දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අතිදීර්ඝ සසරේ ආරම්භයක් නොපෙනෙන තරම්. . .

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින්, මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක් නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුරවපු එකයි.
“ශාස්තෘ” කියන වචනයේ අර්ථය නම් මාර්ගය පෙන්වා දෙන උත්තමයා කියන එකයි. අතරමං වූ විටෙකයි තමාට මාර්ගය පෙන්වා දෙන කෙනෙකු අවශ්‍ය වන්නේ. ඉමක් නො පෙනෙන දුක්ඛිත ගමනක අවිද්‍යා අඳුරේ අතරමං වෙලයි මේ සියලු සත්ත්වයෝම සිටින්නේ. ඒ බිහිසුණු සසර ගමනින් අත්විඳීමේ සදාකාලික සැනසිලි මාර්ගය අවබෝධ කළේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අවිද්‍යා අඳුරෙන් මිඳී අමා නිවනට යන සුන්දර මාර්ගය බුද්ධිමත් දෙවියන්ටත්, මිනිසුන්ටත් වැටහෙන පරිදි පෙන්වා දී වදාළේත් ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එනිසයි ඒ උතුම් සම්බුදුරජාණෝ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ ලෙස ගෞරවයෙන් හඳුන්වනු ලබන්නේ.
ප්‍රඥාවන්ත දෙවිවරුන් , මනුෂ්‍යයින් ඒ සම්බුදු ගුණ කඳ මැනැවින් හඳුනා ගන්නට වාසනාවන්ත වුණා. ඔවුන් සත්‍යය ලෙස පැහැදුණු සිතින් දරා ගන්නේ ඒ සම්බුදු රජුන්ගේ විශ්මිත අවබෝධය පමණයි. වර්තමානයේ වුණත් ශ්‍රාවකයෙකු තුළ ආකාරවතී ශ්‍රද්ධාව ඇති වන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පමණක් අදහාගෙන ජීවිතය ගතකළහොත් පමණයි. ඒක නුවණැත්තෙකු හට අසීරු කරුණක් නොවෙයි. එලෙස තම ජීවිතයේ එකම පිළිසරණ බවට බුදුරජුන් සරණ කරගත් ශ්‍රාවකයා අභීත ලෙස සම්බුදු ගුණයම ඉස්මතු කරමින් කථා කරනවා. ඔවුන් හට තම ශාස්තෘන් වහන්සේ ගැන තිබෙන්නේ විශාරද වූ පැහැදීමක්.
ඒ බුද්ධිමත් ශ්‍රාවකයාගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන ශ්‍රද්ධාව ඔහුගේ වදන් වලින් පවා තේරුම් ගන්නට පුළුවනි. සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ ‘ඒකමුල’ සූත්‍රයේදී ඒ සැදැහැවත් දෙවියා තම ශාස්තෘන් වහන්සේ ආමන්ත්‍රණය කරන අයුරු බලන්න.
කවදාවත් පිරෙන්නේ නැති මහ සයුරක් තිබෙනවා. ඒ සයුර පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඇත, නැත කියන අන්ත දෙකෙන් හැදුණ ලොකු ගෙවල් දෙකක් තිබෙනවා. රාග, ද්වේෂ, මෝහයෙන් හැදුණ කුණු ගොඩවල් තුනක් තිබෙනවා. පංචකාම ගුණයෙන් හැදුණ ගල්ගෙඩි පහක් තිබෙනවා. ආධ්‍යාත්මික බාහිර කියන ආයතනවලින් හැදුණ වලවල් දොළහක් තිබෙනවා. පාතාලය වගේ ගැඹුරුයි. මහ ඉසිවර බුදුසමිඳුන් අන්න ඒ මහ සමුදුර තරණය කළා.
තමන් සරණගිය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ගැන මෙබඳු පැහැදිලි ශ්‍රද්ධාවක් උපදවා ගන්නට ලැබුණොත් ඔහු වාසනාවන්තයෙක්. මොකද මේ ලෝකයේ සාමාන්‍ය සත්ත්වයාට පෙනෙනවාට වඩා ජීවිතය කියන්නේ හාත්පසින්ම වෙනස් එකක්. හැබැයි සාමාන්‍ය ඇසකින් දකින්නට බැරි ජීවිතයේ ඇත්ත ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්මිත ප්‍රඥා ඇසින් දැක වදාළා. ඒ ජීවිතයේ සත්‍ය ස්වභාවය දුටු නිසයි මහා කරුණාවෙන් උන්වහන්සේ ජීවිතාවබෝධය පිණිස ධර්මය දේශනා කළේ.
