දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරදුන් පෙන්වා වදාළ උත්තම මාර්ගය


2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.


මේ වෙසක්‌ සමයයි. මුළු බොදු ලොවම බුදුරජාණන් වහන්සේ ගැන වඩාත් සිතන්නට පෙළඹෙයි. උන්වහන්සේ පෙන්වා වදාළ ධර්මය ජීවිතවලට සමීප කරගන්නට උත්සාහ ගනු පෙනේ. මෙවන් සමයක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු කරවනු වස්‌ ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්නට මෙම බෙහෙවින්ම යෝග්‍ය කාලය බව හැඟේ.

බුදුදහම සනාතන දහමකි. එය බුදුන් වහන්සේගේ ධර්මාන කාලයෙහි යම් වලංගු භාවයක්‌ තිබුණේ ද එම අකාලික වලංගුභාවය අද මේ විසිවැනි සියවසටත් එපරිද්දෙන්ම උචිතය. එදා මෙන්ම අදටත් එහි ඇති සාංදෘෂ්ඨික භාවය විවාදාපන්න නොවේ. අන්ධානුකරණයෙන් නොව, සැබෑ විමංසනශීලී බුද්ධිපරිපාටවයකින් යුතුව ධර්මය පුහුණු කිරීමක යෙදෙන්නේ නම් අද වුවද, සැකසංකාවකින් තොරව, ධර්මයේ සාංදෘෂ්ඨික පළ නෙළිය හැකිය. මාර්ගඵල ප්‍රතිලාභ අත්දැකීමකට භාජනය කරගත හැකි ප්‍රාසාංගික වටාපිටාවක්‌ අප සැම ඉදිරියෙහි විද්‍යාමානව තිබෙන බවට ජීවමාන විසඳුම් අපේ රටෙන් මෙන්ම බුරුමය, තායිලන්තය ආදී දකුණු ආසියාතික බෞද්ධ රටවලින් ද අප අසා ඇත්තෙමු. තායිලන්තයෙන් ලද නව්‍යමය වූ සිද්ධිවාචක නිදසුන නම්, "මයි චී කයිව් නම් සිල්මාතාව" පිළිබඳ භික්‌ඛු සීලරතනෝ නම් හිමිනමක්‌ ලියා පළ කර ඇති, "මෑත කාලයේ පහළවූ රහත් තෙරණිය නමින්" පෞරාණික බුද්ධංගල වන සෙනසුනෙහි භික්‌ඛු ආනන්ද නම් භාවනා යෝගී යතිවරයාණන් විසින් සිංහලට ද පරිවර්තනය කර ඇති ඇගේ සත්‍යමය වූ චරිතාපදානයයි. ඊට අනුකූලව ඇගේ ආරම්භය දස සිල් මාතාවක්‌ වූ උපාසිකාවක ලෙස අතිශය දුෂ්කර වූ අනෙකවිධ ව්‍යසනයන්ට මුහුණදී ජීවිත අත්දැකීම් ලැබූ නූතන පටාචාරවක බඳු ථෙරීගාතාවක්‌මය. ඇය ලබාදෙන පණිවුඩය බෙහෙවින්ම ජීවමානය, අතිශයින්ම ගැඹුරුය. අර්ථ පූර්ණය. ධර්මයෙහි මැනවින් හැසිරෙන, එයම ජීවිතය කොට ගාම්භීරව හා බරපතළ ලෙස සන්සුන්ව ගන්නා භික්‍ෂු - භික්‍ෂුණියකට පමණක්‌ නොව, එබඳු ගිහි උපාසක-උපාසිකාවකට ද ධර්මයෙහි සාන්දෘෂ්ඨික ඵල මෙම ගෞතම බුදුරදුන් සමයෙහිම ලබාගැනීමෙහි උත්කෘෂ්ඨ වූ පරම භාග්‍ය තවමත් විද්‍යාමාන වන බව නොවේද? ශ්‍රද්ධාව හා ධීරත්වය පිරුණු මේ රසවත් කතන්දරය අපට කියාපාන්නේ· ශ්‍රී ලාංකික හැම කාන්තාවක විසින්ම මෙම චරිතාපදානය කිවයුතු යෑයි අපට හැඟේ.

