දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වන්දනාව දේසනාව සහ පිළිපැදීම

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි


කිච්ඡෝ මනුස්‌සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

'මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. මනුෂ්‍යයන්ගේ ජීවිත පවත්වා ගැනීමද දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ උපතද දුර්ලභයි.' ධම්මපදයේ සඳහන් ඒරකපත්‍ර නා රජුන් නිමිතිකොට දෙසූ මෙම දහම් පෙළ නිතොර මෙනෙහි කරමු. ඒ දුර්ලභවූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතය අපි ලබා සිටිමු. අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මුණ ගැසී තිබේ. බඹසර විසීමට එනම් කුසල් මඟ සපිරීමට නොහැකි අවස්‌ථා අටෙන්ම අපි අත්මිදී සිටින්නේ නොවේදැයි සිතා බලන්න. එම අවස්‌ථා අට මෙසේය. 1. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා නිරයෙහි උපත ලබා තිබීම 2. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා තිරිසන් බවෙහි උපත ලබා තිබීම 3. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දමහම් දෙසුවද පුද්ගලයා ප්‍රේත විෂයෙහි උපත ලබා තිබීම 4. බුදුරජාණන් ව හන්සේ මිනිස්‌ ලොව ඉපදී ද හම් දෙසුවද පුද්ගලයා දීර්ඝායු ඇති දේවනිකායක උපත ලබා දතිබීම 5. පුද්ගලයා සිව්වනක්‌ පිරිස නැති ප්‍රත්‍යන්ත ජනපදයක උපත ලබා තිබීම 6. පුද්ගලයා මධ්‍යම ජනපදයෙහි දස වස්‌තුක මිත්‍යා දෘෂ්ටිකයෙක්‌ව උපත ලබා තිබීම 7. මධ්‍යම ජනපදයෙහි මෝඩ දුශ්ප්‍රඥයෙක්‌ව උපත ලබා තිබීම 8. පුද්ගලයා අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම යනුවෙනි.

අප විසින් ලබාගත් මෙම දුර්ලභ වූ අවස්‌ථාවෙන් උතුම් ඵලයක්‌ ලබාගත යුතුය. වර්තමානයෙහි තෙරුවන් සරණ ගිය බහුතර පිරිසක්‌ ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජාවන් සිදුකිරීමයි. එය වරදක්‌ නොවේ. වරද පවතින්නේ, ආමිසයෙන් ඔබ්බට එනම් පිළිවෙත් මාර්ගයට අවබෝධයකින් යුතු බැස නොගැනීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පෙළක්‌ විමසා බලමු.

'න හි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පූජං කරොන්තී නාම ධම්මානුධම්මං පටිපඡ්ජන්තා ඒව පන මං පූජෙන්තී නාම' - 'මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්. (ධම්මපදට්‌ඨ කතා - ධම්මාරාම වත්ථු).

'කුලලූපමං වො භික්‌ඛවෙ ධම්මං දේසිස්‌සාමි, නිත්ථරණත්ථාය නො ගහණත්ථාය' (මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරන්නෙමි. ධර්මය එතෙරවීම පිණිස මිස කරගහගෙන යැම පිණිස නොවේ. (මජ්ධිම නිකාය - අලගද්දූපම සූත්‍රය). 'යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතො පඤ්ඤත්තෝ, සො වො මමච්චියේන සත්ථා' - 'ආනන්දය, නුඹලාට යම් ධර්මයක්‌ හා විනයක්‌ දේශනා කරන ලදද, පනවන ලදද, එය මගේ ඇවෑමෙන් ඔබේ ශාස්‌තෘවරයායි.'. (පටිසම්භිදා මග්ග අට්‌ඨකතා). ආරම්භයේදී, එනම් ධර්ම මාර්ගයට යොමුවීමේදී මල් පහන් පුදා ශ්‍රද්ධාව දියුණු කර ගැනීම අවශ්‍යය. එම ආමිසය නම් වූ මල් පහන් පූජාවම පිළිවෙත් මාර්ගයට යොමුකරගත හැකියි. නිදසුනක්‌ මෙසේය. අප රටේ බහුතරයක්‌ මල් පූජා කරන ගාථා රත්නයම නිදසුනක්‌ කර ගනිමු. 'පූඡේමි බුද්ධං කුසුමේනනේන' ආදී වශයෙනි. සරල අදහස නම් මේ මල් පරව යන්නා සේ කයද අනිත්‍ය ස්‌වභාවයට හෙවත් විනාශ වන්නේය යනුවෙනි. මෙය විදර්ශනාවක්‌ කොට පිළිවෙත් මාර්ගයට යොමුකොට ගත හැකිය.

