දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ධර්මය දකින්නාට ලෝකය සිහිනයකි

කොළඹ 07,
ශ්‍රී සම්බෝධි විහාරාධිපති 
දරණාගම කුසලධම්ම හිමි

භාවනානු යෝගියා සමඟ කෙලෙස් සේනාව යුදවදී. ඒ සටනින් දිනීමට නම් සටන් විධි නම් වූ කල්පනා විධි හැගීම් මතවාද දුරුලිය යුතුය. දුක හෝ සතුටටද හේතුව මම නම් වූ උරුමකරුවා බව තේරුම් ගන්න. දුක් වර්ග දෙකක් ඇත. ඉන් එකක් දුක තව තවත් වැඩි කරගන්ට මග පෙන්වන දුකය. දෙවැන්න දුක නැත්තටම නැති කරන්නට දැනම විඳින දුකය. මේ දෙවැනි වර්ගයේ දුක් විඳින්ට අකැමැති නම් ඔබට කිසිදා දුක කෙලවර කර ගත නොහැකි වේ.
අප නිර්මාණය කර ගෙන ඇති ලෝකය අවිද්‍යා අඳුරින් වැසී ඇත. සම්මා දිට්ඨි නම් වූ සත්‍ය වූ දැක්මක් ඔබට ඇත්තේම නැත. ඔබ කිසි විට සැකයන්ට ගොදුරු නොවන්න. සැක දුටු වූ විටය මනස සාමකාමි වන්නේ, ඕනෑම අයෙකු තමා සිටින මේ මොහොතේ දීම ධර්මය අවබෝධ කිරීම අරඹන්න. ධර්මාවබෝධයට සුදුසුම තැන මේ මොහොතය. කිසිවක් සැසැඳීමට නොයන්න. වෙනස්කම් දුටුවත් ඒවා ගණන් නොගන්න. අනුන්ගේ හොඳ, නරක නොසොයන්න. ඔබ ඔබ ගැනම පමණක් බලා ගන්න. ඔබේ මනාපයන් හා අමනාපයන් දෙස සුපරීක්ෂාකාරි වන්න. කිසිම දෙයක් ගැන හිත හිතා සිටීමෙන් හෝ කණස්සලුවීමෙන් වළකින්න.ඕනෑම දෙයක් ස්වාභාවිකව ක්‍රියාත්මක වීමට ඉඩ හැර සිහියෙන් සිටින්න. එවිට සුපිරිසුදු දිය පොකුණක්සේ ඕනෑම පරිසරයක දී සිත ශාන්ත වේ. සියල්ල වෙනස් වෙමින් තිබෙන බව දකින්න. මනස ස්වාභාවික සමබරතාවට පත් වන්නේ එවිටයි. එවිට ඔබේ අධ්‍යාත්මික පිරිසුදු භාවය සමඟින් ප්‍රඥාව කෙමෙන් විකසිත වීමට පටන් ගනී. එවිට ඔබ බුදුපියාණන් වහන්සේ සමීපයෙහි සිටිනු දැනේ.
කල්පනා කිරීමට කියන්නේ පඹ ගාලක පැටලීමක්ය. හැම දෙයක්ම පවතින්නේ ඒවා තිබිය යුතු පිළිවෙළටයි. ගසක ගෙඩි අපට අතින් කඩා ගත හැකි උසකින් හට ගන්නේ නැත. ඇළ,දොළවල ජලය පහළට ම ගලා බසී. අපට දුක ඇති වන්නේ ඒවා අප රිසිසේ නොපැවතීම නිසාය. මනස අපට අයිති නැති තැනින් තැනට පනින රිලවකු වැන්න. දුක සැප, තෘප්තිය අතෘප්තිය,රස නීරස යනුවෙන් විවිධ සිතිවිලි සිසාරා සැරිසරන මනස සාමාන්‍ය ජීවිතයේදි මොහොතකට වත් නිසසල නොවේ. මනස නිසසල වන්නේ ධර්මතා ගැන අවබෝධයට පත් වීමයි.
අපට අවශ්‍ය වන්නේ දුක නැති කිරීමටයි. දුකට හේතු දැන ගන්නා තුරු ප්‍රඥාව පහළ නොවේ. හැඟීම් හා සිතිවිලි පවතින හැටියට ඔහේ තිබියේවා. ඒ සියල්ලෙහි යථා ස්වභාවය දැන ගැනීම ප්‍රඥාවයි. අපේ අර්බුද හා ගැටලු වල නිමාවද එයයි.
