දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මරණයේ දී තැතිගැන්මක් නොවන්නේ කා හට ද?

තෘෂ්ණාව සිත තුළ පෝෂණය වනතාක් සත්වයා උප්පත්තිය, මරණය යන ලෝක ධර්මතා දෙකට මුහුණ දිය යුතු වෙයි. මිනිසාට ජීවත්වීම සඳහා ආහාර, වස්ත්‍ර, නිවාස සහ බෙහෙත් යන කරුණු සතර අවශ්‍ය වෙයි. ගිහි, පැවිදි සියලු දෙනාටම ඒවා අත්‍යවශ්‍ය සාධක වේ. එහෙත් මරණයත් සමඟ භෞතික සියලු දෑ අත්හැර යා යුතු ය. තමාගේ කියා දැඩිකොට ගත් කයද, අඹු දරුවන් ද, මවුපියවරුන් ද, ඥාති මිත්‍රාදීන් හා පි‍්‍රය අපි‍්‍රය සැමද හැර යා යුතු වෙයි.
එපමණක් නොව ගේ දොර වතුපිටි ඉඩකඩම් යානවාහන ආදි කොටැති සියල්ලම ද උගත් නූගත්කම්ද ශිල්ප ශාස්ත්‍ර දැනුමද තානාන්තර ද ගරු නම්බු පදවිද උස්මිටිකම් ද පසෙක දමා සොහොනට යා යුතුම වෙයි. රැස් කළා වූ කර්ම ශක්තිය මෙලොව, පරලොව විපාක පිණිස පසුපස ලුහුබඳියි. ඒ බව ධම්මපද විවරණයේ ප්‍රථම, ද්විතිය ගාථාවන්හි අන්තර්ගත වේ.
කුසල් දහම්හි නොපමාව සිත වැඩීම තථාගතයන් වහන්සේගේ අනුශාසනාව වන්නේය. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම බොහෝ කොට වැඩීම කුසලයම බව තේරුම් ගත යුතු ය. ජිවි, අජීවි සියල්ලටම පොදු යථාර්ථය වන අනිච්චතාව තේරුම්ගැනීම, මරණයට බිය නොවීමට කාරණා වන්නේ ය.
කාය දුශ්චරිතයෙන් වෙන් වී කාය සුචරිතය වඩන්නේ නම් වාක් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩන්නේ නම් මනෝ දුශ්චරිතය හැර මනෝසුචරිතය වඩන්නේ නම් සීලයෙහි මනා ලෙස පිහිටියා වන්නේ ය. එසේ පිහිටා කෙලෙස් තවන වැර ඇතිව, මනා දැනුම් ඇතිව එළැඹි සිහියෙන් යුතුව කයෙහි කය අනුව දක්නා සුළුවද (ප්‍රඥා ඇසින්) වේදනාවන්හි, සිත්හි, දහම්හි ද එපරිද්දෙන් සිහිය පිහිටුවා ගනිමින් ද දැඩි ලෝභය හා දොම්නස් දුරු කොට වාසය කරයි නම් බහුල කොට වඩන්නේ නම් කුසල් රැස් කිරීම සිදුවන්නේ ය. සතර සතිපට්ඨානය ම හුදු කුසල් රාසිය වන්නේ ය. වැඩූ කායානුපස්සනා ඇති (කයෙහි අසුබය, අසාරය, විපරිණාමය) පිළිබඳ වැඩූ නුවණ ඇති, සමථ - විදර්ශනාවෙන් සිත අලංකෘත කරගත් ශ්‍රාවකයාට මරණය බිය විය යුතු කාරණයක් නොවන්නේ ය. තැති ගැන්මක් ද නොවන්නේ ය.
මිය යන බොහෝ දෙනා මරණාසන්න අවස්ථාවේ බියට ත්‍රාසයට පත්වන්නේ ය. එයට හේතුව වන්නේ වැඩූ කුසල් සිතත් නොපිහිටීමයි. (සතර සතිපට්ඨානය භාවිත නොකිරීමයි) සද්පුරුෂ ඇසුරු ලබමින් සද්පුරුෂ ධර්මයෙහි දීර්ඝ කාලයක් සිත භාවිත නොකිරීමයි. සමාජයේ ජීවත්වන ඔබට බොහෝ මිතුරන්, ඥාතීන්, වැඩිහිටියන්, දරුවන් මුණුපුරු මිණිපිරියන් සිටින්නට පුළුවන්. ඔබ ඔවුන්ට අනුකම්පා කරන්නේ නම්, ඒ අය ඔබට ඇහුම්කන් දෙන්නේ නම්, කරුණා අභ්‍යාසයෙන් යුතුව සතර සතිපට්ඨානය වැඩීම පිණිස අවවාද කළ යුතු ය. සමාදන් කරවිය යුතු ය. එහි පිහිටු විය යුතු ය. එවිට ඔබ සියලුදෙනාටම සැබෑ කල්‍යාණ මිත්‍රයකු වූවා වේ. අනුකම්පක මිතුරකු වූවා වේ. එවිට සියල්ලෝම මරණයට බිය නොවන, ත්‍රාසයට පත් නොවන කරුණු සහිත වූවෝ වන්නාහ. පිරිපුන් ඇත්තෝ ද වන්නාහ.
