දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුදහමේ විශේෂත්වය හා විචිත්‍රත්වය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

ක්‍රි. පූ. 6 වෙනි සියවසේ අද වැනි උතුම් පුරපසළොස්‌වක පොහොය දිනයක භාරතයේ සියලු ආගමික මතවාද, දෘෂ්ඨින් අභිභවනය කරමින් නවතම දර්ශන මාර්ගයක්‌, එම දර්ශනය සාක්‍ෂාත් කරගත හැකි උතුම් මෙහෙවරක්‌ හා ඒ සඳහා අත්‍යවශ්‍ය කාලරාමුවක අවශ්‍යතාවක්‌ ඉතාමත් පැහැදිලිව අනාවරණය කරමින් බුදු දහම ප්‍රභවය වුණි. ඒ තුළ ප්‍රධාන වශයෙන් අංශ දෙකක්‌ දැකිය හැකිය.

1. ලැබු සහ ලබන්නා වූ ජීවිතවල සුගතිගාමී බව උදාකර ගැනීම

2. සියලු සසර දුක්‌ නිමාකොට සදාකාලික සැනසුම උදාකර ගැනීම

මේ අතුරින් බුදු දහමේ පරමාර්ථය වන නිර්වාණාවබෝධය ඉලක්‌ක කර ගත් ජීවන ප්‍රතිපාදවක අවශ්‍යතාව විශේෂයෙන් අවධාරණය විය යුතුය. වර්තමානයේ, නිර්වාණාවබෝධය පසෙක තැබූ, මරණින් පසු ලැබිය යුතු ප්‍රාර්ථනාවක්‌ බවට පත් කර ගනිමින් ලෞකික ලෝකයේ ඉෂ්ඨාර්ථයන් සාධනයට පමණක්‌ වඩා වැඩි අවධානයක්‌ යොමු වී ඇත. අතිබහුතරයක්‌ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ ද රටේ තැනින් තැන ජනප්‍රියතාවයෙන් කෙරෙන විවිධ දේශනාවන්ගෙන් ද, ඒ ලොව්තුරා සම්බුදු වදන, පෙළ අටුවා, ටීකා පාදක කරගෙන දේශනා කිරීමක්‌ නොව ගිහි ජීවිතයක පැන නගින දෛනික ගැටලු, සැඟවිය යුතු කරුණු, ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතු කරුණු, තවත් කෙනකුට, තවත් පිරිසකට පහර වදින කරුණු හා නව තාල ක්‍රම අනුව දේශනා කරන කවි ගී ගායනා කිරීමයි. නමුත් බුදු දහමේ පරමාර්ථය හා ඊට යොමු විය යුතු ප්‍රතිපදාව, මාර්ග පිළිබඳව කාලෝචිතව, ශාසන සම්ප්‍රදාය නොබිඳිමින්, තාක්‍ෂණික භාවිතයෙන්, නිර්මාණාත්මකව කටයුතු කිරීමෙන් මීට වඩා සාධනීය ආකල්ප පරිවර්තනයක්‌ තුළින් එදා බුදු දහම බිහිවීමේ අවශ්‍යතාව අදට වඩාත් ඵලදායක කර ගත හැකිය. එම මාවත ඔස්‌සේ ක්‍රියාත්මක වීමෙන් සද්ධර්මය අතුරුදන් නොවී ධර්මය වැනි වු දෑ ප්‍රතිනිර්මාණය නොවෙමින් රාජ්‍ය නොවන හා අන්‍ය මතවාදයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක නොවන, තත්ත්වයෙන් උත්තරීතර සද්ධර්මය යළිත් සමාජගත කරගත හැකිය.

සම්බුදුරජාණන් වහන්සේගේ මුල්ම ධර්ම දේශනාවෙන් බුදු දහමේ විශේෂත්වය විචිත්‍රත්වය පිළිබඳව ඉතා පැහැදිලිව අනාවරණය කර ඇත. විශේෂත්වය නම් දෙසැටක්‌ ආගම්, දර්ශනවාදයන් සියල්ලක්‌ම අභිභවනය කර මෙතෙක්‌ නොවූ විරූ නවතම අනාවරණයක්‌ ඉදිරිපත් කිරීමයි. "පුබ්බේ අනනුස්‌සුතේසු ධම්මෙසු...." ආදී වශයෙන් බුදු වදනින්ම එය දැක්‌විය හැකිය. පෙර නොවූ විරූ නවතම දහමක්‌ යෑයි උන්වහන්සේ පැහැදිලි කළ අවස්‌ථාවේ පටන් වර්තමානය තෙක්‌ කිසිවෙකුටත් එම ප්‍රකාශය අසත්‍යයෑයි හෝ වෙනස්‌ විය යුතු යෑයි හෝ ප්‍රකාශ කළ නොහැකි වී ඇත.

බුදුරජාණන් වහන්සේගේ එම අනාවරණය කෙටිකාලීන ගවේෂණයක ප්‍රතිඵලයක්‌ නොව සාරාසංඛෙයH කල්ප ලක්‍ෂයක්‌ ආත්මාවබෝධයකින් ලැබූවකි. එම අනාවරණය නම් " ලෝකය හා සත්ත්වයා පිළිබඳ වූ සත්‍යයයි" ම. නි. අරියපරියේසන සූත්‍රයේ සඳහන් ආකාරයට "කිං සචච ගවේෂීව" ජීවිතය මෙහෙයවනු ලැබුවේ සත්‍ය කුමක්‌ දැයි සොයා ගනු පිණිසය. එම සත්‍යය, පුද්ගලයාගෙන් පිටස්‌තර වූවක්‌ නොව, පිටසක්‌වල වූවක්‌ ද නොව පුද්ගලයා හා ලෝකය පිළිබඳව වූ සත්‍යයයි. එනම් සියල්ල පටිච්චසමුප්පන්න වීමත්, අනිත්‍ය, වෙනස්‌ වන, විපරිනාමයට පත්වීමත් එබඳු දෑ උපාදානය කර ගැනීම (දැඩිව ඇල්ලීම) දුකක්‌ බව, මමය, මාගේය, මාගේ ආත්මය ය වශයෙන් ගැනීම මායාවක්‌ බවත්ය. මේ සත්‍ය හඳුන්වන්නේ "අරියසච්ච" නමිනි. අරිය සච්ච" යෑයි සොයාගත් වෙනත් සත්‍යයක්‌ නැත. බුදුරජාණන් වහන්සේ හැර අරිය සච්ච සොයාගත් වෙනත් ආගමක්‌ හෝ දර්ශනයක්‌ හෝ ශාස්‌තෘවරයෙක්‌ නැත. එම ආර්ය සත්‍යයා ලෝකය විනාශ වූවද පවතී. එම සත්‍යයට දේශ දේශන්තර හෝ කාල, පුද්ගල වශයෙන් හෝ සංශෝධනයක්‌ නැත. සැමදා, සෑම තැන, සැමට සාධාරණ වූ සුවිශේෂී සත්‍යකි. එම ආර්ය සත්‍ය සතරාකාරයෙන් දැක්‌වෙන තැන "චතු අරිය සච්ච" නමින් හැඳින්වේ. එනම් චතුරාර්ය සත්‍යයයි. එහි දුක්‌ඛ අරිය සච්ච" යනුවෙන් විස්‌තර වන්නේ "පරිඤ්ඤෙයH" යන වචනය මූලික කරගෙනය. එනම් දුක කුමක්‌ දැයි සර්වප්‍රකාරයෙන් දැන ගැනීමයි. නිර්වාණාවබෝධය පිණිස වු මේ ප්‍රතිපදාවේ මුල්ම කාරණය වන්නේ දැන ගැනීමයි. දැන ගැනීමද, කුමක්‌ හෝ ලුහුඬින් හෝ නොව සත්‍ය, සර්වප්‍රකාරයෙන් දැන ගැනීමයි. ලෞකික ජීවිතයේදී පුද්ගල හෝ සමාජ හෝ ජාතික හෝ ජාත්‍යන්තර හෝ ගැටුම් නිරාකරණයේ මුල්ම පියවර සියල්ල මැනවින් දැන ගැනීමයි. භයානක සංසාර ඕඝයෙන් එතරෙ වීම සඳහා ද සියල්ල දැනගත යුතුය. මෙහි සියල්ල යනු ඉන්ද්‍රීය හා අරමුණුය. උපත, (නිෂ්පාදනය) පැවැත්ම, දිරායාම, මරණය (විනාශය) කැමති දෑ නොලැබීම, වශයෙන් වු සියල්ල පිළිබඳව හාත්පසින්ම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. "දුක්‌ඛ" යන්නෙහි වර්තමානයේ දෘශ්‍යමාන තත්ත්වය වන්නේ, ජාති (උපත) ජරා (වයසට යාම) ව්‍යාධි (ලෙඩවීම) මරණ, සෝක පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස උපායාස ආදියයි. මේ වර්තමාන තත්ත්වයන්ට ආසන්න හේතුව "භවය" ය. මෙහි "භවය" යනු උප්පත්තිස්‌ථානයයි. කාම, රූප, අරූප වශයෙන් එය ත්‍රිවිධය. භවය නිර්මාණය වීමට ආසන්න හේතුව උපාදානය හෙවත් මනසින් දැඩිව අල්ලා ගැනීමයි. උපාදානයට ආසන්න හේතුව තෘෂ්ණාවයි. එය කාම, භව, විභව වශයෙන් තෙවදෑරුම් ය. තෘෂ්ණාව කාම භව විභව වශයෙන් හටගන්නේ ස්‌පර්ශය හේතුවෙනි. ස්‌පර්ශය යනු ඇසට රූප, කණට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට සිතුවිලි වශයෙන් ඉන්ද්‍රීය හා අරමුණු ගැටීමයි. ස්‌පර්ශ ඇතිවීමට මූලික හේතුව සළායතනයයි. සළායතන යනු ඇස, කණ, නාසය, දිව, කය මනස යන ඉන්ද්‍රිය හය ය. සළායතන බිහිවීමට මූලික හේතුවක්‌ වන්නේ නාම රූපයයි. නාමරූප යනු රූප, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන්නයි. නාම රූප සම්භවයට මූලික හේතුවක්‌ වන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණය යනු ඉන්ද්‍රීය හා අරමුණු ගැටීමෙන් සිදුවන්නා වූ චිත්ත ප්‍රවාහයයි. විඤ්ඤාණය ඇතිවීමට මූලික හේතුව සංඛාරයයි. සංඛාර යනු කුශලාකුසල වශයෙන් අභිසංස්‌කරණයන්ට ලක්‌කිරීමයි. සංඛාර හටගන්නේ අවිද්‍යාව මූලික කරගෙනය. අවිද්‍යාව යනු ත්‍රිලක්‍ෂණය, චතුරාර්යසත්‍ය වශයෙන් වූ සත්‍ය නොදැනීමයි. නොදැකීමයි. අවිද්‍යාවටද හේතුවක්‌ ඇත. එනම් පංචනීවරණයයි. මේ ආදී වශයෙන් පුද්ගලයා හෝ ලෝකය සම්බන්ධ සත්‍ය පුද්ගලයා වෙතම පැවරී ඇති බව වටහාගත හැකිය. එහෙයින් පුද්ගලයා සත්ත්වයා යනු දෙවියන්ගේ නිර්මාණයක්‌ හෝ කැමැත්තක්‌ හෝ නොව තම තමන්ම කාය, වචන, සිත මෙහෙය වූ ආකාරය අනුව උරුම වන්නකි. බුදු දහමේ විශේෂත්වය වන්නේ පුද්ගලයා, සත්ත්වයා භවය, සසර තම තමන්ගේ නිර්මාණයක්‌ වන හෙයින් තමාගේ ගැලවුම්කරුවා, භව නිරෝධකයා තමාම යයි දක්‌වමින් ස්‌වයං ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂඥාන ගවේෂණ ක්‍රියාවලියකින්ම විමුක්‌තිය සලසා ගත යුතු බවයි. ඒ සඳහා නිර්දිෂ්ඨ ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එබඳු ප්‍රතිපදාවක්‌ කිසිදු ශාසනයක හෝ ශාස්‌තෘවරයෙකු විසින් අවධාරණය කර නැත. බුදු දහමේ විශේෂත්වය හා විචිත්‍රත්වය මේ මූලික ඉගැන්වීම තුළ ප්‍රකට වන ප්‍රධාන කාරණා දෙකක්‌ ඇත.

