දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ගබ්සාව පාපයක්‌ද?


කොළඹ විෙද්‍යාදය පිරිවෙණෙහි ආචාර්ය,
මුලනේ ගුණානන්ද හිමි

ලොව පුරා විවිධ ආගමික නිකායන්හි තියුණු විවේචනයන්ට මෙන්ම ප්‍රශංසාවන්ටද ලක්‌වූ කාලීන සමාජ ගැටලුවක්‌ ලෙස ගබ්සාව නොහොත් කළල ඡේදනය හැඳින්විය හැකිය. මෙම සමාජ ගැටලුව දෙස ලෝකයේ බිලියනයක පමණ ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වූ බෙනඩික්‌ පාප්තුමන් ද විවේචනාත්මකව බැලීමෙන් පෙනෙනුයේ එය කෙතරම් දුරට සමාජගතවූ ප්‍රශ්නයක්‌ද යන්නයි. අද වන විට ලෝකයේ දැවෙන ප්‍රශ්න අතරට ගබ්සාවද එකතුවී අවසන්ය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වාර්තාවන්ට අනුව වාර්ෂිකව ලොව පුරා සජීවී දරු උපත් මිලියන 135 ක්‌ සිදු වේ. එම මිලියන 135 න් මිලියන 42 ක්‌ ම ගබ්සා කෙරෙන බව අනාවරණය වී ඇත. ගබ්සා කෙරෙන කළල මිලියන 42 න් ළදරු කළල මිලියන 22 ක්‌, ආරක්‌ෂිත වාතාවරණයක්‌ තුළද මිලියන 20 ක්‌ අනාරක්‌ෂිත තත්ත්වයන් තුළද සිදුවන බවට සංඛ්‍යා ලේඛන සාක්‌ෂි දරයි. එසේම ලොවපුරා සෑම විනාඩියකටම කාන්තාවන් 40 දෙනකු අනාරක්‌ෂිතව ගබ්සාවන් සිදු කරගන්නා බවද වාර්තා වේ.

මේ සංඛ්‍යා ලේඛනවල සත්‍ය අසත්‍ය බව කෙසේ වුවද මෙයින් සනාථ වන එක්‌ සත්‍යයක්‌ ඇත. ගතවන සෑම මොහොතෙහිම ලොව පුරා ළදරු කළල විනාශ කර දමන කාන්තාවන්ගේ වැඩිවීමක්‌ මිස අඩුවක්‌ නොවන බවයි. ලෝකයේ ඇතැම් රටවල් (ඉන්දුනීසියාව, ඉතියෝපියාව, ටෝගෝ) ගබ්සා නීතිරීති ලිහිල් කිරීමෙන්ම පෙනී යන්නේ ඔවුන් මෙම සාපරාධී පිළිලය පෝෂණය කිරීමට කොපමණ දායක වනවාද යන්නයි. ඇතැම් ආගමික නිකායන් මෙන්ම මූලධර්මවාදී කණ්‌ඩායම් ගබ්සාවට විරුද්ධ වන විට බටහිර රටවල් මුනිවත රකිමින් එය පෝෂණය කරන්නට නීති අණපනත් ගෙන ඒමෙන් පෙනී යන්නේද එය සමාජ සම්මතයක්‌ කරන්නට දරනා උත්සාහයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම බරපතළ සමාජ ගැටලුව ගැන කතාකරනු ලබයි. එම සංවිධානය ද ආරක්‌ෂිත ගබ්සාවන් අනුමත කරමින් අනාරක්‌ෂිත ගබ්සා ක්‍රමවල ඇති භයානකකම පෙන්වා දෙයි. ඔවුන් අනාරක්‌ෂිත ගබ්සාවන් නිර්වචනය කරනුයේ අනවශ්‍ය ලෙස පිළිසිඳගත් ළදරු කළලයක්‌ නියමිත වෛද්‍ය ස්‌වභාවයන් නොපවතින පරිසරයක්‌ තුළ ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත දැනුමක්‌ නොමැති පුද්ගලයන් විසින් විනාශ කරලීමේ ක්‍රියාදාමයක්‌ ලෙසය. මේ සියලු නීති අණපනත් සංවිධාන නිකායන් තුළින් ඉස්‌මතු කරන්නට උත්සාහ ගන්නේ මතවාදීව කරුණු දෙකක්‌ බව පෙනේ. එකක්‌ එය සමාජට විරෝධී නොවූ හුදෙක්‌ අවශ්‍යතාව මත ඊට පිළියමක්‌ ලෙස කරනු ලබන ක්‍රියාවලියක්‌ ලෙසය. යුක්‌තිය, අයුක්‌තිය ගැන හෝ පින-පව ගැන විමසීමක්‌ එහි නැත. අනෙක්‌ කරුණ වන්නේ මෙය සමාජ සම්මතයක්‌ අභිබවා යන පුද්ගලයා හා බැඳුණු ආධ්‍යාත්මික ජීවිතයට දොස්‌ පැවරෙන පින-පව මත ගමන් කරනා ක්‍රියාවලියක්‌ ලෙස හැඳින්වීමය. මෙකී සියලු මතවාදයන් පරයායමින් ජීව විද්‍යාත්මක න්‍යායයන්ටද තවමත් ගෝචර නොවූ කළලය හා බැඳුණු ඉතා සියුම් ඥන විභාගයක්‌ද බුදුසමය සතුය. මේ උත්සාහ ගනුයේ බුදුසමයට අනුගත වූ එකී ඥන විභාගය තුළින් මේ සමාජ ගැටලුව ලෙස බැලීමටය.

