාන, සීල, භාවනා වැඩීම තුළත් සිදුවන්නේ රාගය විරාගයට පත්වීමයි.
තථාගතයන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය තුළ දානයට ප්‍රමුඛස්ථානයක් දී තිබෙනවා. දසරාජ ධර්ම, දසපුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස පාරමිතා මේ සෑම දෙයකදීම දානය ප්‍රමුඛ වී තිබෙනවා. දානය ප්‍රමුඛ වන්නේ ඇයි? මේ කියන හැම දෙයකම මුලින්ම සඳහන් කොට තිබෙන්නේ එහි ප්‍රධානකම සලකා ගන්නවාට වඩා එහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ අනෙක් හැම ක්‍රියාවකටම වඩා පහසු ක්‍රියාව දානය නිසයි.

අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව දානයයි

දානය කියන වචනය අප මෙසේ අර්ථවත් කර ගනිමු. මේ අතහැරීමට බුදුදහමේ වචන දෙකක් සඳහන් කරනවා. ඒ දානය සහ පරිත්‍යාගය. කෙනෙක් සිතන්න පුළුවන් මේ දෙකෙන් පරිත්‍යාගය කියන දේ දන් දෙනවාට වඩා ලෙහෙසියි කියා. එයට හේතුව අපේ සමාජ සම්මතයක් තිබෙනවා යමක් පරිත්‍යාග කරන්නේ දුගී මගී යාචකයන්ට, සමිති සමාගම්වලට ආදිය කියා. දාන කිව්වාම ස්වාමින් වහන්සේට වෙනත් පූජනීය අයකුට දෙන දේ දානය කියා සිතනවා. නමුත් මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන්නේ.
මේ කියන දානය සහ පරිත්‍යාගය වචන දෙකෙන් ගැඹුරු අර්ථය ඇත්තේ පරිත්‍යාගය තුළයි. දානය තුළ නොවේ. දානය කියන්නේ අතහැරීමේ ප්‍රාථමික අවස්ථාවයි. සරල අවස්ථාව. බුදුදහම සෑමවිටම සරල තැනින් ගැඹුර කරා යන දහමක්. ඒ නිසා සීල, සමාධි, ප්‍රඥා හෝ දාන, සීල, භාවනා නැත්නම් දස රාජ ධර්ම, දස පාරමී හැම තැනකමදීම දානය මුලට දමා තිබෙන්නේ අනෙක් තැන්වලට වඩා එය සරල නිසා. තථාගතයන් වහන්සේ වදාළා දානය කියන දේ මූලික අදහස සිව්පසය අත හැරීමයි. ගිහියෙකුගේ පහසු සුඛ විහරණය සඳහා උපකාර කරන සිව්පසයක්
තිබෙනවානේ. ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ගේදොර බෙහෙත් එයට අයත්. පැවිදි උතුමන්ටනම් , චීවර,පිණ්ඩපාත, සේනාසන, ගිලන්පසයි. මේ සියල්ල අතහැරීම දානයයි.
පඤ්චස්කන්ධයේ කැමැත්ත
අතහැරීම – පරිත්‍යාගයයි
පරිත්‍යාගය කියන්නේ මොකක්ද? පරිත්‍යාගය කියන්නේ පඤ්චස්කන්ධයට ඇති උපාදානය හෙවත් කැමැත්ත අතහැරීමයි. එසේනම් සිව්පසයට ඇති කැමැත්ත අතහරින්න බැරි අයට පඤ්චස්කන්ධයට ඇති කැමැත්ත කෙසේවත් අත හරින්න බැහැ. ඒ නිසා අනුපිළිවෙල අගයන මේ දහම තුළ දානය පුරුදු කරන්න බැරි පුද්ගලයාට පරිත්‍යාගය කෙසේවත් පුරුදු කරන්න බැහැ. අනුපිළිවෙල ක්‍රමයට අනුව මුලින්ම තිබෙන දානය පුරුදු කිරීම තුළිනුයි. සිව්පසය අතහැරීම , ඒවාට තිබෙන බැඳීම, ආශාව අතහැරීම කළහැකි වන්නේ ඒ තුළිණුයි. ඒ වගේම පඤ්චස්කන්ධයට තිබෙන බැඳීම, උපාදානය, ආශාව අතහැරීම පරිත්‍යාගය කියන්නේ.
චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය විස්තර කරද්දී යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ තස්සායෙව කියන්නේ මේ පඤ්චස්කන්ධයට තිබෙන තණ්හාවේ අසේසවිරාග නිරෝධෝ ශේෂයක් නැතිව සම්පූර්ණයෙන්ම අතහැරීම, ඒ තණ්හාව නිරුද්ධ කර දැමීම, චාගෝ පරිත්‍යාග කරනවාද පටිනිස්සග්ගෝ නිස්සර්ජනයක්, මුදාහැරීමක් සිදු කරනවාද, මුත්ති මිදීමක් සිදුවෙනවාද, අනාලයෝ පඤ්චස්කන්ධයට නොඇලී සිටිනවාද එයයි දුක නැති කිරීම කියන්නේ. මෙහිදී දානෝ කියන වචනය යොදා නැහැ. ඒ නිසා අප තේරුම් ගතයුතුයි දුක්ඛ නිරෝධයට ප්‍රධාන උපකාරය වන්නේ පඤ්චස්කන්ධයට තිබෙන ආශාව අතහැරීම කියන අදහසින් චාග කියන වචනය මෙහිදී යොදා තිබෙනවා. ඒ නිසා දානයෙන් පටන් ගෙන පරිත්‍යාගය දක්වා යන දර්ශනයකුයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම තුළ තිබෙන්නේ.

මහත්ඵල සහ මහානිශංස

ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් දානය පූජා කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා අපට කියාදී තිබෙනවා. දානය පූජාකිරීමේ පරමාර්ථ දෙකක් දක්වන්න පුළුවන්. ඒ මහත්ඵල ලෙස සහ මහානිශංස ලෙස. මහත්ඵල කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අරහත් මාර්ගඵලවලට. “මහානිශංස” කියන්නේ එයින් මෙහා ලෞකික ජීවිත සාර්ථක කර ගැනීම සඳහා උපකාර වන දෙයයි. නමුත් අප භාවිතා කරන්නේ එය එකවර මහත්ඵල මහානිශංස කියායි.
ඕනෑම අන්‍ය ආගමිකයෙකුට වුවත් මහානිශංස ලබා ගතහැකි ආකාරයට දානයක් පූජා කරන්න පුළුවන්. නමුත් මහත්ඵල ආනිශංස දෙකම ලබාගත හැකි ආකාරයට දානයක් පූජා කළහැකි වන්නේ බෞද්ධයන්ට පමණයි. බෞද්ධයා ඕනෑම දෙයක් අතහැරිය යුත්තේ නිවන ඉලක්ක කොටගෙනයි. සිව්පසය හෝ අතහරිනවා නම් එයා ලෞකික බලාපොරොත්තුවලින් තොරව ලෝකෝත්තර මාර්ගඵල අපේක්ෂාවෙන් මේ අතහැරීම සිදුකළ යුතුයි. මාර්ගඵල ලබාගැනීම සඳහා හේතුවන ප්‍රාථමික ක්‍රියාවක්ය කියා දැනගෙන අතහරිනවා නම්, සම්මාදිට්ඨියේ පිහිටා දෘෂ්ඨි සම්පන්නව අතහරිනවා නම් ඒ අතහැරීම නිවනට උපකාරි වෙයි.
එසේ නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන ආකාරයට දානයේ ආනිශංස ලෙස භවභෝග සම්පත් අප ප්‍රාර්ථනා කළත් නොකළත් එසේම ලැබෙන බව තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළා.