මේ අනුව, මරණාසන්න අවස්ථාවෙහි නොබියවන, නොසැලෙන කරුණු සතර කුමක්දැයි සලකා බලමු. තථාගතයන් වහන්සේ එම කරුණු ජානුස්සෝනි බමුණාට දේශනා කළ සේක. මෙලොව යම් කෙනෙක් කාමයන් හී පහව ගිය රාග ඇත්තේ, පහව ගිය ඡන්ද ඇත්තේ, පහව ගිය ප්‍රේම ඇත්තේ, පහව ගිය පරිදාහ ඇත්තේ, පහව ගිය තෘෂ්ණා ඇත්තේ වෙයි. යම් ලෙසකින් (බලාපොරොත්තු නොවූ අයුරින්) ස්වකීය කයෙහි දැඩි වූ තීව්‍ර වේදනා සහිත රෝගයක් හටගෙන උත්සන්න වෙයි. එයින්ම කලුරිය කිරීමට කාරණා වන්නේ වෙයි. එහෙත් ඔහුට පි‍්‍රය වූ කාම සම්පත් මා අත්හැර යයි, මටද පි‍්‍රය වූ කාම වස්තු අත්හැර යෑමට සිදුවෙතැයි සිතක් පහළ නොවෙයි.දීර්ඝ කාලයක පටන් කාමයන්හි ආස්වාදය, ආදීනවය, නිස්සරණය මනාසේ අවබෝධ කරගත් නිසයි. වැඩූ සිත් ඇති ශ්‍රාවකයා කාම වස්තු අත්හැර යෑමට සිදු වූවැයි ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. ළය පැහැර විලාප නොකියයි. මුළාවට පත් නොවෙයි. මෙය මරණයට බිය නොවන, ත්‍රාසයට පත් නොවන පළමුවැනි කරුණ වෙයි.
කයෙහි යථා ස්වභාව මෙනෙහි කරන ශ්‍රාවකයා නොයෙක් නයින් ශරීර කූඩුව විමසා බලයි. දෙතිස් අසුබ කොට්ඨාස ආකාරයෙන් බලයි. එවිට ශුභ නිමිත්ත ප්‍රහීණ වෙයි.සතර මහා ධාතු (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) වශයෙන් කොටස් කර නුවණින් විමසා බලයි. ආදීනව පිරික්සා බලයි. ආබාධයන්ගෙන් රෝගයන්ගෙන් විනාශවන දෙයක් ලෙස වටහා ගනියි. හිමියකු නැති දෙයක් ලෙස තත්ත්වාකාරයෙන් අවබෝධ කරගනියි. මෙසේ කලකිරීම බහුල කොට වඩයි. එවිට ක්‍රම ක්‍රමයෙන් යොබ්බන මදය, නීරෝගි මදය, ජීවිත මදය ප්‍රහීණ වෙයි. අකුසල් කිරීමට බිය වෙයි. ජාතිය පහළවීමට (ඉපදීමට) නොකැමැත්තේ වෙයි. ජරා, ව්‍යාධි මරණයට පත්වෙන කය කෙරෙහි පහව ගිය රාග ඇත්තේ වෙයි. පහව ගිය ප්‍රේම ඇත්තේ වෙයි. පහව ගිය පරිදාහ ඇත්තේ වෙයි. තෘෂ්ණාව ප්‍රහීණ වෙයි. කිසියම් ව්‍යාධියක් හටගෙන මරණාසන්න වූවත් ශෝක නොවෙයි. පි‍්‍රය වූ කය මා අත්හැරයයි, මට ද පි‍්‍රය වූ කය අත්හැරීමට සිදුවෙතැයි ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. ළය පැහැර පැහැර නොහඬයි. මුළා නොවේ. බිය නොවන තැති ගැන්මට පත් නොවන, දෙවැනි කාරණය මෙය වන්නේ වෙයි.