ලොව්තුරා දහමට අනුව ගබ්සාව නොහොත් කළල ඡේදනය ප්‍රාණඝාත අකුසල කර්මයකි. ඒ ගැන කිසිදු විවාදයක්‌ නැත. උපසපන් භික්‌ෂුවකට නම් එය මහණකම පවා අහෝසි වන බරපතළ පරාජිකා ආපත්තියකි. මවුකුස ළදරු කළලයක්‌ හටගන්නා මොහොතෙහි සිට එහි වර්ධනීය අවස්‌ථාවන් පිළිබඳ ඉතා සියුම් වූ විශ්ලේෂණයක්‌ බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රකූට පර්වතයේදී ඉන්දක නම් යක්‌ෂයාට දේශනා කළ බව සංයුක්‌ත නිකායේ යක්‌ඛ සංයුත්තයේදී පෙන්වාදී ඇත. අට්‌ඨකතා මතයට අනුව ඉන්දක යනු පුද්ගලවාදියෙකි. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විමසනුයේ රූපය ජීවය නොවේ යෑයි කියන බුදුවරුන්ගේ දේශනා නියමයට අනුව මේ සත්වයාගේ ඇට හා මස්‌ පිඬු කොහි සිට පැමිණියේද යන්නයි. බුදුන්වහන්සේ එයට පිළිතුරු දෙන්නේ මවුකුසක කළලයක්‌ හටගැනීමේ අවස්‌ථා පහක්‌ ඉතා සියුම්ව විශ්ලේෂණයට ලක්‌ කරමිනි. එහි පළමු වැන්න කළල නාමයෙන් ව්‍යවහාර වේ. පළමුව ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් සමග කළලය හටගනී.එය සිදුවන්නේ මවුපිය දෙදෙනාගේ සංවාසයෙන් හටගත් සරු බීජ මුල්කොටගෙනය. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් එයවිස්‌තර කරන්නේ 'ඝණ්‌ඨිත තෙල බින්දුප්පමාණං කළලං හොති' වශයෙනි. එහි සරල අදහස වන්නේ තෙල් බින්දුවක පම ප්‍රමාණයක්‌ ඇතිකළලයක්‌ පළමුව මවුකුසක හටගන්නා බවයි. කළල අවස්‌ථාවෙන් දින හතකට පසුව අබ්බුද නාමයෙන් හඳුන්වන මස්‌ දොaවනය කළ ජලයෙහි පැහැය මෙන්වූ ස්‌වරූපයකට ඒ හටගත් කළලය පත් වේ.