දිවි මඟ එළිය කරන දහම් මඟ

බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

අනන්ත සසර තුළ පුහුදුන් මිනිසා රාගයෙන් රත්ව, ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවී ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සසරෙහි පුද්ගලයාට සසර දුක් දුරු කොට අපාදුක් නසා මෙලොව පරලොව සැප පිණිස මෙන් ම නිවන් අවබෝධය සඳහා හේතුවන මහා පිනක් ලෙස ධර්ම ශ්‍රවණය හැඳින්විය හැකිය.
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන, සීලා දී පාරමිතාවන් පූර්ණය කොට ධර්මය අවබෝධ කොට ගත් බවත් එය සංදිට්ඨික, අකාලික, ඒහි පස්සිකෝ ආදී ගුණයෙන් යුක්ත වන හෙයින් උන්වහන්සේගේ දේශනාව වූයේ ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ ලොවෙහි සියලු දානයන් පැරදවීම පිණිස ධර්ම දානය හේතුවන බවයි.
එනම් ලොව කොපමණ නිවාස, යාන, වාහන, ආහාරපාන, මුදල් ආදිය පරිත්‍යාග කළ ද එය එම පරිත්‍යාග ලබන පුද්ගලයාට මෙලොව සැප පිණිස පමණක් හේතුවේ. නමුත් ධර්ම දානය තුළින් ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් නොව නිවන් අවබෝධය සඳහා ද හේතුවන බව තථාගත දේශනාවයි.
අංගුත්තර නිකාය අටුවාව තුළ දී දැක්වෙනුයේ මෙලොව යම් ඇසීමක් වේ නම් ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම ශ්‍රේෂ්ඨ වන බවයි. දස පුණ්‍ය ක්‍රියා අතර සද්ධර්ම ශ්‍රවණය නව වැනි පින් ක්‍රියාව බව දක්වයි. වර්තමානයේ දී අප විවිධ අවස්ථාවන්වල සද්ධර්ම ශ්‍රවණය සිදුකරන අතර විහාරස්ථානයක, නිවසක නැතහොත් විවිධ සමිති සමාගම්වලින් සිදුකරන ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දේ. එමෙන් ම ඥාතියෙකු මිය ගිය පසු ඒ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම, මතක බණ, අරියවංස ධර්ම ශ්‍රවණය, යුගාසන ධර්ම ශ්‍රවණය, කාව්‍ය ධර්ම ශ්‍රවණය ආදී විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරයි. බුදු දහම වනාහි සර්වකාලීනය. එනම් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම ගැළපෙන්නේ ය. මැනවින් ධර්මය හදාරා පෙළ, අටුවා, ටීකා ආදිය පරිශීලනය කොට ධර්මය දේශනා කළ යුතුය. බෙරයක් අවැසි වන්නේ දසත හඬ පැතිරවිමටය. යම් හෙයකින් එම බෙරය සිදුරු වූ විට එම කඩතොළු වැසීම සඳහා රත්තරනින්, මුතු, මැණික්වලින් කළ පැලැස්තරවලින් වැසීමේ දී බෙරය බාහිරව ඉතා අලංකාර වන නමුදු බෙරයේ ශබ්දය ලබා ගැනීමට නොහැකිය.
තථාගත බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවේ දී උන්වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණයක මූලික අරමුණ නම් ශ්‍රාවකයාට නිබ්බිදාය, විරාගාය, උපසමාය, අභිඤ්ඤාය, සබ්බෝධාය, නිබ්බානාය යන කරුණු අවබෝධය සඳහාය.
නිබ්බිදාය යනු කළ කිරීම ඇතිවන පිණිසය. එනම් සසර පිළිබඳවය. යමෙකුට තමා මෙම සසරෙහි දිගු කාලයක් තිස්සේ ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී තත්ත්වයන්වලට පත්වෙමින් දුක් විපාක ලබා ගනිමින් ගමන් කිරීම පිළිබඳව ඇතිවන සසර කලකිරීමයි.
විරාගාය යනු රාගය දුරු කිරීමටය. ලොවෙහි බොහෝ දෑ නිර්මාණය වී ඇත්තේ අපගේ ආශාවන් වැඩි කිරීමටය. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමටය, ගෙවල් දොරවල්, මුදල් ආදිය පිළිබඳව අපගේ ආශාව දිනෙන් දින වැඩිවේ. නමුත් අප ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අප තුළ ඇති තද ආශාව සමනය කර ගැනීමට හේතුවේ.
උපසමාය යනු අප මෙලොව ජීවත්වීමේ දී විවිධාකාර ප්‍රශ්න, ගැටළු, ආදියෙන් මානසික සතුටක් නොමැතිව ජීවිතය පවත්වා ගෙන යාමය. තථාගත දේශනාවට අනුව ධර්ම ශ්‍රවණය වනාහි කෙලෙස් සංසිඳීම හා මානසික සතුට පිණිස හේතු වේ. බුද්ධ කාලයේ දී පාටාචාරා, කිසාගෝතමී, කොසොල් රජතුමා, අජාසත්ත රජතුමා ආදි සෑමදෙනාම තම ජීවිතයේ සංසිඳීම සොයා ගත්තේ බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීම තුළින්ය. එබැවින් යමෙකුට තම මනසට සුවයක්, සතුටක් හැම කාලයට ම ලබා ගැනීමට අවැසි නම් එය ලබා ගැනීමට හැකිවනුයේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ පමණය.
අභිඤ්ඤාය යනු දැන ගැනීම පිණිසය. එනම් බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳව දැන ගැනීම පිණිස හේතුවනුයේ ධර්ම ශ්‍රවණය පමණකි. යමෙකු ලෝකයේ ‘බහුශ්‍රැත’ පුද්ගලයෙකු බවට පත්වනුයේ හුදෙක් ඔහු යම් යම් දේ පිළිබඳව දැන ගැනීම පිණිසය. ඒ අනුව යමක් දැන ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය හේතුවේ.
සම්බෝධාය යනු අවබෝධයයි. එනම් බුද්ධ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය ආදිය මනාව අවබෝධය ලබා ගැනීමට අවැසිය. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය අප අවබෝධ කොට ගත යුතු අතර, පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන හේතුඵල වාදය පිළිබඳව අපට අවබෝධයක් ලැබීමට නම් නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය.
නිබ්බානාය යනු සියලු දුක් නැති කොට නිවන අවබෝධය සඳහා ධර්ම ශ්‍රවණය හේතුවන අතර, ධර්ම ශ්‍රවණයේ අවසාන බලාපොරොත්තුව වන්නේ එයයි.
එබැවින් අප නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය. කෙනෙකු යහපත් වීමට ඇත්තා වූ එකම මාර්ගය බුද්ධ ධර්මය ඇසීමය. මිනිසුන් ධර්මයෙන් ටික ටික ඈත් වූ පමණට සමාජයේ ප්‍රාණඝාත, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මත්පැන්, මත්ද්‍රව්‍ය, ප්‍රශ්න වැඩිවෙයි.. ගුණවතුන් අඩුවේ. ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන සිටියත්, ධනයෙන් යුක්ත වූවන්, නෑ හිත මිතුරන් පිරිවරාගෙන හිටියත් මෙලොව අප සැමට යම් දිනක තනිවීමට සිදුවේ. එනම් තමා අවසාන මරණයට පත්වන අවස්ථාවයි. එවෙලෙහි තමාගේ පිහිට පිළිසරණ වනුයේ භෞතික දෑ නොව, තමා කළ යහපත් කටයුතු වේ. නූතන ලෝකයේ රූපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය වැනි දෑ තුළින් පවා ධර්ම ශ්‍රවණය කළ හැකිය. තථාගත දේශනාවට අනුව නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම තුළ,
අස්සුතං සුනාති
- නො ඇසූ දෑ අසන්නට ලැබීම
සුතං පරියොදපෙති
- ඇසූ දෑ නැවත අසන්නට ලැබීම
කංඛං විහරති
- සැක දුරු කර ගැනීමට
දිට්ඨිං උජුං කරොති
- දෘෂ්ඨිය ඍජුවට
චිත්ත මස්ස පසේදති
- සිත පැහැදීම
මේ අනුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබා ගත් පිරිස අපමණය. සෝවාන්, සකෘදගාමී, අනාගාමි හා අරහත් තත්ත්වයට පත්වුණ අය අපමණය. එම තත්ත්වයට පත් වූ අය අතර, විශේෂ වනුයේ හුදෙක් දෙවි මිනිසුන් පමණක් නොව තිරිසන්ගත සතා සිවුපාවා හා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද ප්‍රතිඵල බොහෝය. සද්ධර්මය ශ්‍රවණය කරන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇතිවන බව මමෝරථ පූරණි අටුවාවේ දැක්වේ.
විමාන වත්ථු ප්‍රකරණයට අනුව චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසිම අරමුණක් නැතිව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව සඳහන් වේ. එමෙන් ම ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුමක් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා එපිනෙන් මිනිස් ලොව ඉපදීම. ආදී නිදසුන් අනුව සද්ධර්ම ශ්‍රවණය තුළින් තිරිසන් ගත සත්ත්වයන් පවා ප්‍රයෝජන ලබාගෙන ඇත. අප බෝසතාණන් වහන්සේ දහම් සොඬ ජාතකයේ දී ධර්මය සඳහා තම ජීවිතය කැප කිරීමට යෙදිණ. එබැවින් අප ද සිත, කය, වචනය තුන්දොර හික්මවා ගැනීමෙන් යුක්තව සාවධානව ධර්මය ශ්‍රවණය කිරීම තුළ මෙන් ම ධර්ම මාර්ගයේ හැසිරීමෙන් මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පි‍්‍රය දේ නිසා හට ගන්නා සැප සහ දුක

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගනී. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත
ලෝකයට ඉතා කලාතුරකින් පහළවී වදාළ බුද්ධිමත් දෙව් මිනිසුන් ආදරයෙන් සරණ ගිය දෙවියන්ට දෙවි වූ බඹුන්ට බ්‍රහ්ම වූ සුගත තථාගත අප මහා මුණීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් අපට මේ සසර ගමන නිමා කිරීමට හැකියාව තිබෙනවා.
යමක් හේතුවෙන් අපට කායිකව හෝ මානසිකව සැපක් සොම්නසක් හටගනී නම් ඒ දේ අපට පි‍්‍රයවෙයි. දුක් තැවුල් උදාකරන දෙය අපි‍්‍රය වෙයි. සාමාන්‍ය මිනිසුන් ලෙස අප කා හටත් පි‍්‍රය දේ තිබෙයි. ඒ පි‍්‍රය දේ හේතුවෙන් සැපක් සොම්නසක් දැනෙන නිසා අප නිරායාසයෙන්ම පි‍්‍රය දේ අප වෙත ළංකර ගැනීමටත්, තමාගේ වසඟයේ තබා ගැනීමත් අපි‍්‍රය දේ අපෙන් ඈත්කොට තබා ගන්නටත් උත්සාහ කරයි.

පි‍්‍රය දේ යනු කුමක්ද?