තවද ආර්ය ශ්‍රාවකයා සසර බිය දකිමින් පවෙන් තොරව පිරිසුදු සිතින් යුතුව කල්‍යාණ දහම් මනාව වඩයි. අඛණ්ඩව සීලාදී ගුණදහම් පූර්ණ කරයි. දානාදි පින්කම්වල නිරත වෙයි. තමාද සිල්වත් වෙයි. අන් අයද සමාදන් කරවයි. සමාධිය වඩයි. අන් අයටද වැඩිය යුතු මඟ කියාදෙයි. මෙලෙස සප්ත ආර්ය ධනයෙන් පෝෂණය වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කොට වඩයි, හික්මෙයි, සමාදන්වෙයි. නොපිරිහුණු ශීලය පරිපූර්ණ කරයි. නොපිරිහුණු සමාධිය පරිපූර්ණ කරගැනීමට උත්සාහවත් වෙයි. නොපිරිහුණු ප්‍රඥාව පරිපූර්ණ කරගැනීමට විදසුන් වඩයි. මෙලෙස, සතිපට්ඨානය භාවිතයෙන් බහුල කොට වඩයි. තම ජීවිතයට මහත් වූ ආරක්‍ෂාවක් සිදු කරගනියි. ලාමක අකුසල් දහම් ප්‍රහීණ කරයි. නූපදීම පිණිස විර්යය කරයි. මනා සිහිනුවණින් වාසය කරයි. එහිදී එක්තරා රෝගයක් වැළඳී කය දුර්වල වෙයි. ගිලන් භාවයට පත්වෙයි. ඔහුට මෙවන් සිතක් ඇතිවෙයි. මම දිර්ඝකාලයක් තිස්සේ පාපයෙන් සිත මුදවාගෙන කල්‍යාණ දහමේ සිත හැසුරුවෙමි, කුසල් සිත බොහෝ කොට වැඩුවෙමි, කිලිටිකම් නොකළෙමි, මහත් වූ රැකවරණයක් ඇති කරගත්තෙමි, පරලොව ගතිය සුගති වේයැයි නිශ්චිතව දැන ගත්තෙමි යැයි සිතයි. එබැවින් හේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප අඳෙීනා නොකියයි. මුළානොවෙයි. මරණයට බිය නොවන, සන්ත්‍රාසයට පත්නොවන තෙවැනි කරුණ මෙය වන්නේ වෙයි.
මනා ලෙස පුරුදු පුහුණු කළ සිත තෙරුවන් කෙරෙහි ස්ථිර වෙයි. සුපතිට්ඨ වෙයි. අචල ශ්‍රද්ධාවට පැමිණෙයි. බුද්ධාදී උතුමන් කෙරෙහි සැක නැතිවෙයි. ශාසන සද්ධර්මයෙහි නිෂ්ටාවට පැමිණියේ වෙයි. අසරණ, අනාථ භාවයට පත්නොවෙයි. සතර අපායට වැටෙන කළු කර්ම වලින් මිදුණේ වෙයි. පස් කඳෙහි උදය වය දකිමින් වාසය කරයි. මිථ්‍යා දෘෂ්ඨියෙන් වෙන්වෙයි. සම්මා දිට්ඨියට පත්වෙයි. ඒකායන නිවන් මාර්ගයට බැසගත්තේ වෙයි. අධිසීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙන් යුතුව සිත පවත්වා ගනියි. ලෝකෝත්තර මඟඵල නුවණට පත්වෙයි. ත්‍රිවිධ සංයෝජන ප්‍රහීණ වූවේ වෙයි. ආර්ය භාවයට පත් වූයේ මහත් පී‍්‍රතියෙන් කල්ගත කරයි.
එවන් අවස්ථාවක දළ රෝගයකින් කය ගිලන් වෙයි. රෝගය උත්සන්න වෙයි. මරණාසන්න අවස්ථාවට පැමිණෙයි. එහෙත් ඔහුට මෙබඳු සිතක් ඇතිවෙයි. මම බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ කෙරෙහි සැක නැතියෙමි. විචිකිච්ඡා නැතියෙමි, ශාසන සද්ධර්මයෙහි පිළිසරණ ලබා ගත්තෙමි. සතර අපා දොරටු වසා ඇත්තෙමි. ඒකාන්ත වශයෙන් සසර දුක් කෙළවර කරගත්තෙමියි සිතයි. එබැවින් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. දාහයට පත් නොවෙයි. අතින් ළය පහරමින් නොහඬයි. මුළාවට පත් නොවෙයි. මෙයද මරණාසන්නයේ දී බිය නොවන සන්ත්‍රාසයට පත් නොවන සතරවෙනි කාරණය වෙයි.
මෙම සතර දහම් දේශනා කරන කල්හි ජානුස්සෝනි බමුණා තම මතය, දිට්ඨිය, වාදය බැහැර කොට අසරණ භාවයෙන් මිදි සරණ භාවයට පත්වූයේ ය. බුදුපියාණන් වහන්සේ ඉදිරියෙහි වැඳගෙන, මා අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා’යි ප්‍රකාශ කළේ ය. මෙම සතර දහම් කරුණු ඔබත් පුරුදු පුහුණු කොට සසර දුකින් මිදීමට අප්‍රමාදව කටයුතු කරන්න.
