දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සිතිවිලි හා විමුක්තිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි

සිත හා සිතිවිලිවල ක්‍රියාකාරිත්වය බුදුදහම වඩාත් ඉස්මතු කොට දක්වා ඇත. බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකෘතිය වන අතර සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට පත් කෙරේ.
සිත හැදීම යනු චින්තනය සැකසීම වේ. සිතක් නැතිනම් සිතිවිලි ද නැත. සිතිවිලි හටගන්නේ සිත තුළය. සිත නිවැරැදිනම් සිතේ ඇතිවන සිතිවිලි ද නිවැරැදි වේ. සිතිවිලි නිවැරැදි නම් සිතිවිලි තුළින් ක්‍රියාවට නඟන ක්‍රියාවෝ ද නිවැරැදි බව පැහැදිලිය.

නිවැරැදි සිතින් නිවැරැදි ක්‍රියා

තමා නිරතුරුව සුදුසු ගුණයේ මෙන්ම නිවැරැදි සිතිවිලි පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද නොකළ යුතුය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරැදියට අල්වාගත් කුස තණ වැරැදි විදිහට අල්ලාගත්තහුගේ අතම කපන්නේ වේ ද වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනට ද අවැඩක්ම සිදු කරලයි.

එකඟ වූ සිතක් නැති තැනැත්තේ වසර සියයක් ජීවත්වනවාට වඩා නුවණැතිව එක් දිනක් ජීවත්වීම වැදගත් බව බුදුදහමින් අවධාරණය කරයි. පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළක්වා ගත යුතුය . පින් කිරීම කල් දමන්නාගේ සිත නිතර පාපයේ ඇලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශාවකට යොමුව තිබේ ද? යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් නිරතුරුවම පාපයට මෙම සිත නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුව ද නරකින් මුදා ලිය හැකි බව ඒ සඳහා තමා විසින් මනා අභ්‍යාසයක නිරත විය යුතු බවක් ද මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන ජල බිංදු එක් රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම් සේ ද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද පිනින් පිරෙන බව පෙන්වා දෙයි. මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්ඳෙකු උවදුරු ඇති මඟ හැරයන්නාක් මෙන්ම ජීවත් වීමට ආශා ඇත්තෝ විෂ ආහාරයෙන් වැළකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තෝ එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතිවිලි මත ක්‍රියා කළ යුතුව ඇත. භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදු වේය යන මිථ්‍යාමතය බුදුදහමින් ප්‍රතික්ෂේප වන බව ද කුසලාකුසල විනිශ්චයේදී පැහැදිලිය. අන්ධ විශ්වාස කර පින්නාගෙන කරනු ලබන දැයට වඩා සිත මුල්කොට කරනු ලබන දැයෙහි ඵලයක් හා විපාකයේ ඇති බව හා එහි වැදගත්කම බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්ව ඇති බැවින් සිත පෙරටු කරගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ විය යුතුය යන අදහස ඒ මඟින් ඉස්මතු කෙරේ. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැකගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුවම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වන අතරම මාර බන්ධනයන්ගෙන් මිදීමේ මාවත ලෙසින් ද සිත දමනය කර ගැනීම බුදුන් වහන්සේ විසින් අවධාරණය කර ඇත. “මාර බන්ධනය” යනු ඉපදෙමින් මැරෙමින් ගමන් කරනු ලබන සසරය. සසර ගමන නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාතය නැති කිරීමය. එසේනම් ඊට මුල්වනුයේ ද සිත දමනය කිරීම හෙවත් සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන්ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේඅපහසු වුව ද තමාට පිහිට තමාම වන බැවින් සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත දමනය කිරීමෙන් තමාගේ ද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේම ය. තමාට පිහිට තමාමය. කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරබයා පිහිට විය නොහැකිය.

එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය. බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන් අමතා කළ මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ දැනීම වර්ධනයට රුකුලක් වේ. එනම් “ආනන්දය ඔබේ ආලෝකය ඔබම වේවා! ඔබේ ආරක්ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍යය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.” ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් දුන් මෙම අවවාදය තුළින් ද පැහැදිලිව ගම්‍ය කරනුයේ තමා ගැන තම වැටහීමත් ඒ මඟින් තම ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමක්ය. එමෙන්ම අන් සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.
සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරැදි සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් තම සිත ද නිරතුරුව රැකගත යුතු බව දේශනා කොට තිබේ. දිය පහරවල් තිස් හයකින් සැදුම් ලත් තණ්හාව නමැති නදිය වේගයෙන් රූපාදී අරමුණු අතුරින් ගමන් කරමින් එම නදියටම අයත් රාග, විතර්ක නමැති ජලධාරා මඟින් විපරිත බුද්ධිය ඇති පුද්ගලයන් දුර්ගතිය කරා ගෙන යයි. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාව යනු සත්වයනට හැම පැත්තෙන් බිය ගෙන දෙන අරුත් ඇති පදයකි. තණ්හාව යනු ආසාව නම් ආසාවේ ස්වභාව බැඳීම වේ. බැඳීම ඇත්තා නිරතුරුව බියකින් පෙළේ. එමෙන්ම තණ්හාව වනාහි එක්තරා සුවිශේෂ ආශාවක් ලෙසින් මෙන්ම සිත හා බැදුණු සිතිවිල්ලක් ලෙසින් පෙන්වා දිය හැකි ය. එමෙන්ම සෙසු සියලු ජීවිතවලින් කැඩී වෙන් වී මම නැතහොත් අප වශයෙන් කැටිවී පවතින කොටස් මඟින් අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ඇති ආශාව තණ්හාව ලෙසින් ද අර්ථ දැක්විය හැකිය. තණ්හාව මුල් කොට ගත් කෙනෙකුගේ සිත් මෙන්ම සිතිවිලි ද අකුසල පක්ෂයේ ලා සැලකේ. මන් ද තණ්හා සහගත වූ සිතිවිලි ඇත්තන්ගෙන් නිරතුරුව තමාට මෙන්ම අනුන ට ද අවැඩක් වන බැවිනි. තණ්හාව මහා ප්‍රවාහයකට උපමා කර ඇත. මහා ප්‍රවාහය බෙහෙවින් සැඩ පරුෂය. අමිහිරිය. එහි එක් ඵලයක් වන්නේ විනාශයයි. එම සැඩ පහරට ලක්වන දෑ බොහෝය. සැඩ පහරට හසුවන සැම තැලී පොඩි වී විනාශවීම ස්වභාවිකය. එසේම තණ්හා නමැති සිතිවිලි ප්‍රවාහට මැදිවන පුද්ගලයන් ද ජල දහරාවට හසු වූ පුද්ගලයනට අත් වූ ඉරණමටම පත් වේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව ජල ප්‍රවාහයකට සමාන කරමින් දක්වා ඇත. සියලු අකුසලයනට මූලය වන්නේ ද තණ්හාවම ය. තණ්හාව නමැති ජල ධාරාවෝ සෑම තැනකම ගලායයි. එක් තැනක දී බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව වැලකට උපමා කොට ඇත. තණ්හාව නමැති වැළ සදොරින් මතුව සිටියි . එසේ හටගත් තණ්හාව නමැති වැල නුවණින් සිඳ බිඳ දැමිය යුතුබව අවධාරණය කළේය. වැලේ ස්වභාව තව ආධාරකයක් මතින් ඉහළට ගොස් එම ආධාරක ය ද විනාශ කොට තමා ද විනාශයට පත්වීමය. ගසක වෙලෙන වැල ගසේ ඉහළට ගොස් අතුපතර ද වෙලී ගසේ සාරය ද උරා ගනිමින් එම ගස විනාශයට පත් කරයි. එමෙන්ම වැලෙන් වන හානියෙන් විනාශයට පත්වන ගස මැරි දෙරණ මත ඇද වැටෙයි. ගස් වැටෙන විට ගස වසා පැතිර තිබූ වැළ ද පොළොව මතට ඇද වැටී විනාශ වෙයි. තණ්හාව ද එසේය. තණ්හා සහගත සිතිවිලි අනෙකුත් ක්‍රියාකරකම් සමඟ වෙලීයයි. තණ්හාව නම් වැල් හැදෙන ඊටම සාරය ලබා ඉන්ද්‍රියයන් හයක් ඇත. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන ආරම්මණයන් නිසා තණ්හාව නම් ලතාව හටගන්නා බවත් එම ලතාවෝ සිත හා සිතිවිලි වසා ගෙන වචන හා ක්‍රියාවන් මඟින් බාහිර ලෝකය හා සම්බන්ධ වේ. බොරුව, කේළම හා පරුෂ වචනය හා හිස්වචන ලෙසින් මෙම තණ්හාව එක් ද්වමාරයකින් එළියට එන අතර පරපණ නැසීම සොරකම, කාමයේ වරදවා හැසිරීම සංඛ්‍යාත වූ ක්‍රියාදාමයන් ඔස්සේ තව ද්වාරයකින් එළියට එයි. මෙම එළියට එන ක්‍රියාදාමයෝ වැඩදායක නොවේමය. එබැවින් මෙම ලතාව විෂ සහිතය. ඒ හා ගැටෙන සැම දෙයක්ම විනාශ මුඛයට පත් වේ. වැල නිසා ගසද නැති වී ගියේ යම් සේ ද තණ්හාව හා සම්බන්ධ වූ ක්‍රියාදාමය හසු වූ සැමදෙය ද එලෙසින්ම විනාශ මුඛයට පත් වේ. එමෙන්ම තණ්හා සංඛ්‍යාත වූ මෙම වැල මුල් අවධියේම හඳුනාගෙන සිඳ බිඳලිය හැකි නම් ඉන් වන හානිය වළකාගත හැකිය.
බුදුරජාණන් වහන්සේ මෙහිදී තණ්හාවේ මූලය සිඳලිය හැකි මාර්ගය ලෙසින් දක්වා ඇත්තේ නුවණයි. එනම් ප්‍රඥාවයි. ප්‍රඥාව යනු තණ්හාවට ප්‍රතිවිරුද්ධාර්ථයක් ඇති සිත් හා සිතිවිලිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන්නේද මෙම ප්‍රඥා තණ්හාවට එරෙහි වූ ප්‍රතිවිරුද්ධාර්ථ වූ ධර්මයක් ලෙසින් පෝෂණය කරන ආකාරය වේ. නිවැරැදි දැකීම මෙහි මූලිකංගය වන අතර යමක් දෙස නිවැරැදි ව දක්නට පුළුවන්නම් ඒ හා බැඳෙමින් නිවැරැදි සංකල්ප සිත තුළම ඇති කර ගැනීම අපහසු නොවේ. නිවැරැදි සිතක් හා නිවැරැදි සංකල්ප ඇති වූ විට නිවැරැදි වචන නිවැරැදි ක්‍රියා හා නිවැරැදි දිවි පැවැත්මකට අවතීර්ණ වීමට එම යහපත් සංකල්ප අතිශයින්ම වැදගත්ය. එමෙන්ම ගත, සිත නිවැරැදි ක්‍රියාදාමයකට යොදන විට අකුසලය නැති කරන්නට කුසලය කරා ගත , සිත යෙදීමට අදාළ පසුබිම සකස් කර ගැනීමට හැකි වන අතර සිත සන්සුන් කරන්නට සමාධි ගත කරන්නට මෙන්ම සිත හා බැදුණු ක්ලේශයන්හි මුල් එකිනෙක උදුරා දැමීමට අදාළ මානසික ස්ථාවරත්වය සකසා ගත හැකිය. භාවනාව තුළින් ඉස්මතු කරනුයේ සිත් හා සිතිවිලි පිළිබඳවහැඳින ගැනීම, වර්ග කිරීම, අනවශ්‍ය සිත් හා සිතිවිලි බැහැර කිරීම හා අදාළ සිත් හා සිතිවිලි දියුණු කිරීමට මහන්සි ගැනීමය. සිත හා සිතිවිලි නිවැරැදි ලෙසින් වටහා ගත් විට තණ්හාවේ උත්පාදන මූලයන් වන ආරම්මණ ධර්මයන්හි යථා ස්වභාවය පසක් කරගත හැකි අතර එම ධර්මයන් හා ඇලි ඇලී නොසිට එහි වෙනස්වන ස්වභාවය දුක්ඛිත භාවය හා අනාත්මීයත්වය නුවණින් දක්නට පුළුවන් වන්නේ නම් තණ්හාවේ වර්ධනයට ඇති මං සිඳලීමක්වන අතර අකුසලයට නැඹුරුවන සිත කුසලයට බර කර ගැනීමට ඇති හැකියාව දියුණු වේ. මෙබඳු වූ මානසිකත්වයක් ඇති කර ගත් පුද්ගලයා පණ්ඩිතයා ලෙසින් ප්‍රඥාවන්තයා ලෙසින් බුද්ධිමතා ලෙසින් දක්වා ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාම ධාතුවෙන් නෙක්‌ඛම්ම ධාතුවට

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සනිදානං භික්‌ඛවෙ, උප්පඡ්ජති කාමවිතක්‌කෝ නොව අනිදානං, සනිදානං උප්පඡ්ජති ව්‍යාපාද විතක්‌කො අනිදානං, සනිදානං උප්පඡ්ජති විහිංසා විතක්‌කෙ නො අනිදානං.''
'මහණෙනි, කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. විහිංසා විතර්ක ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී.
ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයට අයත් සනිදාන සූත්‍රයෙහි මුලධර්ම කොට්‌ඨාසයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් උපන් සංඥාව දුරුකරන ආකාරයත් එමගින් මෙම භවයේදීම ආයාස රහිතව, කෙලෙස්‌ දැවීම් රහිතව, සුවසේ වෙසෙන ආකාරයත් මරණින් මතු සුගතිය ලබන ආකාරයත් පෙන්වාදී තිබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්‌තර කොට දේශනා කරති. 'මහණෙනි, කෙසේ නම් කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා විතර්ක ප්‍රත්‍ය රහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද?'
''මහණෙනි, කාම ධාතුව නිසා කාම සංඥව උපදී. කාම සංඥව නිසා කාම සංකල්පය උපදී. කාම සංඥ නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදී. කාම පරිදාහය නිසා කාම පර්යේෂණාව උපදී. කාම පර්යේෂණය සොයන නූගත් පෘථග්ජන තෙමේ කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.''
අභාවිත සිත්වල කාමයෝ සකස්‌ වෙති. අභාවිත සිතක්‌ නම් සංඛත, සංඛාර වස්‌තූන් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්ව දැකීමේ අදක්‌ෂ සිතයි. නැතිනම් එසේ පුරුදු නොකරන සිතයි. කිසිදු බාහිර වස්‌තුවක කාමයෝ නොමැති බවත්, කාමයෝ සකස්‌ වෙන්නේ අභාවිත සිත් ඇතියන්ගේ සිතුවිලි හෝ සංකල්පවල බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 

'සංකප්ප රාගෝ පුරිසස්‌ස කාමෝ
න තෙ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්ප රාගො පුරිසස්‌ස කාමෝ
තිට්‌ඨන්ති චිත්‍රානි තථෙව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති චන්දන්න

'ලෝකයෙහි පුරුෂයකුට (හෝ කාන්තාවකට) සංකල්ප උපන් රාගය කාම වෙයි. යම් වූ විසිතුරු වස්‌තු වෙත් ඒවා කාම නොවෙති. පුරුෂයාගේ සංකල්ප රාගයම කාම ලෝකයේ විසිතුරු වස්‌තු ඒ ආකාරයෙන්ම වෙයි. මේ නිසාම යම් අරමුණක උපන් ඡන්ද රාගය, නුවණ ඇත්තෝ (භාවිත සිත් ඇත්තෝ) දුරු කරති. (අං.නි. නිබ්බේධික සූත්‍රය)
මේ අනුව සිතේ පවත්නා අභාවිත බව නිසා ඇසට අරමුණු වන රූපය, කණට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ආඝ්‍රණය, දිවට අරමුණු වන රසය, කයට අරමුණු වන ස්‌පර්ශය, සිතට අරමුණු වන සිතුවිලි කාම හෙවත් කාම ධාතුව බවට පත්වෙති. මේ නම් ආරම්මණ, අභාවිත සිත්වලට කාම බවට පත්වන මීළඟට සිදුවන්නේ කුමක්‌ද? අභාවිත සිතට, ගෝචර වන ආරම්මණ කාමයන් බවට පත්වීම හේතුකොට ගෙන කාම සංඥව උපදී. කාම සංඥව නිසා නැවතත් කාම සංකල්ප සකස්‌වෙයි. මෙහිදී අභාවිත සිතෙහි නිමිති, අනුනිමිති, ව්‍යඤ්ජන වශයෙන් ප්‍රත්‍ය වැඩෙන්නට