බුදුරජාණන් වහන්සේ විසින් පි‍්‍රය දේ කුමක්ද කියා මෙසේ දක්වා තිබෙනවා. “යමෙකුට ඉෂ්ට වූ කාන්ත වූ, මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන මේවා ඇද්ද, ඔහුට යහපත කැමැති හිත කැමැති පහසුව කැමැති දියුණුව කැමැති මව, පියා හෝ සොහොයුර, සොහොයුරන්, යහළුවන්, මිතුරන් හෝ පවුලේ ඤාතීන් සිටීද, මේ සියල්ල පි‍්‍රය දෙයයි. (මහා සතිපට්ඨාන සූත්‍රය)
භාග්‍යවතුන් වහන්සේ වදාළා පි‍්‍රය අරමුණුවල ඒකාන්ත සැපයක් තිබුණා නම්, කිසිවෙකු මේ සසර දුකින් නිදහස් නොවෙන බව. ඒ වගේම ඒකාන්ත දුකක් තිබුණේ නම් මේ ලෝක සත්ත්වයා කිසිවිට සසරට නො බැඳෙන බව. එනිසා පි‍්‍රය දේ තුළ ආස්වාදය මෙන්ම ආදීනවය ද පවතියි. පි‍්‍රය දේ කෙරෙහි නිරායාසයෙන්ම බැඳීමක් ඇතිවීම අපගේ සිතෙහි ස්වභාවය යි. ඒ ස්වභාවය දෙව් මිනිස් කා හටත් පොදුයි. පි‍්‍රය දේ කෙරෙහි ඇතිවන බැඳීමට බුදුරජාණන් වහන්සේ වදාළේ ඡන්දරාගය ලෙසයි. උන්වහන්සේ වදාළ ඒ ධර්මය තේරුම් නොගත් තැනැත්තාට පි‍්‍රය දේ නිසා දුක හට ගනී යන කරුණ පිළිබඳව වැටහීමක් නැහැ. බොහෝ දෙනා සිතනුයේ පි‍්‍රය දේ නිසා ඒකාන්තයෙන්ම සැපයක් හට ගන්නා බවයි.

ඡන්දරාගයෙන් සිත බැඳීයාම

දිනක් උරුවේලකප්ප ගමේ ජීවත් වූ භද්‍රකගාමිණි “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මා හට දුකේ හට ගැනීමත්, නැතිවීමත් දේශනා කරන සේක්වා.” ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, මම ඔබට අතීතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ අනාගතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ දේශනා නොකොට මේ මොහොත් මෙහිදීම වර්තමානය තුළ දුක හටගන්නේ කෙසේදැයි කියා දේශනා කරන්නම්. මේ උරුවේලකප්ප ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක්, සිදුවුණොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්, වැළපීමක්, දුක් දොම්නස් හටගැනීමක්, සුසුම් හෙළීමක් උපදිනවාද?’ ස්වාමිනි,මේ ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, සිදුවූවොත් ඒ ගැන ශෝකයක්, වැළපීමක්, දුක්දොම්නසක්, සුසුම් හෙළීමක් මා තුළ උපදීයි.
ගාමිණි, මේ ගමේ තවත් ඇතැම් මිනිසුන් හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් සිදුවුවොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්,වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළීමක් හට නො ගැනීමක් වේද? භාග්‍යවතුන් වහන්ස, මේ ගමේ ඇතැම් මිනිසුන්ට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් වුවොත් ඒ ගැන මා තුළ ශෝකයක්, වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළිමක් හට නොගනීයි.
එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට ඔබට දුකක්, දොම්නසක් ඇතිවීමටත්, ඒ ගමේම පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට දුකක්, දොම්නසක් ඇති නොවීමටත් හේතුව කිමෙක්ද? ස්වාමිනි, යම් පිරිසකට දුකක් කරදරයක් වූ විට මට දුකක් දොම්නසක් ඇතිවන්නේ මාගේ සිතෙහි ඒ අය කෙරෙහි ඡන්දරාගය තිබීමයි. යම් පිරිසකට දුකක් කරදරයක් ඇති වූ විට මට දුකක් දොම්නසක් ඇති නොවීමට හේතුව ඒ අය කෙරෙහි මගේ සිතෙහි ඡන්දරාගය නොවීමයි.
ගාමිණි එය එසේමයි. අතීතයේත්, අනාගතයෙත්, වර්තමානයෙත් යම්කිසි දුකක් ඉපදුණානම් ඒ හැම දෙයකටම පි‍්‍රය ස්වභාවය හට ගත්තා වූ කැමැත්ත හෙවත් ඡන්දරාගය මුල් වෙයි. මේ පි‍්‍රය ස්වභාවයට අප තුළ ඇති කැමැත්ත සෑම දුකකටම මුල් වීමයි. (භද්‍රක සූත්‍රය -සං.නි)
එනිසා අප තේරුම් ගත යුතුයි සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගන්නා බව. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත. නමුත් සාමාන්‍ය ගිහි පින්වතුන් ලෙස සැපයට කැමැති ඔබ සැප විඳීමේ අදහසින් පි‍්‍රය වූ දේ ළංකර ගනී. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස පි‍්‍රය වූ කාම ගුණයන් පිළිබඳව නුවණින් සලකා බැලිය යුතු ආකාරය ධර්මයේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා කැලයේ ඇවිදගෙන යන මුවෙක් සිටී. ඒ සතා කැලයේ තණකොළ කකා ඇවිදගෙන යද්දී මුවන් අල්ලන වැද්දෙකු විසින් මේ තණකොළ මැද අටවපු උගුලක පැටලෙයි. මුවා තොණ්ඩුවට අසු වූ නිසා එතැනම නිදා ගනියි. කැමැති, කැමැති තැනකට දුවන්නට බැරි නිසා මුවන් මරණ වැද්දාට ඒ මුවාට ඕනෑම දෙයක් කරන්නට පුළුවනි. ඒ මුවා ගැන කියන්නට තිබෙන්නේ මුවා උගුලේ හසුවීමෙන් සිදුවූයේ විපතක්මයි. පාඩුවක්මයි.

පි‍්‍රය ස්වභාවයෙන් යුතු දේ

මේ ලෝකයේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින සිත ඇදී යන ඉෂ්ටකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහස තිබෙනවා. මේවා තමා අපට පි‍්‍රය දේ කියා කියන්න තිබෙන්නේ. මේ පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම්, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා, දුවාදරුවන්, දැසි දස්සන් ආදි පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකමැති ස්ත්‍රියක හෝ පුරුෂයෙකු තමාගේ සන්තකයට ගන්නවා. තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන් හට ගිජු වෙයි. ඒ ගැන සිහි විකල්කර ගනියි. එයින් ලැබෙන ආස්වාදයෙහි බැස ගනියි. ඒවා ගැන ආදීනව නොදැක නිදහස්වීමේ ප්‍රඥාවක් නොමැතිව එම අරමුණු රස විඳින්න පටන් ගනියි. එය හරියට මුවා උගුලේ හසු වූවා වගෙයි. මෙසේ සිටින කල්හි තමන්හට පි‍්‍රය වූ තමා බැඳී ගිය වූ ඒ පි‍්‍රය වස්තුන් අනිත්‍ය වී යයි. ඒවා අනිත්‍ය වන කල්හි ඒ පුද්ගලයා දුකට පත්වෙයි. මුව වැද්දා මුවාකරා පැමිණෙන සේ දුක තමා කරා පැමිණෙන විට අර කාම සම්පත්වලට ගිජුවූ බැඳුණු ආස්වාදය පමණක් දකිමින් සිටි පුද්ගලයා හට මුවා තොණ්ඩුවට සිරවී සිටින්නා සේ එම කාම සම්පත් වලින් සිත මෑත් කර ගැනීමට නොහැකිව දුකට පත්වෙයි.
එම කැලයේ තවත් මුවෙක් තණකොළ කකා ඇවිගෙන යනවිට මුව වැද්දා අටවපු උගුලක් දකී. ඌ ඒ උගුලේ පැටලවෙන්නේ නැතිව තණකොළ කනවා. උගුල අසලම නිදා ගනී. නමුත් මුවා තොණ්ඩුවට බැඳී නැහැ. පසුදා මුව වැද්දා පැමිණි විට මුවා කැමැති දිසාවකින් පැන දුවනවා. ඒ මුවා විපතට පත්වූණේ් නැහැ. මුවාට පාඩුවක් සිදුවූයේ නැහැ.
මේ ආකාරයට පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා. දුවාදරුවන්, දැසි දස්සන් ආදී පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමාගේ සන්තකයට හෝ තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන්ට ගිජුනොවී ඒ ගැන සිහි විකල් නොකරගෙන එහි ඇති ආස්වාදයෙහි බැස නොගෙන ඒවාහි ආදීනව දකිමින් නිදහස් වීමේ ප්‍රඥාවක් ඇතිව එම අරමුණු රස විඳින්නට පටන් ගනී. එය හරියට මුවා උගුලේ හසු නොවී තණකොළ කනවා වගේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා සේක.
එනිසා පි‍්‍රය දේ නිසා දුක් හටගන්නා මේ ලෝකය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබමින් හට ගන්නා වූ දුක් දොම්නස් සුසුම් හෙලීම්වලින් නිදහස්වීමට උත්සාහ කිරීමට නම් අප තථාගතයන් වහන්සේ සරණ යන්නට ඕන. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳවත් පැහැදීම ඇතිකර ගනිමින් සරණ යාම අවශ්‍යයි. මේ උතුම් තිසරණය තුළ පිහිටා පි‍්‍රය, අපි‍්‍රය දේ අවබෝධ කරගෙන දුක් දොම්නස් සුසුම් හෙළීම් පිරි සසරින් නිදහස් වීමට උත්සුක වෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