තවද වැඩූ සිතේ අසිරිය කියා පාමින් බුදුපියාණන් වහන්සේ මහානාම ශාක්‍ය පුත්‍රයාට දෙසූ දහම් කරුණක් සිහිපත් කරමි. එකල භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. මහානාම ශාක්‍ය පුත්‍රයා පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ සැළ කළේ ය. “භාග්‍යවතුන් වහන්ස, මේ කිඹුල්වත්නුවර සමෘද්ධිමත්ය. රන් අබරණින් පිරුණේ වෙයි. මන වඩන ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. මම ද භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොට හෝ කුසල් සිත වඩන ශ්‍රමණයන් වහන්සේ කෙනෙකු ඇසුරු කොට හෝ සවස් කල කිඹුල්වත්පුරයට පිවිසෙන විට විවිධ අය සමඟ එක්වීමට සිදුවන්නේ ය. කෙසේද යත්, නොසන්සුන්ව හැසිරෙන ඇතකු සමඟ එක්වීමට සිදුවෙයි. අශ්වයකු, රථයක්, කරත්තයක් හෝ නොසන්සුන් අවිනීත පුරුෂයකු සමඟ එක්වීමට සිදුවෙයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇතිකරගත් ප්‍රසාදය, සිහිය මුළා වේ. දහම් අරැබ සිහිය මුළා වේ. මහා සඟරුවන කෙරෙහි පැවැති සිහිය මුළා වේ. මට මෙබඳු සිතක් පහළ වෙයි. එබඳු මොහොතක මා කලුරිය කරතොත්, මාගේ ගතිය කුමක් වන්නේද, පරලොව කුමක් වන්නේ දැයි සැකයක් මතු වෙයි. මා හට එය විසඳා දෙන සේක්වා.”
“මහානාම බිය නොවන්න. තැතිනොගන්න, ඔබගේ මරණය අලාමක වන්නේ ය. කෙසේද යත්, යම් ශ්‍රාවකයකු විසින් දිගු කලක් අඛණ්ඩව හාත්පසින් සැදැහැ සිත වඩනා ලද්දේද, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන් සහ ප්‍රඥාවෙන් හාත්පසින්ම භාවිත සිතක් ඇති කරගන්නා ලද්දේ වේද, (සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤාවෙන්) සුපතිට්ඨ වූයේ වේද ඔහුට බියවීමක් නැත්තේ ය. සතර මහා භූතයන්ගෙන් සැදුණා වූ, සොහොනෙහි දමන ලද (මව්පියන්ගේ එක්වීමෙන් උපන්, ජරාවෙන් නිරතුරු වැගිරීයන, ආහාරයෙන් උස් මහත්ව වැඩුණු, පිළියම් කටයුතු ඇති, බිඳෙන වැනසෙන ස්වභාවයෙන් යුක්ත වූ ) කුණු කය කවුඩෝ ද කති. උකුසු, ගිජුලිහිණි, සුනඛ, සිවල් ආදී විවිධ ප්‍රාණීහු කා දමති. ඇට කටු ද පොළොවට පස්වෙයි. එහෙත් දහම් පසකින් (ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා) දිගු කලක් හාත්පසින් වඩන ලද කුසල් සිත උඩුහුරුව යන සුළු වෙයි. විශාරද භාවයට ම පත්වෙයි. මහානාම, බියනොවන්න. බලවත් පුරුෂයෙක් ගිතෙල් හෝ තෙල් කළයක් රැගෙන ගැඹුරු දිය වළකට බස්වා බිඳින්නේ වේ. එම ජලය මත ගිතෙල් හෝ තෙල් පාවී යන්නේ යම්සේද, උඩුහුරුව යන සුළු වූයේ වේද, එලෙස දිගු කලක් දහම් පසකින් වැඩූ සිත මුළා නොවේ. වික්ෂිප්ත නොවේ. උඩුහුරුව විශාරදව නැඟෙන්නේ වෙයි. මරණය ලාමක නොවන්නේ ය. එබැවින් මහානාම බිය නොවන්න.”
ඔබත් ඉන්ද්‍රිය අරමුණුවල ගිලන් වන සිත, අවිවේකී සිත, ලාමක භාවයට පත්වෙන සිත මනා සිහිනුවණින් සෝභන වූ කුසල දහම්හි යොදවන්න. එයින් ලෝකෝත්තර සුවයට පත්වීමට අවැසි අධිෂ්ඨාන වීර්යයෙන් කටයුතු සම්පාදනය කර ගැනුමට හැකිවේවා! තෙරුවන් සරණයි..!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