සිතීම හා ප්‍රඥාව එකිනෙකට වෙනස්ය. ප්‍රඥාවන්ත මනස නිශ්චලය. සිතිවිලි සහිත මනස චංචලය. සිතිවලි සහිත මනස සමඟ අප සංවාදයේ යෙදුනත් ඒවායේ කිසිම හරයක් නැත. මනස ගැන සුපරික්ෂාකාරි වන විට හැම දෙයක්ම දැන ගන්නා විඤ්ඤාණය නිරන්තරව සැලකිලිමත්ව සිටී. දැකපු හෝ ඇසුණූ දෙයක් සිතින් හදින් අල්ලා ගත් විට කෙලෙසුන් අවදිවේ. එසේවීමට ගිය වහාම අවදියෙන් සිට මනස සන්සුන් කර ගත යුතුය. මනස පුහුණු කළ යුත්තේ එසේය. එවිට ආවා ගියාට අරමුණු අල්ලා නොගෙන ශාන්ත බවට පත්වේ. සිහිය සහ දැකීම මනස හීලෑ කිරීමට අත්‍යවශ්‍යය. ගොපල්ලා සැලකිලිමත්ව මීහරකුන් ගොයම දෙසට යා නොදී රැක බලා ගන්නාක් මෙන්ය.
මනස නිදහස්වන තෙක්ම පුහුණු කළ යුතුය. ඉන්ද්‍රිව අරමුණු මනසේ පහළ වන විට ඒවා අල්ලා රඳවා නොගෙන,මග හැරීම ද නොකර එක එල්ලේ එදෙස බලා සිටින්න.අරමුණු සියල්ල අනිත්‍යය හා දුක බවද කිසිම පදනමකින් තොර නිසා අනාත්ම බවද මෙනෙහි කරන්න. පිළිකුලකින් හෝ ආශාවකින් තොරව ඒවායින් අයින් විය යුතුය. එවිට සන්සුන් වන මනසට ප්‍රඥාව,ඇත්තා ඒ වු පරිද්දෙන්ම දැන ගතහැකි නුවණ පහළ වේ.
‘ඉපදීම’ වයසට යාම, රෝග හා මරණය යනු ලෝ දහමයි. ‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හේතුවක් නිසා ඇති වූ යම් දෙයක් වේද එය නැතිවීම ස්වභාවයයි. එය එසේම වනු විනා කිසිවෙකුට අවනත නොවී එසේම සිදුවේ. අප කළ යුත්තේ එසේ වූ ලෝකය හැඳින ගෙන ලෝකයෙන් මිදීමයි. සකස් වන ඕනෑම ධර්මතාවක් (සංකාර) අනිත්‍යය. ආගම අදහමින් කොතෙකුත් පින් කළත් ජාති, ජරා, මරණ එසේම පවතී. කඩයක කෙළවරක් සිරවී ඇත්නම් කඩය ඇදගත නොහැකිය. සිර වී ඇති තැන නොපෙනේ. අප තුළ ඇති ගැටලුවද මෙසේමය. ගැටලුව සොයා ගතහොත් ඉන් මිදිය හැකිය. එය සිර වී ඇත්තේ අපේ හදවත තුළය. එයින් ගොඩ විය හැක්කේ සිත පුහුණූ කිරීමෙන්ය. එවිට ගැටලුව විනිවිද දැකීමට මනස සමත්වේ.
භාෂාවේදී ගුවරයෙකු අවශ්‍ය වන්නේ මග වරදවා ආශාවේ විසිතුරු මායාවන් රැවටීමට ඉඩ තිබෙන නිසාය. සැබෑ ගුරුවරයෙකු ඔබට පෙන්වා දෙන්නේ මමත්වයට හුරු කර සියල්ල අතහරින සැහැල්ලු මාවතය. ඔබ යායුත්තේ අනුරාධපුරයටයි.අතර මැද විසිතුරුවලට මුළා වුවහොත් යා නොහැකිය. ශීලය හා සන්සුන් කම අතහැර දැමුවොත් පුහුණුවෙන් පලක් නැත. අත හැරීම, ලද දෙයින් සතුටුවීම , දානය,ඇලීමෙන් තොරවීමත් ශීල,සමාධි ප්‍රඥා මාර්ගයට අවශ්‍ය වේ.
ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිවන්නේ ප්‍රඥාව වැඩීමත් සමඟයි. ප්‍රඥාව වැඩෙන්නේ ඇසූ ධර්මය නුවණීන් මෙනෙහි කිරීමෙන්ය. උත්සාහයට අනුවම ප්‍රඥාව නොවැඩේ. කොපමණ පොහොර හා ජලය යෙදුවත් ගසක් වැවෙන්නේ ගසට වුවමනා පරිදිය.අචල ශ්‍රද්ධාව වැඩෙන්නේ යෝනිසෝමනසිකාරයෙන්ය.
ජීවිතයෙන් පලා නොගොස් ඇලීම් ගැටීම් අවම කරගෙන ධර්මය දැකීමේ උත්සාහය අත නොහරින්න.අපේ ඉඳුරන්නට ගෝචර වන අරමුණුවල හැම තැනම ධර්මය තිබේ. ශීලය අවශ්‍ය වන්නේ පණ ඇති නැති හැම දෙයක් වෙනුවෙන්ම යුතුකම් ඉටු කිරීමක් වන නිසාය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