කෝට්ටේ කොටුබැම්ම පාරේ 
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති 
කොළඹ කළුතර දෙදිසාවේ 
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති. ඒ විමුක්තිය සඳහා අනුගමනය කළ යුතු ධර්මයෝ මෙන්ම පහ කළ යුතු ධර්මයෝද වෙති. ඒ පහ කළ යුතු ධර්මයන් මෙන්ම අනුගමනය කළ යුතු ධර්මයන් පිළිබඳ තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංක වග්ගයේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. “තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවජ්ජේය්‍යුං න තථාගතෝ ලොකෝ උප්පජ්ජෙය්‍ය, අරහං සම්මා සම්බුද්ධෝ, න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ, ලෝකේ දිප්පෙය්‍ය, කථමෝ තයෝ, ජාතිච, ජරාව, මරණඤ්ච” මහණෙනි මේ ධර්ම තුනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදිති.
තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දිප්ත නොවන්නේය. කවර තුනක්ද, යත් ජාතිය, ජරාව හා මරණයයි. මේ දහම් තුන ලොව යම්තාක් පවතීද ඒ තාක් බුදුවරයන්ගේ ලොව පහළවීම සිදුවෙයි. ඒ තථාගත බුදුවරුන්ගේ පහළවීම නිසා නිර්මල ධර්ම විනය ලොව බබළයි යනු ඉහත පාඨයේ අරුතයි. මෙයින් පැහැදිලි කරන්නේ උපත සදාකාලික නම් එහි ජරාවක් හෝ මරණයක් ඇති නොවන බවයි. එවැනි උපත දුකක් නොව සැපතකි. ජරාවක් හෙවත් දිරීමක් නොමැති බැවින් එය සැපතකි. මරණය නොමැති වීමෙන් එය සැපතකි. එවැනි අයෙකුට උපතේ ආදීනව කියන්නට, ජරාවේ ආදීනව කියන්නට, මරණයේ ආදීනව කියන්නට කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැත. නමුදු ලෝක ස්වභාවය නම් නිවන් අවබෝධ වන තෙක් සත්ත්වයාගේ උපත සිදුවන බවයි. ඒ උපන් සත්ත්වයා ජරාවට පත්වෙන බවයි. මරණයට පත් වෙන බවයි. තථාගත බුදුවරුන්ගේ පහළ වීමෙන් සිදු කරන්නේ ජාතියට හේතු කියා දී ඒ හේතු නැති කිරීමෙන් ජාතිය නැති කරන ආකාරයයි. ඒ ජාතිය නැති කළ විට ජරාව, මරණයද නැති වේ.
එය තවදුරටත් පැහැදිලි කරමින් මහණෙනි, ධර්ම කරුණු තුනක් ප්‍රහාණය නොකරනතාක් ජාතියෙන් මිදීමක් ජරාවෙන් මිදීමක්, මරණයෙන් මිදීමක් කිසි කලෙක සිදු නොවෙයි. ඒ ජාතියෙන් මිදීමට නම් ජරාවෙන් මිදීමට නම් මරණයෙන් මිදීමට නම් රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය .මේවා ප්‍රහීණ නොකරන තාක් ජාතියෙන් මිදීමක් නැත. ජරාවෙන් මිදීමක් නැත. මෝහයෙන් මිදීමක් නැත.
ස්කන්ධයන්ගේ පහළවීම,ඇතිවීම හට ගැනීම භවයෙහි උපත ලැබීම, ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ උත්පාද ලක්ෂණය ආදිය මෙයින් අදහස් කරයි. ජරාව යනු දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වු සන්තතියෙහි හෙවත් රූපාරූප ධර්ම පරම්පරාවෙහි එක් භවයක ඇතුළත් ස්කන්ධයන්ගේ පුරාණ බවයි.
මරණය යනු කර්මයෙන් උපන් රූපාදී ස්කන්ධ පහළ වී මෝරා අවසානයේ නැති වී යාමයි. එබැවින් ජාතියෙන් මිදීමට ජරාවෙන් මිදීමට , මරණයෙන් මිදීමට රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය . මේ ධර්ම තුන ප්‍රහීණ නොකරතාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසයයි. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය ආත්මීය වශයෙන් ගැනීම සක්කාය දිට්ඨියයි. සැකය හෙවත් කුකුස හේතු කොට ඇතිවන නිර්මාණ බාධකයද, බුද්ධාදී අට තැනෙක්හි ඇති කරගන්නා සැකය හේතුකොට ගත් නීවරණය විචිකිච්ඡාවයි. සසර දුකින් මිදෙනු පිණිස ගන්නා වැරදි මාර්ගවූ ගෝසිල ගෝ වෘත ආදිය සීලබ්බත පරාමාස නම් වේ.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒවා නම් අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, හා සිතේ අලසකමයි. අයෝනිසෝ මනසිකාරය යනු නුනුවණින් මෙනෙහි කිරීමයි. යම් කරුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීමයි. වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි. මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ආර්යන් වහන්සේලා දැකීමට ඇති අකැමත්ත, ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය ඇසීමට ඇති අකැමත්ත හා දෝෂාරෝපණයට ලැදිවීමයි. මේ කියන ධර්ම තුන ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ධර්ම තුනක් වැඩෙයි. ඒ ධර්ම තුන නම් උද්ධච්චය, අසංවර භාවය හා දුස්සීල භාවයයි.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ශ්‍රද්ධාවෙන් තොරවීම, මෛත්‍රිය හා කරුණාවෙන් තොරවීමයි. අලස කමින් යුක්ත වීමයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් අන් අයට ගරු නොකිරීම,අකීකරුකම, පාප මිත්‍ර සේවනය වැඩෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ගරු කිරීම, කීකරුකම, කල්‍යාණ මිත්‍ර සේවනය ඇති නොවෙයි. ඒවා ඇති නොවු විට ඔහු තුළ අහිරිය,අනොත්තප්පය, හා ප්‍රමාදය ඇති වෙයි.එවිට ඔහු තුළ පවට ලජ්ජාව, බිය හා අප්‍රමාදී බව නැති වෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු ජාති, ජරා, මරණය කරාම ගමන් කරයි.
එබැවින් හෙතෙම හිරි ඔතප් හා අප්‍රමාදී බවින් කටයුතු කරන්නෙකු විය යුතුය. එසේ වූ විට අගෞරවය පහවී ගෞරවය ඔහු තුළ උපදියි. අකීකරුකම පහවී කීකරුකම ඇති වෙයි. පාප මිත්‍ර සේවනය පහකළ විට කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇසුරට පි‍්‍රය කරන්නෙක් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඔහු තුළ අසද්ධාව ප්‍රහීණය වී සද්ධාව පහළවෙයි. සද්ධාව පහළවන විට මෛත්‍රිය හා කරුණාව උපදියි.අලසකම ප්‍රහීණය වී ආරද්ධ වීර්ය ඇතිවෙයි. ආරද්ධ වීර්ය හෙවත් නොපසුබට උත්සාහය නිසා සිතේ ඇති නොසන්සුන්කම වෙනුවට සන්සුන්කම පහළ වෙයි.
සිතේ සන්සුන්කම වැඩෙන විට අසංවරය වෙනුවට සංවරය පහළ වෙයි. සංවර බව වැඩෙන විට දුසිල්බව ප්‍රහීණය වී සිල්වත් බව වැඩෙයි. සිල්වත් බව ඇතිවෙන විට ආර්යයන් වහන්සේලා හමුවීමේ කැමැත්ත පහළ වෙයි. ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත වැඩෙන විට ඒ ආර්යයන් වහන්සේලාගේ දහම ඇසීමට පි‍්‍රය කරයි. ආර්යයන් වහන්සේලාගේ දහම අසන විට දෝෂාරෝපණයට ඇති කැමැත්ත පහවී මුලාවූ සිහිය වෙනුවට සම්මා සතිය වැඩෙයි. සම්මා සතිය පහළවීමත් සමඟම ප්‍රඥාව හෙවත් නුවණ ඇති කෙනෙක් බවට පත්වෙයි. ප්‍රඥාව කරණකොට ගෙන සිතේ විසිරෙන ස්වභාවය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සිත එක අරමුණක තබා ගැනීමට හැකිවෙයි.
චිත්ත ඒකග්‍රතාවයෙන් යුත් සිතට අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහළ වෙයි. ඒ යෝනිසෝ මනසිකාරය හේතු කොට ගෙන නිවැරදි මග හෙවත් සම්මා දිට්ඨියට පිවිසෙයි.
නිවැරදි මගට පිවිසීම නිසා සිතේ විවෘත භාවය ඇතිවෙයි. සිතේ විවෘත භාවය කරණකොට ගෙන මමය මාගේය යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහීණය වෙයි.
සැකය හෙවත් විචිකිච්ඡාව ප්‍රහීණය වෙයි. සීලබ්බත පරාමාස ප්‍රහීණය වෙයි. එසේවූ සිතට රාගය සහමුලින් පහ කළ හැකිය . ද්වේශය සහමුලින් පහ කළ හැකිය. මෝහය සහමුලින් පහ කළ හැකිය. ඒ රාගය පහ කළ දෝෂය පහ කළ මෝහය පහ කළ තැනැත්තාට ජාතිය ප්‍රහීණය කළ හැකිය.
ජරාව ප්‍රහීණය කළ හැකිය. මරණය ප්‍රහීණය කළ හැකිය. ඒ ජාතිය ජරාව, මරණය ප්‍රහීණය කිරීම යනු නිවන් අවබෝධ කරගත් අයෙක් බවට පත්වීමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය 
මහපිරිවෙන් ආචාර්ය රාජකීය 
පණ්ඩිත ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි
 