අපි එහි අදහස විවරණය කර ගනිමු. මලක්‌ සුවදැති නම් හෝ ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතැනදැයි ගැටලුවක්‌ නැත. මඩවගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මනෙල්වලටත්, කටු අකුලුවල පිපෙන්නාවූ රෝසවලටත් ඉහළම තැනක්‌ හිමිවෙයි. නෙළාගෙන අවුත් බුදපුද පවත්වයි. එනමුත් මේ මල් පරවයයි. පරවෙන්නට මත්තෙන්, පිපුණු තැන නොසලකා, මල් නෙළාගෙන අවුත් ඉහළම තැනක තබා ගෞරව කරයි. මේ කය අනිත්‍යයි. ලෙඩ දුක්‌ සමගම දිරාගෙන යන්නේය. මල පරවෙන්නට පෙර නෙළාගෙන පැමිණ බුදුපුදට ගත්තා සේ, මේ ජීවිතයද දිරාගෙන ගොස්‌ මරණයට පෙර උතුම් වූ ප්‍රයෝජනයක්‌ ගත යුතුය. ඒ ප්‍රයෝජන ගැනීම නම් ඇස, කන ආදී ඉන්ද්‍රියන් සතුටු කිරීම හෝ පිනවීමම නොවේ. එය තිරිසන් සතුන්ද කරනු ලැබේ. කායික හා වාචසික සංවරය නම් වූ ශීලයෙහි පිහිටා, හැකිතාක්‌ දුරට ධර්මානුකුලවම ජීවිතය පැවැත්විය යුතුය. ඉගෙනීම, වෘත්තීය, විවාහය, ගේදොර, ඇඳුම් - පැළඳුම්, සාමාජික යුතුකම් ආදී වශයෙන් මේවා නම් කළ හැකිය. ධර්මානුකූල මඟක, මේ සියල්ලම ප්‍රිය වශයෙන්ම ඉහළම ආකාරයකින් කළ හැකිය. විශාකා මහා උපාසිකාව සහ අනේපිඬු සිටාණන් වැනි අය නිදසුන්වලට ගත හැකිය. ප්‍රියකරුවද ධනවත්වද සතුටින්ද මේ අය ජීවිත ගත කළ අතර මාර්ගඵල ලාභීහු වූහ. ඔබද සිඟලෝවාද, ව්‍යග්ඝපඡ්ජ, මංගල ආදී සූත්‍රවල සඳහන් අයුරින් ලෞකික පැවැත්ම සුපසන් කරගත හැකිය. වසල, පරාභව ආදී සූත්‍ර දේශනාවල සඳහන් අයුරින් පරිහානියට නොයාහැකිය. මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව සිහිය පැවැත්වීම දියුණු කළ හැකිය. ආනාපානසති සහ කායගතිසති සූත්‍ර ඇසුරුකරගෙන එදිනෙදා ජීවිතයේ කොපමණ කාර්යබහුල වුවද 'මේ මෙහොතේ ජීවත්වීම' පුරුදු කළ හැකිය.

අනාථපිණ්‌ඩිකෝවාද ආදී සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන ජීවිතයේ ලෙඩදුක්‌, දුක්‌ඛ දොaමනස්‌සයන්ට මුහුණ දෙන ආකාරය ධර්මානුකූලව පුරුදු කළ හැකිය. වත්ථුපම සහ සල්ලේඛ ආදී සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන අශ්‍රැතවත් කෙලෙස්‌ කසට සහ කෙලෙස්‌ ගති හඳුනාගෙන මනුෂ්‍යයන් අතර ගම, රට, පළාතෙහි යහපත් වූ සත්පුරුෂ මනුෂ්‍යයෙක්‌ ලෙස ජීවත්විය හැකිය. චුල්ලහත්ථිපදෝපම, මහා හත්ථිපදෝපම, රථවිනීත, අරියපරියේසන ආදී සූත්‍රයන්හි මඟපෙන්වීම ඔස්‌සේ සිවුසස්‌ දහම් අවබෝධයටද කෙලෙසුන් නැසීමටද මාර්ගෝපදේශකත්වයක්‌ සලසා ගත හැකිය.

