දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවේ වන්නේ මෙහෙමයි


වර්තමානයේ භාවිත වන ග්‍රෙගරියානු දින දර්ශනය ආරම්භ වී ඇත්තේ 16 වෙනි ශත වර්ෂයේ දී පමණ ය. එය ලෝකය පිළිගත් සම්මතයකි. එකී සම්මත දින දර්ශනයට අනුව වසරකට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ උදාවේ. ඇතැම් වසරවල දී පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවේ. එසේ පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවූ වසරවල දී ඉන් එක්‌ පොහොයක්‌, අධි පුර පසළොස්‌වක පොහොය ලෙස හඳුන්වයි. අධි යන වචනයෙන් වැඩි යන අර්ථය ගෙනදෙයි. එසේ වැඩිවන පොහොය අධි පුර පසළොස්‌වක පොහොය ලෙස නම් කරයි. මෙම වසරේ (2015) අද දිනට (ජූලි 01 බදාදා) යෙදී ඇත්තේ අධි ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනයයි. 

සාමාන්‍යයෙන් වසරකට උදාවන පුර පසළොස්‌වක පොහොය දොළහ දුරුතු, නවම්, මැදින්, බක්‌, වෙසක්‌, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් ආදී ලෙසින් වෙයි. බුද්ධ චරිතය මෙන්ම සම්බුද්ධ ශාසනයේ වූ ඓතිහාසික සුවිශේෂී සිදුවීම් මෙම පුර පසළොස්‌වක පොහොය දිනයන් හා සම්බන්ධව පවතී. උදාහරණයක්‌ ලෙස ඇසළ පුර පසළොස්‌වක පොහොය දින බෝසතාණන්වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසි`ද ගැනීම, සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය සිදුකිරීම, රාහුල කුමරුගේ උපත සිදුවීම, බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමෙන් පසු බරණැස ඉසිපතනාරාමයේ දී පස්‌වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම ආදී සිදුවීම්, සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ. ඉහත දැක්‌වූ පුර පසළොස්‌වක පොහොය දිනයන්ට අමතරව ඇතැම් වසරවල දී අධි පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ ද උදාවෙයි. නමුත් අධි පුර පසළොස්‌වක පොහොය කිසිදු ඓතිහාසික ශාසනික සිදුවීමකට සම්බන්ධ නොවේ. මේ ආකාරයට වසර කීපයකට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවන්නේ ඇයි ද යන්න විමසා බලමු. 

පසළොස්‌වක, අව අටවක, අමාවක, පුර අටවක ආදී පොහොය දිනයන් චන්ද්‍රයාගේ ගමන නිසා ඇති වේ. චන්ද්‍රයා, පෘථිවියේ උපග්‍රහයෙකි. අනිකුත් ග්‍රහලෝකවලට මෙන් චන්ද්‍රයාට ද ස්‌වයං ආලෝකයක්‌ නැත. චන්ද්‍රයා, සූර්යාලෝකය පරාවර්තනය කරමින් බැබළෙයි. චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ආසන්න වශයෙන් දින 29 ක්‌ ගත වෙයි. මේ හේතුව නිසා සෑමවිට ම චන්ද්‍රයාගේ එකම පැත්තක්‌ පෘථිවිය දෙසට මුහුණ ලා සිටියි. 

පුරාතන සමාජය චන්ද්‍රයාගේ ගමන, කාලය මැනීම සඳහා යොදා ගෙන ඇත. පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම වසරක්‌ ලෙස පැරැන්නෝ හැඳින්වූහ. චන්ද්‍රයා, සූර්යයාගෙන් ඈත්වෙමින් ගමන් කරද්දී ක්‍රමයෙන් පූර්ණත්වයට පත්වන අයුරු අපට පෙනෙයි. මෙසේ අංශක 180 ක්‌ ගමන් කිරීම පුර පක්‍ෂය ලෙස හඳුන්වයි. එතැන් සිට චන්ද්‍රයා නැවත සූර්යයා දෙසට ගමන් කිරීම අරඹයි. එය අවපක්‍ෂය නම් වෙයි. අව පක්‍ෂයේ දී අපට පෙනෙන චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවී නොපෙනී යයි.

