දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දෙවියන්ට වදාළ සම්බුදු බණ

අනුත්තරීය වූ ශ්‍රද්ධා ලාභය

ලෝකයට ඉතාමත් කලාතුරකින් “බුද්ධෝත්පාද කාලයක්’ උදාවෙන්නේ. එබඳු කාලයක දෙවියන් අතර හෝ මිනිසුන් අතර උපදින සත්ත්වයින්ගෙන් සීමිත පිරිසකට ක්ෂණ සම්පත්තිය උදා වෙනවා. ක්ෂණ සම්පත්තිය යනු සසරේ සැරිසරන්නෙකුට මුණ ගැසෙන වාසනාවන්තම මොහොතයි.
ඒ වාසනාව ලද කෙනෙකු වහ වහා කරගත යුතු යමක් තිබේ. එනම් ශ්‍රද්ධා ලාභය ඇති කර ගැනීම යි. ශ්‍රද්ධා ලාභය යනු සියලු ලාභයන් අතර ඇති අනුත්තරීය වූ ලාභය යි. ඒ ශ්‍රද්ධාව කෙනෙක් විසින් ඇති කරගත යුත්තේ කා කෙරෙහි ද? ශ්‍රද්ධාව යනු කුමක්දැයි අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වාදී තිබේ.
පින්වත් මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තෙක් වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ (අරහං) සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් වන සේක (සම්මා සම්බුද්ධෝ) ගුරු උපදේශ නො මැතිවම ජීවිතාවබෝධය ලැබූ සේක. (විජ්ජාචරණ සම්පන්නෝ) උතුම් විද්‍යාවන්ගෙන්ද, චරණ ධර්මයන්ගෙන්ද, සමන්විත වන සේක. (සුගත) සුන්දර වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සුන්දර නිවනට වැඩම කළ සේක. (ලෝකවිදූ) සියලු ලෝක පිරිසිඳ දැන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථි) පින් ඇති පුරුෂයන් දමනය කිරීම පිණිස අතිශයින් දක්ෂ වූ සේක. (සත්ථා දේවමනුස්සානං) නුවණැති දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන සේක. (බුද්ධෝ) අවබෝධ කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දෙවි මිනිසුන් හට අවබෝධයට පහසුවන ලෙස පැහැදිලිව දේශනා කළ සේක. (භගවා) මේ සියලු ගුණයන් දැරීමට සුදුසු වන සේක.
මෙසේ ගුණ හඳුනාගන්නා කෙනෙකුගේ සිත බුදුසමිඳුන් ගැන පහදී නම් එය ශ්‍රද්ධාවයි. බුදුරජුන් සරණ ගිය කෙනෙකුට අත්වන යහපත ඉතාමත් විශාලයි. මහාසමය සූත්‍රයේ සඳහන් වෙනවා
යේ කෙචි බුද්ධං සරණං ගතාසේ - න තේ ගම්ස්සන්ති අපායං
පහාය මානුසං දේහං - දේවකාය පරිපූරෙස්සන්ති
යම්කිසි කෙනෙකු බුදු සමිඳුන් සරණ ගියේ නම්, ඔහු අපායේ උපදින්නෙකු නොවේ. මේ මිනිස් සිරුර අත්හළ විට ඒ උදවිගෙන් දෙව්ලොව පිරී යන්නේය.
එසේ බුදුසමිඳුන්ගේ සරණ කරගත් අයෙක් උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, තම ජීවිතයට සරණ කර ගෙන, ගුණ හඳුනාගෙන ම ඔහු ධර්මය සරණ යයි. ඒ ධර්මයට අනුව දිවි ගත කිරීමට වෙහෙසෙන බුදු පිරිස ගැනද ඔහුගේ සිත පහදියි. එවිට ඔහු ඒ ශ්‍රාවක පිරිසද තම ජීවිතයේ සරණ කර ගනී. සඟ ගුණ හඳුනාගෙන ඇති කරගත් ප්‍රසාදයෙන් යුතුවම ශ්‍රාවක සඟරුවන සරණ යයි. මේ අයුරින් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන ගැන ඇතිකර ගන්නා ශ්‍රද්ධා ලාභය දෙවි මිනිසුන් හට ලැබිය හැකි උතුම්ම ලාභය යි.
අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ මේ ශ්‍රද්ධාලාභයේ වටිනාකම ගැන හොඳින් දැනසිටි දෙවිවරුන් සිටිය බව පේනවා. සංයුක්ත නිකායේ පළමු පොත් වහන්සේගේ දේවතා සංයුත්තයේ "සතුලග්ලපකායික" වර්ගයේ අන්තර්ගත “සද්ධා සූත්‍රය” එයට නිදසුනකි.
දෙවියන් අතර ඇතිවන සංවාදවලදී අප බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකළ අයුරු විවිධාකාරයි. ඇතැම් දෙවිවරුන්ගේ ජීවිතයේ හටගත් ගැටළු උන්වහන්සේ විසින් විසඳනු ලැබුවා. ඇතැම් දෙවිවරුන්ගේ දහම් ගැටළු නිරාකරණය කර සතුටු කරවනු ලැබුවා. එහෙත් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ විසින් මුළුමණින්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඇතැම් ප්‍රකාශ සංශෝධනය කළ අවස්ථාත් තිබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කරනු ලැබුවා. එබඳු ප්‍රකාශ සූත්‍ර පිඨකයේ ඒ අයුරින්ම සඳහන්ව තිබෙනවා. මේ සූත්‍රයේ දීත් උන්වහන්සේ දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කොට තිබෙනවා.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වු අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ සතුල්ලපහාසික දෙවිවරු රැය පහන්වෙන වෙලාවේ මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටගත්තා. ඒ දෙවිවරු අතරින් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මේ අර්ථවත් ගාථාව පැවසුවා.
"ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාගේ දෙවැන්නා වෙන්නේ. ශ්‍රද්ධාව යමෙක් තුළ පිහිටලා ඇත්නම්, ඔහු කීර්තියට පත්වෙනවා. පිරිවර සම්පත් ඇතිවෙනවා. ඔහු ශරීරිය අත්හැරියාම ස්වර්ගයේ උපදිනවා. "
එවිට ඒ දෙවිපිරිස අතරින් තවත් දෙවි කෙනෙක් මේ ගාථාවන් පැවසූවා.
ක්‍රෝධය අත්හරින්න ඕන. මාන්නය විශේෂයෙන්ම දුරු කරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නො ඇලෙන, කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුළට කෙලෙස් පැමිණෙන්නේ නැහැ.
බාල වූ ප්‍රඥා රහිත වූ ජනතාව ඉන්නේ ප්‍රමාදයෙන්ම යි. නමුත් ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකිනවා වගේ. පු‍්‍රමාද වෙන්න හොඳ නැහැ. කාමාශාවේ ඇලී යන්න හොඳ නැහැ. අප්‍රමාදීව ධ්‍යාන වඩනවිට ඔහු පරම සැපයට පත්වෙනවා.
එදා පැමිණි "සතුල්ලපකායික දෙවිවරු " තමයි මේ අර්ථවත් ගාථාවන් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ප්‍රකාශ කළේ. ඒ දේශනය තුළ භාග්‍යවතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් දැක් වූ ප්‍රතිචාර ගැන සඳහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දවම ඒ අරුත්බර ගාථා ඉවසන්නට ඇති.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව නැතිවීම යනු මේ පුරුෂ පුද්ගලයාට පිරිහීමට කරුණයි කියලයි. අපේ තුළ ශ්‍රද්ධාව නැතිනම් අප ඉන්නේ පිරිහී යන පුද්ගලයන්ගේ පැත්තේ යි.
නමුත් ශ්‍රද්ධාව තිබෙනවානම් ඒක අපේ ජීවිතේ දියුණුවට කරුණක් සම්බුදු සසුන තුළ හික්මෙනු කැමැති ශ්‍රාවකයාට තිබෙන හික්මීමේ බලයක්. එහෙම නැත්නම් සේඛ බලයක් තමා ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියන් සේ පිහිටියාම ඔහු ශ්‍රාවකභාවයට පත්වෙනවා. තවදුරටත් නිවන් මඟ දියුණු කර ගන්නට ඒ ශ්‍රාවකයාට ඒ ශ්‍රද්ධාවම බලයක් බවට පත්වෙනවා.
ඒ නිසාමයි සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව වර්ණනා කොට වදාළේ. දවසක් අයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා කුමක් මත පිහිටා කටයුතු කිරීමද වඩාත්ම හොඳ? කියලා. උන්වහන්සේ වදාළේ ශ්‍රද්ධාව මත පිහිටා කටයුතු කිරීමයි වඩාත්ම හොඳ කියලා.
ඒ වගේම බුදුරජාණාන් වහන්සේ එක් තැනකදී වදාළා දෙව්ලොව දෙවිවරු චුත වීමට ආසන්න වෙද්දී පෙර නිමිති පහළ වෙනවා. ඒ තමා චූතවෙන දෙවියාට ඩහදිය ගලන්නට පටන් ගන්නවා. ඔහු පැළදි මල් පරවෙන්නට පටන් ගන්නවා. දිව්‍ය වස්ත්‍ර කිළිටි වෙනවා. ඔහුගේ සිත දිව්‍ය කාමයේ ඇලෙන්නේ නැහැ. එවිට අනික් දෙවිවරු දැනගන්නවා මේ දෙවියා චුතවෙන බව.
දෙවිවරු ඒ දෙවියා වටකරගෙන ලස්සන අවවාදයක් කරනවා. එහෙනම් භවත, ඔබ සුගතියට යන්න. ඒ දෙවිවරු සුගතිය කියා පෙන්නුවේ මේ මනුෂ්‍ය ලෝකය යි. ඊට පස්සේ කියනවා, සුගතියට ගිහින් දුර්ලභ ලාභය ලබන්න කියලා. ඒ දෙවියන් දුර්ලභ ලාභය ලෙස හැඳීන්වූයේ ශ්‍රද්ධා ලාභය යි. තවදුරටත් ඒ දෙවිවරු පවසනවා දුර්ලභ ලාභය ලබාගෙන ඒ තුළ පිහිටන්න කියලා. ඒ කිව්වේ ශ්‍රද්ධාව තුළ නො සැලෙන සේ සිටගන්න. සෝතාපන්න වෙන්න කියන කරුණයි.
ඒ දුර්ලභ වූ සම්බුදු සසුන මුණගැසී ඇති මේ කාලයේ කොයි කවුරුත් මහන්සි ගත යුත්තේ ඒ උතුම් ශ්‍රද්ධා ලාභය ඇතිකර ගන්නට යි. අපටත් ඒ ශ්‍රද්ධා ලාභය ලැබීමේ වාසනාව උදා වේවා.
නයනා නිල්මිණි