අනිත්‍ය වූ ලොවෙහි 'ඉති ඛො භික්‌ඛවේ විවටො මයා ෙ€මො මග්ගො සෝවත්ථකො පීතිගමනීයො' යනුවෙන් දේශනා කළ පරිදි 'භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදනෙ ලද නිර්භය වූ සැපදායක මඟෙහි ප්‍රීතියෙන් යුතුව ගමන් කළ හැකිය'. සම්මුතියේ පිහිටා සම්මත ලෝකයෙහි ඔබගේ වචනයෙන් පවසන පරිදි චාරිත්‍ර - වාරිත්‍ර, යුතුකම්, ගෙදර දොරේවැඩ කටයුතු, රැකී රක්‌ෂාවන්, ස්‌වාමි භාර්යා යුතුකම්, දෙමාපිය දරු වගකීම් ආදියද නිවැරැදි මගක පවත්වා ගත හැකිය. එම සම්මුතියෙහි පිහිටා කටයුතු කළ යුතු වන්නේ පරමාර්ථ ධර්මය පිළිබඳ මනා අවබෝධයෙන් යුතුවමය. එනම් එය මෙවැනි අදහසකි. 'නායං භික්‌ඛවෙ කායො තුම්හාකං, නාපි අඤ්ඤෙසං' (මහණෙනි, ඔය දරාගෙන සිටින ශරීරය නුඹලාගේ නොවේ. වෙනත් අයකුටද අයිති නැත. (නතුම්හ සූත්‍රය). මෙය ඔබට ගළපා මෙසේ සඳහන් කළ හැකිය. 'මම මගේ නොවේ. නුඹ නුඹේ නොවේ. මම නුඹේ නොවේ. නුඹ මගේ නොවේ.' සම්මුති ධර්මතාවට අනුව, සම්මතයෙහි පිහිටා ලෞකික ලෝකයෙහි ජීවත්වෙන්න. ධර්මානුකූලවම හැසිරෙන්න. එනම් හැකිතාක්‌දුරට පස්‌පව් දස අකුසල්වලින් බැහැරවන්න. දරුවන් සහ දෙමාපියන්, ස්‌වාමි භාර්යාවන් 'මම - මගේ' යෑයි කියන්න. යම්විටෙක දෙමාපිය සහ දරුවන් විසින් ඔවුනොවුන් සමීප වී අත්වැල් පටලාගෙන නුඹලා මගේ යෑයි කියනු ඇත. මගේ ඇස්‌ දෙක, මගේ හදවත වැනි යෑයි කියනු ඇත. (පුත්තා වත්ථු මනුස්‌සානං, ඒක චක්‌ඛු විය, ඒක හදයං විය) 'නුඹ වැනි අයෙක්‌ මට මුණගැසුණේ මගේ පෙර පිනකට' යෑයි ස්‌වාමි භාර්යාවන් පවසනු ඇත.හැමදාම, ඔවුනොවුන් කෙරේ ප්‍රිය දැසින් බලමින්, ප්‍රියවචන කතා කරමින් කිරි හා වතුර මෙන්, ශරීර දෙකක්‌ වුවත් එකම ජීවිතයක්‌ මෙන් පවත්වන්නට කැමැතිය (නකුල පිතු සූත්‍රය). එසේ සම්මතයෙහි පිහිට මෙලොව සැනසිලිමත් ජීවිතයක්‌ හෝ ජීවිත ගත කළ හැකිය. එනමුත් මේ සියල්ලම සකස්‌විය යුත්තේ පරමාර්ථ ධර්ම අවබෝධය හා සමගිනි. එනම් සම්මුතියට අනුව දෙමාපියන් දරුවන් හෝ ස්‌වාමි භාර්යාවන් විසින් 'නුඹ මගේ, හැමදාම මේ වගේ සිටිනවා' යෑයි පැවසුවද පරම සත්‍ය කතාව (විදසුන් නුවණ) එය නොවේ. පරමාර්ථ හෙවත් විපස්‌සනාවට අනුව, 'මමවත් මට හිමි නැති ලොවක්‌ තුළ නුJ කොහොමද මගේ වෙන්නේ, මටවත් මා ගැන නිසිලෙස යමක්‌ කියන්නට බැරි මේ අනිත්‍ය වූ ලෝකයේ, නුඹ සමග හැමදාම සිටිනවා යෑයි කියන්නේ කොහොමද?' වැනි කතාවකි.

මෙලොව සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික එනම් පණ ඇති හෝ පන නැති සියල්ලම සංඛත හෙවත් සංස්‌කාර නම්වෙයි. මේ සියලු සංඛත වස්‌තූහු අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්වෙති. 'ඉමමේව කායං උද්ධං පාදතලා අධො කේස මත්ථකා කාචපරියත්තං පූරං...' ආදී ලෙසින් මහා මහා සතිපට්‌ඨාන සූත්‍රයෙහි සඳහන් වන අයුරින් මේ නොයෙක්‌ අපවිත්‍ර දෙයින් පිරුණු ශරීරයේ පාදාන්තයේ සිට හිස්‌මුදුන දක්‌වාම ගළපා බලන්න. අපට කිසිදු හැබෑ අයිති යමක්‌ වේදැයි නුවණින් ගළපා බලන්න. දිරානොයන, අත්නොහැරෙන අපට ඕනෑ විදියටම පවත්නා යමක්‌ පවතීදැයි විදර්ශනා නුවණින් විමසා බලන්න. සරල ලෙසින් ඔබට මෙවැනි අවබෝධයක්‌ හෝ ඇතිවිය යුතුය. හිසේ කෙස්‌ ගසක, ඇස්‌ පිහාටුවක, සම් කැබැල්ලක, නිය කැබැල්ලක හෝ රෝම කූපයක තරම් හෝ සැබෑ අයිතියක්‌ මගේ යෑයි පවසන මේ ශරීරයෙහි නැත. ඔබ නම් දවසට කොපමණ වතාවක්‌ රසයි, රසයි පවසමින් දිව සහ කුස සතුටු කරන්නේද? දවසට කොපමණ වතාවක්‌ කවා පොවා, නාවා, සරසා කැඩපත සමීපයේ හැඩ බලන්නේද? එහෙත් අනිත්‍ය ස්‌වභාවයට පත්වන විට මේ ශරීරයෙහි ඇති සැබෑ අයිතිය කුමක්‌ද? පඨවි (තදගතිය), ආපෝ (වැගිරෙන බව), තේජෝ (උෂ්ණය), වායො (වායුව) නම් වූ සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වූ මේ ශරීරය එම පඨවි ආදී ධාතු කොටස්‌ විසිරී යන විට ලෙඩවෙයි. දිරාගෙන යයි. වාරු නැතිව යයි. ඇස්‌, කන් ආදී ඉන්ද්‍රියන් දුබලවෙයි. මුළු ශරීරයම දුබල වෙයි. දුර්වල වෙයි. විඥනයේ බැහැරවීම සමගින්ම කයෙහි බිඳීම සහ ඵලය නම් මරණය සිදුවෙයි. ධාතු, ස්‌කන්ධ, ආයතනයන්ගේ විසිර යාම ලෙසද මෙම අවස්‌ථාව විස්‌තර කළ හැකිය. ධර්මයන්හි පැහැදිලි කරන්නේ මෙසේය. 'හේතුං' පටිච්ච සම්භූතං හේතු භංගා නිරුඡ්ධති' - හේතූන් නිසා හටගත් ඵලය හේතූන් නැතිව යන විට ඵලයද නැතිව යයි.'

'යං කිඤචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං'

'යමක්‌ හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුය'

මේ දැනුම අවබෝධයට ගෙන ඒමට ආකාර තුනක්‌ අප විසින් අනුගමනය කළ යුතුය. එනම් සුතමය (ශ්‍රවණය), චින්තාමය (සිතීම, මෙනෙහි කිරීම), සහ භාවනාව (වැඩීම) යනුවෙනි. සම්මුතියෙහි ජීවිත නිවැරැදිව සහ සතුටින් ගත කරන අතර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් 'අත්හැරීමද' පුරුදු කළ හැකිය. සම්මුතියෙහි පවත්වන, කම්කටොලුවලින් පිරි සාමාන්‍ය අශ්‍රැතවත් පෘථග්ජන ජීවිතවල බොහෝ දුක්‌ දොම්නස්‌වලට හේතුව මිල මුදල්වල හිඟ පාඩුවම නොවේ. එය එක්‌ අංශයක්‌ පමණකි. බොහෝ අයෙක්‌ දුක්‌ විඳින්නේ අභාවිත සිත් නිසා එනම් පරමාර්ථ ධර්මය තරමකින් පුරුදු නොකිරීමෙන් මේ සංස්‌කාර ලෝකයේ හෝ දැඩි ආශාවන් හා පටිඝ හෙවත් ගැටීම් ඇතිකර ගැනීම නිසාය. භාග්‍යවතුන් වහන්සේ සංග්‍රාමජිත් තෙරුන් වහන්සේ පිළිබඳ දෙසූ දහම මෙනෙහි කරන්න.

'ආයන්තිං නාභිනන්දති - පක්‌කමන්තිං නසෝචති'

'එන්නිය දැක සතුටු නොවෙයි. බැහැර යන්නිය දැක ශෝක නොකෙරෙයි.

සම්මුතිය සහ පරමාර්ථය හඳුනාගන්නා විට ජීවිත පැවැත්ම සන්සුන් වෙයි. වෙනස්‌වන ලෝකයේ කිසිවක තදින් ඇලෙන්නේද නැත. ගැටෙන්නේද නැත. මේ නිසා සිතෙහි සකස්‌වන චිත්ත සමාධිය, සමාහිත බව ඵල සමාධිය සහ ඵල ප්‍රඥව බවට පත්කරගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව බුදුරජාණන් වහන්සේ දහම් ඇසෙන දැකීමක්‌ බවට පත්වෙයි. උතුම් තුණුරුවන් සරණයි!