1901 දී ඉපිද 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවක වූ ඇය, අදත් පිරිසිදුව පවතින මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාව අනුව පිළිපැද සසරින් නිදහස්‌ විය හැකි බවට ලබාදෙන්නේ ප්‍රබල සාක්‍ෂියකි. අප අසා ඇති පරිදි මෙබඳු ජීවමාන සාක්‍ෂිවලින් පිරි චරිත අප රට තුළ ද බෙහෙවින් විරළව අසන්නට ලැබෙන්නේ, එබඳු උත්තම පුද්ගලයන් සිදුවිය යුතු පරිදිම මුනිවත රකින නිසාමය. මාන රාග උපාදානයන් සපුරාම සමුච්ඡේදයෙන් ප්‍රහානය කළ එබඳු උතුමෝ ලෞකික තත්ත්වයෙන් මිදුණේ, ජනප්‍රියතාව නොතකති. උපේක්‍ෂාව පිරිණු එබඳු උතුමෝ ලෝක ධර්මයන් සමත්‍රික්‍රමණය කරති. අපේ වන සෙනසුන්වල මෙන්ම, ග්‍රාමීය විහාරස්‌ථාන වල ද එබඳු උතුමන් පහළව නිරාමිෂ ජීවිතවලින් නිලීනව සමුගන්නා අප්‍රකට මගඵල ලාභීන් මලිය දේව මහරහතන් වහන්සේගෙන් පසු කෙතරම් නම් මේ පින්බිම තුළ පහළව නිවී සැනසී යන්නට ඇත්ද? ධර්මයේ සාංදෘෂ්ඨිකතාව පිළිබඳ බරපතළ ලෙසටම සවිඥනකව දැනෙමින් පවතින අපට නම් ඒ පිළිබඳ අංශු මාත්‍ර සැකයක්‌ කිසිදිනක නොතිබිණි.

පන්සාළිස්‌ වසරක මහා බුදු මෙහෙවර තුළ උන්වහන්සේ මානව යුතුකම් ගැන බෙහෙවින් දේශනා කර වදාළහ. අයිතිවාසිකම් ගැන කතා කළේ ඉතාම අල්ප වශයෙනි. ඉන් පළමු කොට දැඩිව අවධානය යොමු කළේ තමාට තම යුතුකම් ඉටු කිරීම පිළිබඳවමය. එය ආත්ධ්‍යාත්මික යුතුකම් මෙන්ම භෞතික යුතුකම් ලෙස ද ප්‍රකටව හඳුනාගත හැකිය. ඉන් අනතුරුව මෙම දෙඅංශයෙන්ම පොදුවේ තමන්ගේ කමින් ද ඉන් පිටස්‌තරව ද තම යුතුකම් ඉටු කිරීම පිළිබඳව කේන්ද්‍රීය වූ දහමක්‌ මෙබඳු වෙසක්‌ සමයක බුදුරදුන් ලොවට උගන්වා වදාළහ.

බුදුරජාණන් වහන්සේ සියලු කායික මානසික රෝගයනට පිළියම් කළ සියලු වෙදවරුනට පහන් ටැඹක්‌ වූ මහා භේෂඡ්ඡ්‍ය ගුරුවරයාණන් වූහ. උන්වහන්සේ සැමට ලබාදුන්නේ කිසි දිනකවත් පරණ නොවන, අලුත් නොකළ යුතු නියත විධානයක්‌ බඳු බෙහෙත් වට්‌ටෝරුවකි. එය මිනිස්‌ වර්ගයාට පමණක්‌ නොව දෙව්-බඹුන්ට ද සමසේ සාධාරණය. එය දාන සීල භාවනා ලෙසටත්, සීල සමාධි ප්‍රඥ ලෙසටත් ප්‍රකටය.

මෙම බෙහෙත් වට්‌ටෝරුව වඩාත් ඵලදායක ලෙස වළඳින්නට නම් මූලික වූ පෙර සුදුසුකමක්‌ ලබාගැනීම බෙහෙවින්ම ඵල සහිතය. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාර්ග උපදේශකයාණන් ලෙස හඳුනා ගැනීමත්, ඒ අවබෝධය පෙරටු කරගත්, අර්හත් බීජයන් තමා තුළ පවතින බව නුවණින් යුතුව තේරුම් ගැනීමත්, විශ්වමය අතෘප්තිකරතාවයෙන් හෙවත් දුකෙන් මිදීම සඳහා අප හැම තුළ බරපතළ ශක්‍යතාවන් ඇති බවත් වටහා ගැනීම මෙහිලා බෙහෙවින් වැදගත්ය. ඒ සමගම බුදුරජාණන් වහන්සේ තුළ සම්භාවිතව තිබූ උත්තම සුදුසුකම්වලින් අපිදු පියවරින් පියවර පරිපූර්ණ වෙමින්, ඉවසීම, නිර්භීතභාවය, මහා කරුණාව හා මහා ප්‍රඥාව අපේ ධර්ම මාර්ගය බවට පත් කරගන්නා බවට අධිෂ්ඨාන පූර්වකව සඵතවීමය. මේ ස්‌වයංජාත අවබෝධයෙන් තොරව කෝටි වාරය්ක ඔබ "බුද්ධං සරණං ගච්ඡාමි" යෑයි පුන පුනා කීව ද, ඔබ නාමික බෞද්ධයෙක්‌ මිස සැබෑ බෞද්ධයෙක්‌ නොවන බව වටහාගත යුතුය. මේ අවබෝධය ලබාගැනීම තමාට තමා යුතුකම් ඉටුකිරීමේ පළමු පියවරය.