චන්ද්‍රයාගේa මේ ගමන අනුව පෘථිවියේ සිටින අපට එය, දර්ශනය වන ක්‍රමය (පෙනෙන හැඩය) වෙනස්‌ වේ. අපට චන්ද්‍රයාගේ පෙනෙන හැඩය වෙනස්‌වීමට හේතුව වන්නේ, පෘථිවියටත් සූර්යාලෝක කිරණයන්ටත් සාපේක්‍ෂව චන්ද්‍රයාගේ පිහිටීම වෙනස්‌ වීම ය. අපට චන්ද්‍රයාව පෙනෙන්නේ වක්‍ර ආකාරයටයි. මෙම වක්‍ර හෙවත් ''වක'' වෙනස්‌වීම පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්‌වක, දොළොස්‌වක, තෙළෙස්‌වක, තුදුස්‌වක, පසළොස්‌වක හෝ අමාවක ආදී වශයෙන් හැ`දින්වේ. චන්ද්‍රයාගේ ගමන අනුව සෑදෙන මෙම ''වකයන්'' තිථි හැටියට හඳුන්වයි. ඒවා චන්ද්‍ර ගමන අනුව සෑදෙන තිථි වෙයි. 

චන්ද්‍රයා අපට නොපෙනෙන දිනය අමාවක පොහොය දිනය වෙයි. අමාවක පොහොය දින සිට චන්ද්‍රයා ක්‍රමයෙන් පූර්ණත්වයට පත් වන අයුරු අපට දිස්‌වෙයි. මෙසේ චන්ද්‍රයා අඩක්‌ පූර්ණ වූ දිනය පුර අටවක පොහොය දිනය ලෙස සැලකෙයි. චන්ද්‍රයා පූර්ණව පෙනෙන දිනය පුර පසළොස්‌වක පොහොය දිනයයි. පුර පසළොස්‌වක පොහොය දින සිට චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවන අයුරු අපට දිස්‌වෙයි. මේ ආකාරයට චන්ද්‍රයාගේ පූර්ණත්වය අඩකින් අඩු වී දිස්‌වෙන දිනය, අව අටවක පොහොය දිනය වෙයි. පූර්ණ බව අඩුවී චන්ද්‍රයා අපට නොපෙනෙන දිනයක්‌ උදා වෙයි. එදින අමාවක පොහොය දිනය වෙයි. මේ චන්ද්‍රයා ගමන් කරන එක්‌ වටයකි. අමාවක පොහොය දිනට පසු දින (පෑලවිය) සිට පසළොස්‌වක පොහොය දිනටත් (පුර පක්‍ෂයත්), පසළොස්‌වක පොහොය දින සිට අමාවක පොහොය දිනටත් (අව පක්‍ෂයත්) වන්නා වූ මේ කාලයේ කොටස්‌ දෙක එක්‌ කොට මාසයක්‌ ලෙසින් ව්‍යවහාර කෙරිණි. එයට චන්ද්‍ර මාසය යෑයි කියයි. එනම්, චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ගත වන කාලය යි. එකී කාලය දින 29 කි. මේ අනුව පොහොය දිනයක්‌ (අමාවක හෝ පුර අටවක හෝ පුර පසළොස්‌වක හෝ අව අටවක හෝ) උදාවන්නේ දින 29 කට පසුවය. මේ ආකාරයට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම (චන්ද්‍ර මාස දොළහක්‌) වසරක්‌ ලෙස සැලකිණි. ඒ අනුව පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීමට දින 354 ක්‌ යයි.

සූර්යයාගේ ගමන අනුව වර්ෂයක්‌ පූර්ණ වීම යනු, සූර්යයා මේෂ රාශියේ සිට රාශි 12ක්‌ හෙවත් අංශක 360ක්‌ ගමන් කර නැවතත් මේෂ රාශියේ අංශක බිංදුවට සංක්‍රමණය වීමයි.

නමුත් අද ලෝක සම්මතය ලෙසින් පිළිගන්නා දින දර්ශනයේ පැවැත්ම ස`දහා චන්ද්‍රයා, සූර්යයා ආදී ස්‌වභාවික වස්‌තූන්ගේ චලනයන් සැලකිල්ලට ගෙන නැත. මේ අනුව අප භාවිත කරන දින දර්ශනය ''හිතළුවක්‌'' පමණි. එම දින දර්ශනයට ඇත්තේ දින 365 කි. දින 365 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර්, ඔක්‌තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 12 අතරේ බෙදී යයි.

අප භාවිත කරන දින දර්ශනයට පාදකවන්නෙය, පෘථිවියට සූර්යයා වටා එක්‌වරක්‌ ගමන් කිරීමට (පරිභ්‍රමණයවීමට) ගත වන කාලය යි. සත්‍ය වශයෙන්ම පරිභ්‍රමණයට ගත වන කාලය දින 365 කි. විචල්‍යයන් බොහොමයක්‌ පදනම් කරගෙන නිවැරදි දින දර්ශනයක්‌ නිර්මාණය කිරීම ඉතාම අසීරු කටයුත්තකි. එනිසා අප භාවිත කරන දින දර්ශනයට දින 365 ක්‌ යොදාගෙන ඇත. වාර්ෂිකව ඇතිවන අඩුව එනම් දින (පැය 6) මග හැරීමට වසර හතරකට වරක්‌ එක්‌ දිනයක්‌ (පැය 6<<4 = පැය 24 = දින 1) වසරකට එකතු කරනු ලබයි. එවිට එම වසරට දින 366 ක්‌ වන අතර එය අධික වසරක්‌ ලෙස හඳුන්වයි. ඒ අනුව සෑම වසර හතරකට වරක්‌, අධික වසරක්‌ උදාවීම (සම්මතයට අනුව) සිදුවේ. මෙකී සම්මත දින දර්ශනයේ මාස සටහන් වන්නේ ද විවිධ අයුරිනි. ඇතැම් මාසවලට දින 30 කි. තවත් මාස කීපයකට දින 31 කි. දින 28 කින් යුක්‌ත මාසයක්‌ ද වන අතර එය පෙබරවාරි මාසයයි. (අධික වසරක දී වැඩි වන දිනය එකතු වන්නේ පෙබරවාරි මාසයටයි. ඒ අනුව එහි දින 29 ක්‌ වෙයි.) මෙකී දින දර්ශනය සමස්‌ත ලෝකය ම පිළිගත් එකකි. එකී සම්මතයට පිටුපා ක්‍රියා කිරීමට අපට නොහැකිය.

පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවන (චන්ද්‍ර මාස දොළහ) වසරකට දින 354 ක්‌ වුවත්, සම්මත දින දර්ශනයට දින 365 ක්‌ / 366 ක්‌ වේ. ඒ අනුව දින 11 ක / 12 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි. දින 29 කට වරක්‌ යෙදෙන පොහොය දිනය, දින 28, 29, 30, 31 මාසවලින් සටහන් කිරීමට යාමේ දී ඇතිවන දින අතිරික්‌තය වසර කිහිපයක දී අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසට ගෙන දක්‌වනු ලැබේ.

වෙනත් විදියකින් කියන්නේ නම්, ස්‌වභාව ධර්මයත්, මිනිසාගේ නිර්මාණයක්‌ වන දින දර්ශනයත් අතර වන ''නොගැලපීම'' අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසින් මතුව ඒමයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලිය රිද්මයකට, රීතියකට අනුව සිදු වෙයි. චන්ද්‍රයාගේ පුර පක්‍ෂයත්, අව පක්‍ෂයත් අප දකින්නේ එකී ස්‌වභාව ධර්මයේ රිද්මයට අනුවය. එකී ධර්මතාව කාටවත් වළකාලිය නොහැකිය. පූර්ණ චන්ද්‍රයා අහසේ දුටු විට, එදින පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ නොවේ යෑයි කිව හැකිද?

සාමාන්‍යයෙන් වසර 3 කට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලබයි. එය ස්‌වභාව ධර්මයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයක්‌ නොවේ. අප භාවිත කරන දින දර්ශනයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයකි. සම්මුති වශයෙන් ද ලොව ධර්මතා පවතින බව අමතක නොකළ යුතුය. 
ආර්. ඒ. නයනානන්ද