එවිට අබ්බුද අවස්‌ථාව මතුවී කළල අවස්‌ථාව අතුරුදන් වේ. අබ්බුද අවස්‌ථාවද දින හතක්‌ ඉක්‌මවීමෙන් පේසී නාමයෙන් හඳුන්වන අවස්‌ථාවට පත්වේ. එය උණුකරන ලද ඊයම් ගුලියක ස්‌වරූපය ගත් අවස්‌ථාවකි. එම පේසී අවස්‌ථාවද දින හතක්‌ ඉක්‌මවීමෙන් කුකුළකුගේ හැඩය ගත් මස්‌පිඬක්‌ නිර්මාණය වේ. එය අටුවාව විස්‌තර කරන්නේ පේසී අවස්‌ථාව අතුරුදන් වන ස්‌වභාවයක්‌ ලෙසය. එය ඝන නාමයෙන් හැඳින්වේ. ඉන්පසුව ඝන නම් වූ මස්‌වැදැල්ලෙහි පිළික පහක්‌ හටගනී. ඉන්පසු කෙස්‌, ලොම්, නියපොතු ආදී අනෙක්‌ ශරීර අවයව හටගනී. මෙලෙස සති හතළිස්‌ දෙකක කාලයක්‌ මවුකුසක වැඩෙන කළලයක්‌ මනුෂ්‍ය ප්‍රාණියකු ලෙස උපත ලබන බව ඉන්දක සූත්‍රයට අනුව පැහැදිලි වේ. මේ කළලයක සටහන මෙලෙස සඳහන් කළේ අප ඒ පිළිබඳව විවිධ මතවාදයන්හි එල්බගෙන සිටින නිසාය. ඇතැමෙක්‌ කළලයක්‌ ලෙස හටගත් මස්‌ වැදැල්ලෙහි ජීවය පවතින කාල පරාසය පිළිබඳ තර්ක කරති.

බුදු සමයෙහි කළලයක පිහිටන ගන්ධබ්බ නම් අවස්‌ථාවක්‌ ගැන සඳහන්වනනිසා මෙම ප්‍රශ්නය වඩාත් තීව්‍ර වේ. ඇතැමෙක්‌ මෙම ගන්ධබ්බ අවස්‌ථාව කවර අවස්‌ථාවක පැමිණෙන්නේද යන්න පිළිබඳ තර්ක කරති. තවත් සමහරෙක්‌ ගන්ධබ්බයාගේ පැමිණීම නිශ්චිතව කිව නොහැකි නිසා කළලය විනාශ කිරීම ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ වන්නේ කෙසේදැයිතර්ක නගති. මේ සියල්ල කළල ඡේදනය සාධරණීකරණය කරන්නට ගොතන පුහු තර්කයන් පමණි. බුදු සමය ඉතා පැහැදිලිවම කළලයක මුල් අවස්‌ථාවේදීම ගන්ධබ්බයකුගේ පැමිණීම සනාථ කරනු ලබයි. එය නිරෝගී මවුපිය දෙදෙනකුගේ සංවාසයෙන් හටගත් සරු බීජයන් තුළට ඇතුළු වන ජීවන කළලයකට අත්‍යවශ්‍ය වූ සාධකයක්‌ ලෙස බුදුදහම පෙන්වා දෙයි. එනිසා ගන්ධබ්බයකුගේ පැමිණීමෙන් නිර්මාණයවූ නිරෝගී කළලයක්‌ විනාශ කිරීම ප්‍රාණඝාත අකුසලයක්‌මය. බුදුදහම ප්‍රාණඝාතයක්‌ සිදු වීමට සම්පූර්ණ කළ යුතු අවස්‌ථා පහක්‌ පෙන්වා දේ.එහි පළමුවැන්න ජීවියකු වීමය. දෙවැන්න ජීවියකු බව දැනගැනීමය. තුන්වැන්න මරන්න ඕනෑය කියන සිතුවිල්ලයි.

හතරවැන්න ජීවියා මරනු සඳහා පහරදීම් ආදී උපක්‍රම කිරීමයි. පස්‌වැන්න එම උපක්‍රමවලින් ජීවියාගේ ප්‍රාණය නිරුද්ධ වීමයි. මෙම කරුණු පහ සම්පූර්ණ වීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වේ.