සම්බුද්ධත්වයට පත් වූ ඒ රාත්‍රියේ බෝධි මූලයේදී අපගේ බුදුරජාණන් වහන්සේට උපදවා ගත හැකි වුණා විද්‍යාවන් තුනක්. ඒවාට තමා ත්‍රිවිද්‍යාව කියා කියන්නේ. ඉන් පළමු විද්‍යාව තමා ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’. මේ සත්ත්වයන් තමන්ගේ අතීත ජීවිතය ගතකළ අයුරු සිහිකිරීමේ නුවණ උන්වහන්සේ ලබා ගත්තා. ගමකින් තවත් ගමකට යන මනුස්සයෙක් තමන් පළමු යාමේදී දිවි ගෙවූ ආකාරය සිහිකරනවා වගේ ඉතාමත්ම පහසුවෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මේ සත්ත්වයන්ගේ අතීත ජීවිත සිහිකිරීමේ හැකියාව ලැබුවා. ඒ ඤාණයෙන් ලොව බලද්දී බිහිසුණු සසර ගමනක මේ ලෝ සතුන් උරුම කරගත් ඛේදවාචකය උන්වහන්සේ දැක වදාළා. පසුකලෙක ඒ සසර ගමන ගැන අප ශාස්තෘන් වහන්සේ පහදා දුන්නේ මේ අයුරිනුයි.
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුුරවපු එකයි.
මීට අමතරව තමන් වහන්සේ උපදවා ගත් ‘චුතූපපාත ඤාණය’ හෙවත් සත්ත්වයන් කර්මානුරූපව උපදින අයුරුත් චුතවන අයුරුත් දකිනා නුවණින් ජීවිතය ගැන විශ්මිත හෙළිදරව්වක් බුදුරජාණන් වහන්සේ උපදවා ගනු ලැබුවා. සසර ගමන නැවැත්වීමට බාධකය වූ අවිද්‍යාව ප්‍රමුඛ කරගත් සියලු අකුසල් මේ චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් කළ හැකි බවත් තෙවැනි විද්‍යාව ලෙස ‘ආසවක්ඛය ඤාණය’ ලබා ගනිමින් උන්වහන්සේ අවබෝධ කොට වදාළා.
බුදුරජාණන් වහන්සේගේ ඒ විශ්මිත ප්‍රඥාවට හසුවුණේ සසර ගමනේ සැබෑ ස්වභාවයත්, ජීවිතයේ යථාර්ථයත් පමණක් නොවේ. බුද්ධිමතුන් හට තම නුවණ මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කරගත හැකි සදාකාලික සැනසීමකුත් අප ශාස්තෘන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් අවබෝධ කොට වදාළා. එමපණක් ද නොවේ. ඒ සැනසීම වූ අමා මහ නිවන ගැනත්, ඒ නිවනට යන මාර්ගය ගැනත් වටහාගත හැකි අයුරින් පැහැදිලි කර දීමට අපගේ ශාස්තෘන් වහන්සේ තුළ වූයේ විශ්මිත හැකියාවක්.
අද අප මාතෘකා කොට කරගෙත් උතුම් සූත්‍ර දේශනාවේ දී සුන්දර නිවනේ ස්වභාවය ගැන පහදා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ වූ හැකියාව ඉතා මැනවින් ඉස්මතු වී පෙනෙනවා. කෙනෙක් විමසන ප්‍රශ්නයකට පැහැදිලි ඉලක්කයටම පිළිතුරු ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ කොයිතරම් පුදුමාකාර දක්ෂතාවයක්ද තිබුණේ කියා. මේ සිදුවීම වුණේ ජේතවනාරමායේ දීම යි. අපගේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි ඒ දෙවියා එකත් පසෙක සිටිමින් මේ ගාථාවකින් ප්‍රශ්නයක් විමසුවා.
මේ වේගයෙන් ගලාගෙන යන සංසාරය නවතින්නේ කොතැන ද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කො තැනද? නාමයත් රූපයත් ඉතිරිනැතිව නිරුද්ධ වන්නේ කොතැන ද?
ඒ ප්‍රශ්නයට සියල්ල දන්නා වූ සියල්ල දකින්නා වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළේ මේ ගාථාවයි.
යම් තැනක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නේ නැත්නම් අන්න එතැන තමයි වේගයෙන් ගලා යන සංසාරය නවතින තැන. අන්න එතැන තමයි ඇවිද ඇවිද යන සසර ගමන නවතින තැන. එතැන තමා නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වන්නේ.
මේ පිළිතුරෙන් වදාළ සතර මහා ධාතු නො පිහිටන තැන කුමක් ද? මෙබඳු තැනක් තිබේ ද? අප එය භාග්‍යවතුන් වහන්සේ වදාළ නිබ්බාණ සූත්‍ර කරුණ ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.
පින්වත් මහණෙනි, අමා මහා නිවන නම් වූ දෙයක් තිබෙන්නේම ය. යම් තැනක පඨවි ධාතුව නැත්ද? ආපෝ ධාතුව නැත්ද? වායෝ ධාතුව, තේජෝ ධාතුව නැත්ද ආකිඤ්නාඤ්ඤායතනය නැත්ද? නේවසඤ්ඤායතනය නැත්ද, මේ ලෝකය නැත්ද? පරලොවක් නැත්ද? හිරු සඳු නැත්ද? පින්වත් මහණෙනි, ඒ අමා මහා නිවන තුළ සත්ත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිට වී යාමත් නැත්තේ ය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නො පිහිටා තිබෙන තැනකි. නො පවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහි දුකෙන් නිදහස් වූ තැන වේ.
ඒ අමා මහ නිවන අවබෝධ කළ ඒ නිවනට යන මාවත පෙන්වා දුන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
නයනා නිල්මිණි