1. තමාගේ මැවුම්කරුවා තමාම බව

2. තමාගේ ගැලවුම්කරුවා තමාම බව

මේ ආර්ය සත්‍ය අනාවරණය කළ බුදුරදුන් තුළත් එම ආර්ය සත්‍ය තුළත් ඇති විශේෂත්වය හා විචිත්‍රත්වය වෙනත් ශාස්‌තෘවරයෙක්‌ සමග හෝ වෙනත් දර්ශනයක්‌ සමග තුළනය නොකළ යුතුය. එය කළ නොහැකි තරම් වූ සුවිශේෂී තත්ත්වයකි.

බුද්ධ යන රූප කාය සම්පත්තියත්, ධම්ම යන ඤාණ හා දේශනා සම්පත්තියත් සංඝ යන පරිවාර සම්පත්තියත් වෙන් වෙන් වශයෙන් ගෙන අවබෝධ කිරීමට වඩා සමස්‌තය වශයෙන් ගත් කල්හි වචනයෙන් හෝ ගුණයෙන් ප්‍රමාණ කළ නොහැකිය. 

එක්‌ නිදසුනකින් පමණක්‌ මේ බව තහවුරු කර ගනිමු. බුදු රදුන්ගේ වාග් විලාසය වනාහි මහා ආශ්චර්යමත් වුහ. පෘථග්ජන පුද්ගලයෙක්‌ එක්‌ වචනයක්‌ උච්චාරණය කරන කාලය තුළ ආනන්ද මහ රහතන් වහන්සේට වචන අටක්‌ උච්චාරණය කළ හැකිය. ආනන්ද මහරහතන් වහන්සේ එක්‌ වචනයක්‌ උච්චාරණය කරන කල්හි බුදු රදුන්ට වචන 16 ක්‌ උච්චාරණය කළ හැකිය. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙක්‌ වචනයක්‌ උච්චාරණය කරන කාල පරාසය තුළ බුදුරදුන්ට වචන 128 ක්‌ උච්චාරණය කළ හැකිය. එම විශේෂ වූද විචිත්‍රවත් වූ ද තත්ත්වයට හේතූන් බොහොමයක්‌ ඇත. සංසාරයේදී පිරූ සත්‍යපාරමිතා බල මහිමයත්, සත්‍ය දැන ගැනීම, දැක ගැනීම, අවබෝධ කර ගැනීම, අන්‍යයන්ට අවබෝධ කරවීම, ආදියත් ප්‍රාණඝාතාදී පාපකර්ම නොකිරීමත්ය. කුසල කර්ම පථ බල මහිමයෙන් සන්නිවේදනයේ සියලු ප්‍රමිතීන් අති විශිෂ්ට තත්ත්වයකින් සාධනය කරගත හැකි වුණි. තව්තිසා දෙව්ලොවදී අභිධර්මය දේශනා කිරීම තුළ මේ සන්නිවේදන විචිත්‍රත්වය මැනවින් වටහාගත හැකිය. තුන්මසක්‌ තුළ එතරම් දීර්ඝ අනුශාසනාවක්‌ ලෙස අප හට දැනුනද එය පැවැත්වූයේ විනාඩි කිහිපයක්‌ පමණි. එතරම් සුළු වේලාවකින් දීර්ඝ අනුශාසනාවක්‌ කළ හැකි වූයේ මේ විශේෂත්වය හේතුවෙනි. ඊට සරිලන ආකාරයෙන් පළල් දිවක්‌ (පහූත ජිව්හා) දත් හතළිහක්‌ (සමචත්තාලිස දන්ත) සමාන වු දත්, (සම දන්ත) අවිවර වූ දත් (අවිවරදන්ත) සිංහහනු (සීහහනු) ආදී මහා පුරිස ලක්‍ෂණ බ්‍රහ්ම ස්‌වරයක්‌ පිටවීම කෙරෙහි ඉවහල් වුණි. එම මහා පුරිෂ ලක්‍ෂණ පිහිටීමටත් ඒ තුළින් විචිත්‍රවත් වූ සන්නිවේදන කුසලතාවක්‌ ඇති කර ගැනීමටත් හැකි වූයේ සංසාරයේ පුරුදු පුහුණු කරන ලද කුසල ශක්‌ති බල මහිමයයි.

පූජ්‍ය තලහගම ඉන්දරතන හිමි
2013 මැයි 24 සිකුරාදා දිවයින