සංයෝග යනු එකට එකතු වීමයි හෙවත් හමුවීමයි. වියෝග යනු වෙන් වීමයි. සංයෝගයක් හෙවත් එකට එකතුවීමක් යම් තැනකදී සිදුවන්නේද ඒ ඇති වූ හමුවීම වෙන්වීමකින් කෙළවර වීම විශ්ව ධර්මතාවයි. “පියෙහි විප්පයොගෝ දුක්ඛො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි.
අප මව් කුසින් මෙලොව එළිය දුටු දිනයේ සිට ප්‍රථමයෙන් මවත් පියා සහ සහෝදර සහෝදරියන් සමගත්, ආච්චි ,සීයා ,නැන්දා , මාමා ආදි අවශේෂ ඥාති වර්ගයා සමගත් දැඩිබැඳීමකින් හා එකමුතු කමකින් ජීවත්වීමට පුරුදු පුහුණු වී සිටිමු. ඔවුන් අපට දක්වන ආදරය සෙනෙහස හා මගේය, අපේය යන ආකල්පයෙන් එකිනෙකා කෙරෙහි දක්වන මානසික සංවේදීභාවය අපේ හදවත් තුළ දැඩිව කිඳා බැසගෙන පවතී. එනිසා ඔවුන් කෙරෙහිද අපගේ මනසෙහි ඇත්තේ සුවිශේෂී මමත්වයකි.

පාසල් යන අවදියේ සිට සමාජ ජීවිතයකට පුරුදු පුහුණු වන අපි, බැඳීම් තව දුරටත් පුළුල් කර ගැනීමට පෙළඹෙමු. ඒ අනුව අපට ගැළපෙන මිත්‍ර සමාගමක් සමගත් එයින් බැහැර අසල්වාසීන් සමගත් රැකියා ස්ථානයේදී හිත මිතුරන් සමගත් දැඩි ළෙන්ගතු ඇසුරකට පත්වෙමු. අපගේ ඇසුරට ආදරණීය සුවිශේෂී පිරිසක් සමීප කරගත් දිනයේ සිට ඔවුන් සියලු දෙනා සමඟ දුක සැප බෙදාගනිමින් ජීවිතය භුක්ති විඳින්නෙමු. මේ සංයෝග හෙවත් හමුවීම සියලු දෙනාටම අවැසිය. පෘථග්ජන අප කිසිවෙකුට ලෝකය තුළ හුදකලාව ජීවත් විය නොහැකිය. වරක් බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළේ වනයෙහි ගස් මෙන් එකිනෙකාට නම්‍යශීලිව ඔවුනොවුන් අතර බැඳී බොහෝ ඥාතීන් ඇතිව ජීවත් වන ලෙසයි.

‘ඤාති සම්බහුලා හෝථ 
අපි රුක්ඛා අරඤ්ඤහි”

එනිසා මෙබඳු ඤාති මිත්‍ර පිරිසකගේ හමුවීම අතිශයින්ම අප සැමට ප්‍රමෝදය ඇති කරයි. අපේ අම්මා හා තාත්තා අප ළඟ රැඳී සිටීම අපට සතුටකි. ඔවුන් දෙපළට ද දරුවන් ළඟ සිටීම මහත් සතුටකි. බිරිඳ හා දරුවන් මෙන්ම සහෝදර සහෝදරියන් ද එම සතුට තීව්‍ර කරයි. අපි ආදරය කරන මේ කිසිවෙකුට විපතක් අනතුරක් සිදු නොවී හැම දිනම අප හා එකතුවී සිටීම තරම් ආස්වාදයක් අපට නොමැත.එනිසා සංයෝගය නම් ධර්මතාව අප සියලු දෙනාගේ ජීවිතයට ජීවයක් ලබාදෙන ගුණයක් ලෙස දැනේ. මේ හේතුවෙන් අපේ බැඳීම් කිසිවිටෙකත් බිඳ වැටෙනවා දැකීමට අපේක්ෂා නොකරන අතර වැඩි වැඩියෙන් බැඳීම් තහවුරු කරගනිමින් ජීවත්වීමට අපි පුරුදු පුහුණු වී සිටිමු. එය පෘථග්ජන වූ අප සැම දෙනාගේම පරම අභිලාශයයි. එහෙත් මේ කිසිඳු බැඳීමක් ස්ථිරව නොපවතී. ඒවා අනිවාර්යයෙන්ම බිඳවැටෙන ස්වභාවයෙන් යුක්තය. අප මනස හා බැඳුණු සැම ළෙන්ගතු ඇසුරක්ම වෙන්වීමකින් කෙළවර විය යුතුය. ලෝක ස්වභාවය නම් එයයි. අපව කිරි පොවා හදා වඩා පෝෂණය කළ එසේම අසීමිත මව් පිය සෙනෙහසකින් අපේ හදවත පිරවූ අපේ අම්මා හා තාත්තා ඇතුළු සියලු දෙනාම කෙදිනක හෝ අප අතහැර වෙන් වී යාමේ පැත්තට බර බව ඔවුන් සමඟ සතුටින් සිටින විට නොදැනේ. එසේම ඔවුන් අපෙන් වෙන්වී යාම ගැන සිතීමටද අපි අකැමැති වෙමු. එනමුත් එම සිතිවිල්ල ආත්මාර්ථකාමී වූ සත්‍ය ධර්මතාවට විරුද්ධ වූවකි. හැම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වන බව නොදැනෙන තාක් අපට පි‍්‍රය විප්‍රයෝගී දුකින්ද නිදහස් විය නොහැකිය.
මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය පිරිනිවන්පෑ අවස්ථාවේ ඇයගේ වියෝගය දරාගත නොහැකිවු පෘථග්ජන භික්ෂුණීන් ඇමතූ බුදුරජාණන් වහන්සේ සියලු බැඳීම් හා හමුවීමි. වෙන් වීමකින් කෙළවර වන බව අවධාරණය කළහ.

“හා! සංයෝගා වියෝගන්තං”

මෙම ධර්මතාව වටහා නොගෙන ජීවත්වීම හේතුවෙන් පි‍්‍රය විප්‍රයෝගී දුකක් වූ විට අප තුළ දරා ගැනීමේ ශක්තිය දුර්වල වී යයි.
එවිට අප පත්වන ඛේදනීය මානසික තත්වයෙන් ප්‍රකෘතිමත් භාවයට පැමිණීම පහසුනොවේ. මෙම ධර්මතාව පිළිබඳව විවෘතව බැලීමට පුරුදු වුවහොත් අප කිසිවෙකුට හැඬීමට හෝ දුක්වීමට සිදු නොවේ. වරෙක අපගේ පී‍්‍රති ප්‍රමෝදයට හේතු වූ පුද්ගලයා හා වස්තුව තවත් වරෙක අපම දුකට යොමු කරවන බව අවබෝධ කරගත යුතුය. එය අපි ඇසුරු කරන හා ආදරය දක්වනන්ගේ වරදකින් සිදුවන දෙයක් නොව අප ඔවුන් කෙරෙහි දැක්වූ අවියෝජනීය මානසික බැඳීමේ ස්වභාවය පදනම් කරගෙන සිදුවන්නකි. මෙය තවදුරටත් සරලව මේ අයුරින් වටහාගත හැකිය. එනම් අප ඇසුරේ සිටින අය අප අතරින් ඉවත්ව යාමත් අලුතින් පරපුරක් දරු මුණුපුරන් ලෙස අපේ ඥාතීත්වයට පැමිණීමත් යන දෙපැත්තටම ආවේණික රටාවකට අනුගතව විශ්වධර්මතාව ක්‍රියාත්මක වන බවයි. මව හෝ පියා එසේම දරුවන් මිය යාම අපට දැරිය නොහැකි වුවත් ඔවුන් වෙන් වී යාම තුළ ඇත්තේ අපට ප්‍රථමයෙන් අප අතහැර යාම පමණි. ජීවත්ව සිටියදී අපේ ඇසුරේ සිටින බොහෝ දෙනෙක් අප අතහැර යන අයුරින්ම අපටද අපේ ආදරණීයයන් කෙදිනක හෝ අතහැර යාමට සිදුවේ. ස්වභාව ධර්මයේ නියතිය එයයි. එම නියතියට අප සියලු දෙනාම යටත් වී සිටිමු. එයින් මිදීමට හැකි වන්නේ සියලු බැඳීම්වලින් මිදුණු විරාගී චරණයට පත්වීමෙන් පමණි. ඒ සඳහා නිවැරදි මාවත බුද්ධ දේශනාවේ සඳහන් වේ. එතෙක් අප ආදරය කරන අපේ ජීවිත සමඟ බැඳී සිටින සියලු දෙනාම විශ්ව ධර්මතාවයේ නියතියට යටත් බවත් ඒ ධර්මතාවයට අනුව අපි සියලු දෙනාම ලෝකය තුළ ජීවත් විය යුතු බවත් අවබෝධ කරගැනීම වියෝ දුකින් මිදීමට ඇති නිවැරදි මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බියකරු සසරේ ගමන සීරුවෙන්