ධර්මය සරණයැම යනු ස්‌වභාවධර්මයේ නීතිය, පැවැත්ම නුවණින් වටහා ගැනීමත්, එහි යථාර්ථීය ස්‌වභාවය වූ ඇතිවීම, පැවැත්ම හා නැතිවීම ඔබ තුළින් මෙන්ම ඔබ අවටින් ද දකින, අසන, දැනෙන, රසබලන, හැපෙන හා සිතෙන හැම දෙයක්‌ තුළින්ම අවබෝධ කරන්නට උත්සාහවත් වෙමින් ඒ පිළිබඳ දැනුවත්ව වාසය කිරීමය. මෙම වටහා ගැනීමෙන් තොරවූ සිතකට ධර්මයේ පිහිට ලැබේවිදැයි නුවණින් යුතුව විමසිලිමත් විය යුතුය. "ධම්මං සරණං ගච්ඡාමි" යෑයි මුළු ජීවිතය පුරාම හඬගා කීවද ඔබට ධර්මයේ සනාතනික ආරක්‍ෂාව ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතය. මෙම අවබෝධය නොවෙනස්‌ වන පරිදි අචලව අප සිත් සතන් තුළ පහළ කර ගැනීම තමා තමාට යුතුකම් ඉටුකිරීමේ දෙවන පියවරය.

සඟ සරණ යැම යනු, ඉහත කී යුතුකම් සැපිරූ, සපුරණ හා සපුරන්ට පතන අතීත, වර්තමාන හා අනාගත සත් පුරුෂ සාධුජනතාව තම ජීවමාන ආදර්ශ පිණ්‌ඩය සේ පිළිගැනීමය නොහොත් ඔවුන් තම මාර්ගදේශකයන්සේ මහත් ප්‍රබෝධයෙන් යුතුව වැළඳ ගැනීමය. ඔවුහු අපට මඟ පෙන්වන්නෝය. මේ ධර්ම මාර්ගය පිළිබඳ පූර්ණ විශ්වාසය අප තුළ ජනිත කරවන්නෝය. ඔබ-අප සැමට ජාති ජරා මරණ විරහිත සැබෑ මිදීම පිළිබඳ විශ්වාසය ද, එම හැකියාව පිළිබඳ පූර්ණ තෘප්තිමත්භාවය ද අප තුළ ඇති කරවන්නෝය. එබඳු උත්තමයන් සරණ යැම "සංඝං සරණං ගච්ඡාමි" යන්නෙහි සැබෑම අරුතය. මෙම අවබෝධයෙන් පොහොසත්වීම තමා තමාට යුතුකම් ඉටුකරවාලීමේ තුන් වන පියවරය.

මෙම සත්පුරුෂ පදනමෙහි අක්‌මුල් දැඩිව අල්ලාගන්නා ශ්‍රද්ධාවන්තයෙක්‌ නිරතුරුවම මෙම ධර්ම මාර්ගයට අවතීර්ණ වෙයි. අමුතු මෙහෙයීමක්‌ හෝ පෙළඹවීමක්‌ අවශ්‍ය නැත. අදාළ ද නොවේ. ඔහු හෝ ඇය නිතැතින්ම මෙලොව ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියන්නෙක්‌ වන අතර, දුක-සැප, ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, යස-අයස නොබිඳුණු සිතින් භාරගන්නා, උපේක්‍ෂාවෙන් ආශිර්වාද ලබන අධ්‍යාත්මික මනුෂ්‍යයකු බවට සැබැවින්ම පත් කරවනු ලබයි. දාන, සීල, භාවනා ඔහුගේ ජීවිතය අලංකාර කරන අමිළ ආභරණ බවට පත්වෙයි. සීල සමාධි ප්‍රඥ ඔහුව උත්තම මනුෂ්‍යයෙක්‌ බවට පත් කරන සෝපානයක්‌ වෙයි.

මෙම උත්තම මාර්ගයෙහි නොවලස්‌ව ගමන් කරන්නකුට මෙලොවදීම ලබාගත හැකි වෙනත් අධිගමයක්‌ තවත් තිබිය හැකිද? මෙලොව සියලු යහපත ලබන ඔහු හෝ ඇය නිවී සැනසී ගිය කෙනෙක්‌ බවට ද සාකල්‍යයෙන්ම පත්වෙයි. ඒ තුළින් ධර්මයෙහි සාංදෘෂ්ඨික ඵල ලබාගත්තෙක්‌ම නිර්මාණය කරවනු නියතයි.


ආචාර්ය තවලම ධම්මික හිමි, 
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය

සිල්මාතා කායිව්
මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය