දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දාගැබ වටා සිවුරු හා බෞද්ධ කොඩි ආදිය පැලඳවීම කප්රුක් පූජාව ද? කඤ්චුක පූජාව ද?

බුදුරජාණන් වහන්සේ උදෙසා කරන අති ගෞරවනීය පූජාවක් වශයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද චෛත්‍යයන් වන්දනා කිරීම අතීත යුගයෙහි සිට ම ලක්වැසි ජනතාවගේ පුද සිරිතක්ව පවතී. ලක්දිව ඉදිකොට ඇති සියලූ ම චෛත්‍යයන්හි බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේනමකගේ හෝ ශාරීරික ධාතුන් වහන්සේනමක් නිදන් කොට තැන්පත්ව ඇති බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. මේ බව තහවුරු කරමින් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දැක්වූ නිගමනයක් පහත දැක්වෙයි.

‘අවුරුදු දෙදහස් පන්සියයකට පමණ පූර්වයෙහි මෙලොව විසූ ශාස්තෘවරයෙකුගේ ශාරීරික ධාතු මෙකල ලබාගත හැක්කේ කෙසේදැයි බුදු සමය ගැන සැක සිතන්නකුට විමසිය හැකි ය. එහෙත් අලූතින් ස්ථූපයක් ඉදිකරනු ලබන සැම අවස්ථාවක දී ම නියම සර්වඥ ධාතුවක් ලෙස විශ්වාස කළ හැකි ධාතුවක් ලබා ගැනීම සැදැහැවතෙකුට එතරම් අසීරු කාරණයක් නො වේ.’
(ලංකාවේ ස්තූපය – පුරාවිද්‍යා ගවේෂණයේ ශාස්ත‍්‍රීය නිබන්ධ ඩ වැනි කාණ්ඩය – 1963, 1 පිටුව)

එපරිද්දෙන් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ.
චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. මෙම සදොස් ව්‍යවහාරය නිසා අතීතයේ සිට පැවත ගෙන ආ එම මහාර්ඝ ස්තූප වන්දනා පුද පිළිවෙළ නිගරුවට ලක් කිරීමක් වේ දෝයි එහි අරුත් විමසන අයකුට හැඟී යා හැකි ය. ‘කප්රුක’, ‘කප්තුර’ යන වදන්වලට ශ‍්‍රී සුමංගල ශබ්ද කෝෂය අරුත් දෙන්නේ ‘කල්ප වෘක්ෂය’ ලෙසිනි. කප්රුක යන්න සිතු පැතූ සම්පත් ලබාදෙන වස්තුවක් ලෙස සැලකීමට පැරැන්නෝ පෙළඹුණහ. විහාරස්ථානයන්හි කඨින පින්කම් අවසානයේ පවත්වනු ලබන පරිත‍්‍රාණ ධර්ම දේශනා පුණ්‍යකර්මය සඳහා ශාඛා සහිත ගසක කොටසක් පසෙක හිඳුවා තැබීම මෑත අතීතයේ සිට පවත්නා චාරිත‍්‍රයකි. එම ගසේ අතු රිකිලිවල සැදැහැවත් ජනයා විවිධ උපභෝග පරිභෝග වස්තූන් එල්ලා තැබීම මහත් ඵල ගෙන දෙන පින් කිරියවතක් සේ සැලකිණි. මෙම ගස හඳුන්වන්නේ ‘කප්රුක’ වශයෙනි. ඒ අනුව කප්රුකක් චෛත්‍ය පලඳනාවක් ලෙස පූජා කරන්නේ කෙසේ ද යන විමතිය ඇතිවේ.
චෛත්‍යයක් වටා හෝ ශ‍්‍රී මහා බොධීන් වහන්සේගේ වෙනත් බෝධි වෘක්ෂයක් වටා හෝ පලඳනාවක් යෙදීම හැඳින්විය යුත්තේ කඤ්චුක පූජාවක් වශයෙනි. කඤ්චුක යන වදන සඳහා ශබ්දකෝෂ අරුත් දෙන්නේ සැට්ටය, සන්නාහය හෝ පලඳනාව යන පර්යාය පදවලිනි. මේ උතුම් පූජාව පිළිබඳ අතීත සම්ප‍්‍රදාය විමසා බැලීමෙන් එම යෙදුමේ නිරවද්‍යතාව වටහාගත හැකි ය.
අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැුස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය;
‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’
(ශ‍්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව)

එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි.
අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී.
චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි.
‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං
වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා
භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං
දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’

‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’
එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි.
ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. (ලංකාවේ ස්තූපය – 30 පිටුව)
ලක්දිව චෛත්‍ය වන්දනාව උදෙසා කරන ලද කප්රුක් පූජාවක් ගැන කිසිදු පොතපතක හෝ ජනවහරේ හෝ සඳහන් නො වෙයි. කප්රුකක් සිටුවීම සිදුවූයේ ගම්මඩු දෙවොල් මඩු ශාන්තිකර්ම උදෙසා සහ ඇතැම් විට ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පෙරාතුව ය. ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දේවාල පෙරහැර ආරම්භ කිරීමට පෙර කප් සිටුවීමේ මංගල්‍යයක් පැවැත්වෙයි. ඒ වූ කලී දේව ඇදහිල්ලක ක‍්‍රම විකාශයෙන් පහළ වූවක් විය හැකි ය. එහෙයින් කප්රුක් පූජාව යන්න චෛත්‍ය වන්දනාව උදෙසා භාවිත කිරීමට කිසිසේත් නො සුදුසු වදනකි. එය හැඳින්විය යුත්තේ ‘කඤ්චුක පූජාව’ ලෙසින් ම ය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