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරා ඉරා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර ශෝභමාන මාවත කරවකුගේ වුව සිත් තුළ පවතිනු ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහ යතිවරයාණන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහණ වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඬලින් ගලාගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අප ඔබ සිත් අභිමුව තබමු.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක්‌ නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක්‌ නොවේ. දෙවියන් පමණක්‌ නොවේ. මිනිසුන් පමණක්‌ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ අමාමෑණියන් වහන්සේගේ බුදු සිරියෙන් හිත්පිත් නැත්තාවූ අෙච්තනිකයෝද සැනහී ගත්තෝය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මඟට බැස සොඳුරු සිරිපතුල් තබා වඩින විට එක හැටියේම ඝන බොල් පොළොව සැරසී නෙක මල් පිපුණේද එහෙයින්මය. එයට හේතු වූයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර දුක කෙළවර කොට ඒ බියකරු සසර සැඩ පහරින් සදහටම එතෙරවී ගැන්මම නොවේ. එමෙන්ම උන්වහන්සේ සියලු ලොවැසි සත්වයන් කෙරෙහිම පතළ මහා කරුණාවෙන්ද වැඩ විසූ සේක. ප්‍රඥාවෙන් අනන්ත, අප්‍රමාණද වූ සේක. සැකෙවින්ම පවස තොත් උන්වහන්සේගේ ජීවිතය තුළින් කුරාකුහුඹුවෙකුටවත් අබමල් රේණුවක තරම්වත් කිසිම වරදක්‌ සිදුවූයේ නැත. උන්වහන්සෙ රහසින්වත් පව් නොකළ සේක යනුවෙන් විශ්ව සම්මතයක්‌ ගොඩනැගුනේද එනිසාමය. 

දිනක්‌ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිජුකුළු පව්ව යටින් සක්‌මන් කරමින් සිටියහ. එම විසල් පර්වතය උඩ හුන් දෙව්දත් තෙරුන් උන්වහන්සේ යටකර මරාදමන්නට මහ ගලක්‌ පෙරළා එවූයේ මේ නිමේෂයේදීය. සම්මා සම්බුදුවරයෙකුගේ පරමෝත්තම ජීවිතයට මේ සක්‌වලෙහි නොව, අන්කිසි ලොවක කිසිවෙකුටත් කිසිම අන්තරායක්‌ සිදුකරන්නට නම් නොහැකිමය. සිය කාලකණ්‌නි ජීවිතයේ පව් පොතම පුරවමින් සිටි දේවදත්තට එය තේරුම් ගැනීමට තරම්වත් සැදැහැ සිතක්‌ නොතිබුණේ අවාසනාවටමය. ඒත් ඔහු පෙරළා එවූ ඒ මහගලින් බිඳී ආ ගල් පතුරක්‌ සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ සිරි පතුලෙහි වැදිණ. උන් වහන්සේට එයින් වේදනා උපන් අතර ජීවක එයට වෛද්‍ය ප්‍රතිකාරද කළේය. 

සියලු ලෝවැසි සත්ත්වයන් කෙරෙහි පතල මහා මෛත්‍රීයන් වසන තමන් වහන්සේට මෙසේ සිදු වූයේ කුමක්‌ නිසාද? උන්වහන්සේ ක්‌ෂණයකින් අතීතය පරීක්‌ෂා කර බැලූහ. එවිට උන්වහන්සේට හේතුව ඇක ගන්නට ලැබිණ. ඒ උන්වහන්සේ සම්මා සම්බුදු බව පතා බෝධි සම්භාරධර්මයන් පුරන්නටත් පෙර ඉතා දුර ඈත අතීතයේ එක්‌ ආත්මයක කර තිබූ පාප කර්මයක විපාක දීමක්‌ විය. අවුරුදු දහස්‌ ගණනින් ගෙවා සම්බුද්ධත්වය ලැබූ ආත්මභාවයට පැමිණ සිටියද ඒ කර්මයේ විපාක දීම ගෙවී නොතිබිණ. 

ඉදින් කාරුණික පින්වතුනි, ඔබට සිතන්ට පිළිවන්ද? ඔබ යම් කිසිවක්‌ සිතනවාද? ඒ අනුව ක්‍රියා කරනවාද? එහි හොඳ හෝ නරක ප්‍රතිවිපාකය ඔබ වෙනුවෙන්මය. එහි ප්‍රතිවිපාකය අන්කෙනෙකු නොපැමිණෙන්නේමය. මේ බියකරු සංසාරයෙහි ස්‌වාභාවය එලෙසමය. එහි ඒ විපාක ලැබෙන්නට තරාතිරමක ප්‍රශ්නයක්‌ද නැත. අරහත් භාවයට පැමිණියත් එහි ප්‍රවෘත්තිවිපාක තමන් වෙතම පැමිණෙන්නේය. 

ලෝකයා ලොව තුළ ජීවත්වෙති. ඔවුන්ගේ ජීවිතය කොතෙක්‌ නම් සංකීර්ණද? කොතෙක්‌ නම් විශමතාවයන්ගෙන් යුක්‌තද? ඔවුන්ගේ ජීවිත තුළිනි සිදුවනදෑද මෙලෙසින්ම නොවේද? ඔවුහු අනෙක්‌ විවිධ වූ අරමුණු ජය ගැනීම සඳහා නොයෙක්‌ දේද සිදු කරති. මෙසේ සිදු කරන බොහොමයක්‌ දේ අකුසල මූලයන්ගෙන් මිස කුසල මූලයටන්ගෙන් පිරිසුදුවී නැත. මේ බව අද ලෝකය තුළ සිදුවන විවිධාකාරවූ අපරාධමය සිදුවීම් තුළින් හොදින්ම අවබෝධ කර ගැනීම අපහසු නැත. 

මොහොතක්‌ කල්පනා කර බලන්න ඔබ හෝ වේවා අන්කවරෙකු හෝ වේවා සිදු කරවන දේ තවත් කෙනෙකු සඳහා නම් නොවේ. ඒවා එලෙස සිදු කරන්නේ ඔබ වෙනුවෙන්මය. කණගාටුදායක කාරණය වන්නේ ඔබ එලෙස වපුරන බීජ සියල්ලක්‌ම පාහේ ඔබේ භයංකාර සංසාර ගමනෙහි අතිශය දීර්ඝත්වය කෙරෙහිම හේතු පාදක වීමයි. ඔබ වපුරන පිං පව් බීජවලට අනුව මෙසේ යන දිගු සසර ගමන තුළදී බොහොමයක්‌ දෙනාට සුවදායක දේම ලැබෙනවා නම් දුකක්‌ නැත. එහෙත් එලෙස නම් සිදු වන්නේ නැත. සංසාරය නම් මහා මරුකතර තුළදී ජීවිතයක්‌ ලබා ජීවත් වෙද්දී ඊළඟ මොහොත තුළ අත්දකින්නට සිදුවන්නේ ඉමහත්වූ බියජනක අත්දැකීම්ය. ඒවා අප්‍රමාණ දුක, ශෝකය, සංතාපය, වේදනාව හා තැතිගැන්ම ආදී දුක්‌ඛ සත්‍යයට අදාළ අමිහිරිම අත්දැකීම්වලින් ගහන වී තිබේ. බහුල වී තිබේ. ඒ අනුව අද ඉසුරුමත් ජීවිතයක්‌ ලබා අස්‌ථිර ලෞකික සතුටක්‌ ජීවිතය ගත කරන නැනැත්තාට ඊළඟ මොහොතේ හෝ හෙට දිනයේ කුමක්‌ සිදුවේදැයි කියන්නට බැරිය. එනම් ලෝකයේ ජීවත්වන වැඩිම පිරිසකට මේ ඊළඟ මොහොතේ හිමිවන්නට ඉඩ තිබෙන්නේ තිරිසන් ප්‍රේත ආදී සතර අපායයි. මෙහිලා හේතුවන්නේ ඔබ වෙනුවෙන්ම සිදු කරන දේවල්මය. මේ එයට හොඳ නිදසුන් කතාවකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක්‌ කුල කාන්තාවක්‌ සිටියාය. ඇයගේ සැමියා දක්‌ෂ නාවිකයෙක්‌ විය. එක දවසක මේ නාවිකයාත් ඇයගේ බිරිය වූ අර කුල කාන්තාවත්, තවත් බොහෝ පිරිසකුත් කැටුව නැව් නැගී ගමනක්‌ යන්නට පිටත් වූහ. පිරිස රැගත් නැව මුහුද මැදට වැද වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. එහි විශිමයජනක කාර්මික දෝෂයක්‌ හට ගත්තේය. තවත් අඩහෝරාවක්‌ ගත වී යන්නට පෙර මුළු නැවම මුදු පතුලේ ගිලී සැඟවෙන බව කාටත් හොඳීන් දැනුණේය. මරණයේ බිය හා තැතිගැන්ම තුළින් ඔවුන්ගේ අසරණ සිත් ඇලලිණ. 

හිටි අඩියේම මෙසේ සිදුවන්නේ කුමක්‌ නිසාද? එයට හේතුව අන්කවරක්‌වත් නොවේ. නැවෙහි කාළකණ්‌නිකමින් පිරුණු කිසිවකු සිටින නිසාය. දඹදිව සමාජයේ එදා පිළිගැනීම වූයේ එලෙසයි. ඒ අවාසනාවන්තයා සොයා ගැනේ. මට නැව තුළදීම කුසපත් අදිනු ලැබිණ. අවාසනාවේ කුසපත ලැබුණේ නාවිකයාගේ බිරියටය. නාවිකයා මහත්සේ ශෝකයට පත් විය. ඔහුගේ බැගෑපත් ආයාචනය මත යළිදුවරක්‌ කුසපත් අදිනු ලැබිණ. එවරත් අර තුසපත ලැබුණේ ඇයටමය. තෙවනවරටත් ඇයට ජීවිතය ලබන්නට අවස්‌ථාව ලැබුණත් නැවත ඒ වතාවේත් ඇයගේ ප්‍රවෘත්ති විපාකයම මතුවී පෙණුනේය. එක්‌ පවිටාවියක නිසා සියල්ලන්ටම මූදුබත්වන්නට බැරිය. නැවේ හිටි වැඩි පිරිසකගේ තීරණය අනුව නාවිකයාගේ බිරිය මුහුදට දැම්මේය. පුදුමයකි. නැව ක්‍රමයෙන් අනතුරින් මිදී යථා තත්ත්වයට පත්වී හෙමි හෙමින් යළි සුපුරුදු ගමන අරඹන්නට පටන් ගත්තේය. 

මේ දුක්‌මුසු කතා පුවත එදා සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේටද දැනගන්නට ලැබිණි. උන්වහන්සේ එවිට එම සිදුවීමට අදාළ වූ හේතුව කුමක්‌දැයි සොයා අභිඥා බලයෙන් අතීතය පරීක්‌ෂා කළ සේක. දීර්ඝ සංසාර ගමන තුළ නාවිකයාගේ බිරිය එක්‌ ආත්මභාවයක තවත් කාන්තා ආත්මයක්‌ ලබා ඉපදී සිටියා ය. ඇය වැඩි වියට පත් විගස එක්‌ පුරුෂයෙකු සමග සරණ ගියාය. එම පුරුෂයා කම් පරිද්දෙන් මිය යැමෙන් ඉක්‌බිති තවත් භවයක ඉපදුණේ බල්ලෙක්‌ වෙලාය. ඒ පෙර ආත්මයේ බිරිය ලගමය. මෙකල බල්ලා අතීත ආත්මයේ කාන්තාවගේ පුරුෂයා බැවින් ඌ කතට බෙහෙවින්ම ළෙන්ගතු විය. එනිසාම බල්ලා කාන්තාව යන සෑම තැනකම ඈ පසු පසින්ම ගමන් ගත්තේ ය. මෙයින් කාන්තාව සමාජයේ අන් අයගෙන් නෙයෙකුත් උසුළු විසුළු වලටද ලක්‌විය. එයින් ගැලවීම සදහා කාන්තාව හොද උපායක්‌ කල්පනා කළාය. ඒ අනුව හුදකලා තැනකට බල්ලාත් කැටුව ගිය ඈ බල්ලාගේ ගෙළෙහි වැලි කළයක්‌ ගැට ගසා ඌ වතුර වලකට දැම්මාය. දියට වැටුනු බල්ලා අප්‍රමාණ දුක්‌ වේදනා ලබා දියෙහි ගිලී මිය ගියේය. මෙසේ කාන්තාව සිදු කළ මේ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාකය එතැන් පටන් නොයෙකුත් ආත්මභාවවලදී විපාක දෙමින් මේ නාවිකයාගේ බිරිය වූ ආත්මයෙහිදී දරුණු ලෙස ඵල ලබාදුන්නේය. බලන්න සසර නම් කොතරම් බිහිසුණුද පුද්ගලයාගේ සසර ජීවිතය යනු එක්‌ අතකින් අන්තයක්‌ දැකිය නොහැකි සිතුම් ප්‍රවාහයකි. කෙරුම් වැලකි. ඔවුනොවුන් ඒ සිතුවම් සිතන්නේ ඒ සිතුවම් අනුව කටයුතු කරන්නේ තවත් අයෙකු වෙනුවෙන් නොවේ. එනම් යමෙක්‌ තම සිතින් සිතා ඒ අනුව යමක්‌ සිදු කරයිද එය ආපසු තමන් කරාම පැමිණෙතැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේම සිදුවූ බොහෝ සිදුවීම්වලට අදාළව බොහෝ කථා පුවත් මේ සදාතනික සත්‍යතාවය කුමක්‌දැයි මැනවින් හෙලි පෙහෙලි කොට දක්‌වයි. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ කතාව, චුන්දසූකර නම් ඌරු වැද්දාගේ කතාව, ආනන්ද සිටුවරයාගේ කතාව, මුලසිරි සිටුවරයාගේ කතාව මෙහිලා දැක්‌විය හැකි නිදසුන් කිහිපයක්‌ පමණි. 

මෙහිදීම පැහැදිලිකර දිය යුතු තවත් කාරණාවක්‌ තිබේ. එනම් ඔබ මේ ජීවිතයේදී විවිධාකාර වූ දේ සිදු කරන්නේ නොයෙකුත් අයවලුන්ද වෙනුවෙනි. 

වරෙක ඔවුන් ඔබගේ දෙමව්පියන්. තවත් වරෙක අඹුවන් හා දරුවෝද වෙත්, ලෝකය දෙස මොහොතක්‌ බලන්න. මිනිසුන් මේවා වෙමේ ජීවිතය තුළදී කොතෙක්‌ නම් තදින් උපාධානයකරගෙන සිටිනවාද? ඇතැමුන් මගේමය කියාගත් මේවා වෙනුවෙන් දිවි දෙන්නට වුවද සූදානම්ය. හැබැයි ඔබ එක දෙයක්‌ මතක තබා ගත යුතුය. එනම් ඔබ ඔබේ යෑයි අරමුණු කරගෙන සිටින මේ ජීව - අජීව වූ සියල්ලක්‌ම තාවකාලිකය. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ලකුණුවලින්ම සමන්විත වී තිබේ. තවත් කියන්නේ නම් මේ කිසිවක්‌ ඔබට කවරදාකවත් එලෙසින්ම බැඳ රඳවා තබා ගැන්මට නොහැකිවේමය. ඒ සියල්ලක්‌ම ඊළඟ නිමේෂය උදා වෙද්දී මහා වෙනස්‌ වීමකට, විකෘති වීමකට පත්වන්නේය. ඉනික්‌බිති ඒවා වැඩි වශයෙන් කෙළවර වන්නේත් මහ විනාශයකිනි. ඔබ ආදරයෙන් කවා පොවා, සුවඳ ගල්වා රැකබලා ගන්නා ඔබේ ජීවිතයේ රූපයේ තත්ත්වයනත් මෙසේම නොවේද? සිතන්න. බොහෝ ගැඹුරටම සිතන්න. පෘතග්ජනකම ජීවිතයට ගැට ගැසී ඇති ඔබට සංසාරය ගැන හෝ අමා නිවන පිළිබඳව හෝ අල්පමාත්‍රයක්‌වත් වැටහීමක්‌ නැත. එහෙයින් ඔබට ඔබ මේ ජීවිතයේදී අල්ලාගෙන සිටින කිසිවක්‌ බොහෝවිට ඊළග ජීවිතයේදී හමුවන්නේ නැත. හේතුව පෘතග්ජන වූ ඔබගේ ඊළඟ ජීවිතය කොතැනකින් ඇරඹේදැයි කිසිවෙකුටත් ස්‌ථිර වශයෙන් නිර්ණය කළ නොහැකි බැවිනි. එපමණකුදු නොවේ ඔබ ජීවිතයේදී බෙහෙවින් ඇලුම් කරන්නද ඔබට එලෙසින්ම ඉදිරි ජීවිතවලදී හමුවීමට ඇති ඉඩකඩ අඩුය. නැති තරම්ය. පූර්වෝක්‌ත සඳහන් කළ නාවිකයාගේ බිරිය මුහුදට දැමීමේ කතාව වෙත නැවත සිත ගෙන යන්න. ඇයගේ එක්‌ ජාතියක පුරුෂයා ඇයට ඊළඟ ජාතියකදී හමුවූයේ බල්ලෙක්‌ හැටියටය. එහෙත් ඒ බල්ලාට පෙර ජාතියේ බිරිය වූ අර කාන්තාවගේ ආදරය, සෙනෙහස එලෙසින්ම ලැබුණාද? නැත. ඒ වෙනුවට ලැබුණේ වෛරයයි. සංසාර ජීවිතයේ පුදුම සහගත දුක්‌ත ස්‌වභාවය මෙයයි. ඔබ අද වෙහෙසවන රකින, රකින බලන, ඇල්ම හා ආදරය දක්‌වන බොහෝ අයවලුන් ඊළග ජීවිතයේදී ඔබටත් මෙලෙසින්ම හමුවන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට ඔබ එකිනෙකා ජීවිතයෙන් ජීවිතයට පනිමින් සිත්වල ගොඩනගන්නේ නාම රූප ධර්ම සමූහයක්‌ පමණි. ඒ නාම ධර්මතා සිතෙහි පැන නගිනවිට ඔබ අනේක ප්‍රාකාර වශයෙන් වෙහෙස වන්නට පටන් ගනී. එහෙත් සිත තුළ ඇත්තේ බත් සැලියක නැගෙන පෙණ බුබුල් ඉපදි ඉපදී බිඳි බිඳි යන්නාක්‌ මෙන් වූ සිතැඟි නැත්නම් නාම ධර්ම සමූහයක්‌ පමණෙකි. ඒවා තුච්ඡය. හිස්‌ය. නිශ්ඵලය. ශූන්‍යය. සත්ත්වයා සංසාර බැම්මෙහිට තව තවත් බැද තබයි. 
සංවාද සටහන; සුගත් වීරසූරිය 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මානය දියුණුවට බාධාවකි