නූතන ගබ්සාව නොහොත් කළල ඡේදනය මෙම කරුණු පහම මුල්වී සිදුකරන ඉතා සාපරාධී ම්ලේච්ඡ ඝාතනයකි. නීති අණපනත්වලින් සහනයක්‌ ලැබුණද ආධ්‍යාත්මික සහනයක්‌ කිසිදා ලැබිය නොහැකි බරපතළ අකුසල කර්මයකි. එය කිසිදු ශිෂ්ට සමාජයක්‌ අනුමත නොකරන්නකි. මෙය විනය පිටකයට අනුව නම් භික්‌ෂුන්ට මහණකම පවා අහිමි කරවන බරපතළ පාප කර්මයකි. බුද්ධ කාලයේදී ගබ්සාවන්ට අනුබල දී මහණඛම අහිමි කරගත් චරිත කතා දහමේ සුලබව දක්‌නට ලැබේ. ථෙරගාථා අටුවාවෙහි සඳහන්වන අංගුලිමාල කතා පුවතේ සිය පුතණුවන්ගේ උපතින් භග්ගව පුරෝහිතයා ගබ්සාවකට සූදානම් වූ විට කොසොල් රජු එය වැළැක්‌වූයේ මනුෂ්‍ය ඝාතන එකල අනුමත නොකළ නිසාය. එදා අංගුලිමාල කළල ඡේදනයට ලක්‌වූයේ නම් රහත් චරියත් නූපදින්නට ඉඩ තිබිණි.

මෙම පුරාණ කතා අපට කියාපාන්නේ උපන් කළලය අංගවිකල වුවද වෙනත් විරූපීතාවයන්ගෙන් යුක්‌තවුවද එය විනාශ කිරීමට කිසිවකුට අයිතියක්‌ නොමැති බවය. එය ඒකාන්ත ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ වන හෙයිනි. බුදුදහම නිරතුරුව තමන් කළ කී දැ අනුව විපාක විඳීමට සිදු වන බව අපට සිහිගන්වන දහමකි. එහි අපව මෙහෙයවන අපට ඉහළින් සිටින දේවත්වයක්‌ හෝ අදෘශ්‍යමාන බලයක්‌ ගැන නූගන්වයි.

අප සසරෙහි ජීවයක්‌ බිහිවන්ට තිබෙන අවස්‌ථා නැතිකර ඇත්ද? ඊට අනුරූප විපාක සසරේ කවදා හෝ විඳින්නට සිදු වන බව පෙන්වා දේ. කාලි යක්‌ෂණියගේ කතාව ඊට හොඳම නිදසුනයි. සසරේ කාන්තාවන් දෙදෙනකු එකිනෙකා පරායායමින් ජීවීන් විනාශ කර ගනිමින් ආත්ම ගණනාවක්‌ දුක්‌විඳි අයුරු එහි විස්‌තර වේ. මඡ්ධිම නිකායේ එන බෝධිරාජ සූත්‍රයද කළලඡේදනය කිරීමේ අනිටු විපාක අපට සිහිගන්වන තවත් කතා පුවතකි. මඡ්ජිධිම නිකාය අටුවාව විස්‌තර කරන්නේ බෝධිරාජ කුමාරයාටත් ඔහුගේ අගබිසවටත් දරු සම්පත්තිය අහිමි වූයේ පෙර සසරේ කුරුලු බිත්තර කෑමෙහි පාපය නිසා බවයි.

මෙයින් පෙනී යන්නේ ජීවියකුට ජීවත්වීමේ වරම උදුරාගන්නා වූ සත්ත්වයන්ට සසරේ එවැනිම වූ දුක්‌ විපාකයන්ට ගොදුරු වීමට සිදු වන බවයි.

එනිසා නුවණැති මිනිසුනි, ඔබ ඔබේ ජීවත්වීමේ අයිතියට ගරු කරන්නා සේම ඔබ නිසා බිහිවූ ජීවයේ ජීවත්වීමේ අයිතිය උදුරා නොගන්න. එය ඔබට සාංසාරික සැප පිණිස හේතු වනවා පමණක්‌ නොව ඔබේ හෘදසාක්‌ෂිය ඔබට කිසිදා චෝදනා නොකරනු ඇත.