කොළොන්නාව පුරාණ විහාරවාසී

සියඹලන්ගොඩ ධම්මින්ද හිමි

" භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි."
බුදුරදුන් තුළ පැවති නායකත්ව ගුණ අතර සහනශීලීත්වය ඉතා වැදගත් වූ ගුණයකි. ශ්‍රාවකයන් උදෙසා මෙන් ම තම අනුගාමිකයන් උදෙසා ද සහනශිලීත්වයෙන් යුක්තව කටයුතු කළහ. අන්‍යාගමිකයන් විෂයෙහි ද මෙම ගුණය විදහා දක්වන්නට උන්වහන්සේ කටයුතු කළහ. විනය නීති පවා පැනවූයේ අවශ්‍යතාවය සඳහා පමණි. මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී පවා දේශනා කළේ භික්ෂූන් වහන්සේ පාලනය කිරීමේ වුවමනාවක් තමන් වහන්සේට නොමැති බවයි. කාශ්‍යප හිමියන් වනගතව විසීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාව මීට කදිම නිදසුනකි. ඇතැම් විනය නීතිරීති පවා අවස්ථාවට අනුකූලව වෙනස් කර ගැනීම ඊට කදිම නිදසුනකි.
වස්සාවාසික ශික්ෂාව පැනවීම මෙන් ම අනෙක් සෑම ශික්ෂාවක් තුළම මෙම සහනශිලී ගුණය හඳුනාගත හැකිය. එමෙන්ම අවසාන වශයෙන් පිරිනිවන් මඤ්චකයේ දී ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ ඛුද්ධානු ඛුද්ධක ශික්ෂාපද පවා වෙනස් කරගන්නා ලෙසයි. ඇතැම් ශික්ෂාපද අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්කළහ. එසේ සිදු කළේ උන්වහන්සේගේ සහනශිලීත්වය ප්‍රදර්ශනය කරමිනි. නායකයෙකු සැබෑ නම් ඔහු තුළ මෙම ගුණය තිබිය යුතුමය. තවද අන්‍ය ආගමිකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැදහත්ව අධ්‍යනය කරමින් තම සසුනේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළහ. ශාසනික තනතුරු පිදීම හා ඇතැම් අභියෝගාත්මක අවස්ථාවන්හි දී මෙම ගුණය හඳුනාගත හැකිය. පාරිලෙය්‍ය වනයට වැඩමවීම එයට එක් උදාහරණයකි. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම උන්වහන්සේගේ සහනශීලි ආකල්පය ප්‍රදර්ශනය වන ප්‍රධාන අවස්ථාවකි. මෙහි දී බ්‍රහ්ම යනු උතුම් යන්නයි.
බුදුරදුන් නායකයෙකු ලෙස අනතිමානී ගුණය උපරිම ප්‍රදර්ශනය කළහ. උඩඟු වීමට අවශ්‍ය බොහෝ කාරණා උන්වහන්සේ සතු වූහ. එහෙත් කිසිවිටක එසේ උඩඟු නොවූහ. නායකත්වයන් ලැබූ විට සියල්ල අමතක කර තමාට වඩා කෙනෙකු නැත යැයි සිතන පිරිස් අනන්ත අප්‍රමාණව දැකිය හැක. ශරීරය එහි අංග ලක්ෂණ මෙන් ම උත්තරීතර ගුණ අතින් ගත්විට ද බුදුරදුන් අති ශ්‍රේෂඨය. ආයතනයක යම් තනතුරක් ලැබූවත් ඇතමෙකු මාන්නයට පත් වී මුළාවට පත්වේ. ඒ තුළ පවතින්නේ මාන්නාධික බවකි. බුදු දහම මෙන් ම බුදුරදුන් මාන්නය ප්‍රතික්ෂේප කළහ. සෑම අතින් ම සම්පූර්ණ වනවා යනු උපරිම නිහතමානි වීමයි. වී කරල් ඵල බරවීමේ දී බිමට නැමෙන්නා සේ අනතිමානී ගුණයෙන් ආඩ්‍යවිය යුතුය. භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි. ආර්ය පර්යේසන සූත්‍රයට අනුව බැලීමේ දී බුදුරදුන්ගේ නිහතමානී බව හඳුනාගත හැකිය. එනම් තමන් වහන්සේ සංසාර ජීවිතයේ දී බොහෝ අනාර්ය පර්යේෂණ සිදුකොට ඇති බවත් තමන් වහන්සේ දැන් ආර්ය පර්යේෂණය සොයාගත් බවත්ය. එසේම සත්‍ය සොයායාමේ දී තමන්ට ලැබුණු යම් යම් තනතුරු නිහතමානීව අත්හැරීමට කටයුතු කළේ තම අරමුණට එම තනතුරු බාධා වූ බැවිනි. ඒ බව ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී පැහැදිලිව දේශනා කළහ. උද්ධකාරාමපුත්ත ආලාර කාලාම ඇත්හැරීමට කටයුතු කළේ එහෙයිනි.
බුදුරදුන් නිහතමානී වූ අතර අන්‍යයන්ගේ මානය ගැරහීමට ලක් කළහ. තම ඥාතීන්ගේ පවා මාන්නය උන්වහන්සේ දුරු කළහ. යමා මහ පෙළහර පැවැත්වූයේ ඒ නිසාවෙනි. ඛේමාවට ආර්ය ලාභය ලැබීමට බාධාවක්ව පැවතියේ ඇය තුළ පැවති මාන්නයයි. නායකයෙකු තුළ කුමන කරුණක් නිසා හෝ මාන්නය තිබිය යුතු නොවේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී තෝදෙය්‍ය බමුණා තම නිවසේ සුනඛයෙකු වී ඉපදීමට හේතුවූයේ මාන්නයයි. කුමන තනතුරු දැරුවද සියල්ලෝ ම මිනිසුන් බව තේරුම් ගත යුතුය. මිනිසුන් නිසාම යම් විටක ලෙඩ වීමට මියයාමට ලක්වේ. එය ස්වාභාවිකය. කිසිවෙක් සදාකාලිකව ජීවත්වීමට පැමිණ නැත. උගත් බව, තරුණකම, ධනය, බලය, රූපය මෙය ලාභයන් වූව ද අර්ථය නොදැන කටයුතු කළහොත් පිරිහීමට හේතුවක් වේ.
නායකත්ව ලක්ෂණ අතර කම්පානොවීමේ ගුණය නායකුයෙකු තුළ අනිවාර්යෙන් ම තිබිය යුතුවේ. බුදුරදුන් උත්තරීතර අනුහස් නායකයෙකු ලෙස මෙම ගුණය මනාව විදහා දක්වන්නට වූහ. උන්වහන්සේ කිසිවිටක අටලෝදහමින් කම්පා නොවූහ. නායකත්වය දරන්නට නම් මල් මෙන් ම ගල් මුල්වලට ද ඔරොත්තු දිය යුතුවේ. ප්‍රශංසා පමණක් නොව ගැරහීම් ද බාරගත යුතු වේ. බුදුරදුන් මෙම ගුණයෙන් යුක්තව තම අරමුණු ජයග්‍රහණය කිරීමට කටයුතු කළහ. උන්වහන්සේ තරම් කීර්ති ප්‍රශංසාවන්ට ලක් වූ නායකයෙකු ලෝක ඉතිහාසයේ නොමැති තරම් ය. එමෙන් ම අපකීර්ති, ගැරහුම් ද නොලැබුණා නොවේ.
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා සෑම කෙනෙකුටම පොදු වූවකි. එහෙයින් ලාභයේ දී මෙන්ම ප්‍රශංසාවේදී ද, උද්දාමයට පත්නොවිය යුතු අතර අලාභයේ දී සේම අපකීර්තියේ දී අධික කලකිරීමට පත්නොවිය යුතුය.
බුද්ධ චරිතය පුරාවට ම මෙම ගුණය හඳුනාගත හැකිය. ඒ සඳහා උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකිය. අක්කෝස භාරද්වාජ සූත්‍රය මේ සඳහා කදිම නිදසුනකි. එසේ ම චිංචිමානවිකාව, සුන්දරියගේ මරණය වැනි අවස්ථා තුළින් මේ ගුණය හඳුනාගත හැකිවේ. නේරන්ජනාවේ වස් විසූ අවස්ථාවේ දී දානය පවා නොලැබුණි. උන්වහන්සේට තරම් ආහාර දානය ලැබූ කෙනෙකු නැති තරම්ය. මේ අවස්ථා දෙකේදී ම සමසිතින් උන්වහන්සේ එය ඉවසූහ. සැබෑ නායකයා යනු මැදහත්ව සියල්ල විඳ දරාගැනීමේ හැකියාව සතු කෙනෙකි.
දහම, දහම සඳහා නොව එය පුද්ගල පාරිශුද්ධිය සඳහා යොදා ගත යුතුය. රටක, ආයතනයක පාලකයන් මේ තත්ත්වය තේරුම් ගනිමින් කටයුතු කළ යුතුවේ. අනෙක් කරුණු හය වෙන වෙනම ගත් කළ ද පොදුවේ එලඹිය හැකි නිගමනය ද මෙයමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