සියලු දෙනාටම, එකම අරමුණක්‌ද වුවද එකම ආකාරයකින් සකස්‌ නොවෙයි. කාම සංඥව සකස්‌වීමේදීත්, කාම සංකල්ප ඉපදීමේදීත් කෙලෙස්‌ අඩු වැඩි වශයෙන් සකස්‌ විය හැකිය. යම් කෙනකුට යම් මාත්‍ර වශයෙන් අරමුණෙහි රාග, ද්වේෂාදී වශයෙන් කෙලෙස්‌ ඉපදී නොවැඩී බැහැර විය හැකිය. තවත් අයකුට රාගාදී කෙලෙස්‌ හටගෙන, එය හඳුනා ආදීනව මෙනෙහි කිරීමෙන්, තම සිතෙහි එම කෙළෙස්‌ ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී බැහැර කිරීමට හැකිවනු ඇත. තවත් කෙනෙක්‌ නිමිති ව්‍යඤ්ජන වශයෙන් රාගයම වැඩෙන ආකාරයෙන් අරමුණු පරිහරණය කරති. අභාවිත සිතේ රාගාදී කෙලෙස්‌ කොපමණ ප්‍රබල වන්නේදැයි සඳහන් කළොත් ඒ මෙසේයි. එනම් මළ මිනියකට හෝ ඇට සැකිල්ලකට හෝ තිරිසන් සතෙක්‌ කෙරේ වුවද කාම සංඥවන්, කාම සංකල්පය උපදවා ගනී.
මෙම වරදවා පිහිටුවා ගත් කාම සංකල්පය නිසා කාමච්ඡන්දය උපදී. යම් වූ අරමුණක්‌ කෙරේ අභාවිත සිතෙහි කාමයට කැමැත්ත හෙවත් ඡන්දය හටගන්නේ පඤ්ච කාම ගුණයන් සමගිනි. 'ඉට්‌ඨා කන්ත මනාපා, පියරූපා කාමූපසංහිතා රජනීයා'. එනම් ඉටුවඩන, මනවඩන, ප්‍රියදැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන නම් වූ ගුණ වශයෙනි. මේවා ගුණ නම් පදයෙන් හැඳින්වුවත්, පරමාර්ථ ධර්මයේදී නුගුණමය. මෙම කාමය නිසා කාම පරිදාහය උපදී. පරිදාහය නම් තැවෙන, දැවෙන, රත්වෙන, පිළිස්‌සෙන ස්‌වභාවයයි. කාම පරිදාහය හටගත් විට එයින් නිවීමට හෝ නිදහස්‌වීමට උත්සාහ ගනී. අභාවිත සිතක්‌ ඇත්තා තම සිතෙහි කාමයෙන් තැවෙන ස්‌වභාවයෙන් ගැලවීමට උත්සාහ ගන්නේ කාම ගොදුරකින්මය. කාම ගින්න නිවා ගැනීමට නම් විරාග සිසිලසක්‌ සිතෙහි සකස්‌ කර ගැනීම යහපත් වුව මේ නිසා කාම ගින්න නිවා ගැනීමට කාමයෝම සොයන්නට පෙළඹේ. මෙය කාම පර්යේෂණය යෑයි හඳුන්වා කාම පර්යේෂණයේදී ''හොඳින් නොහැකි නම්, නොහොඳින් හෝ කියාද, ධර්මයෙන් නොහැකි නම් අධර්මයෙන් කියාද, එළිපිට නොහැකි නම් රහසින් හෝ කියාද?' ආදී වශයෙන් සෙවීම, උපක්‍රම යෙදීම, සැලසුම් කිරීමට අභාවිත සිත් ඇති පුද්ගලයා පෙළඹෙයි. මෙම කාම වස්‌තු සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික වස්‌තුන් විය හැක. ඇස ආදී ඉන්ද්‍රිය සයෙන්මත්, රූපාදී ආරම්මණ සයෙන්මත්, චක්‌ඛු විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන්ගේම මෙම අනාර්ය පර්යේෂණයට එකතුවෙයි. මෙම කාම පර්යේෂණයට බැසගත් නූගත්, පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් නම් වූ තුන් කරුණින් වරදවා පිළිපදී. එනම් පස්‌පව්, දස අකුසල් වශයෙන් පාපී ස්‌වභාවයට පත්වීමයි.
භාග්‍යවතුන් වහන්සේ මීළඟට මෙසේ දේශනා කරති. 'මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥව උපදී. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පය උපදී. ව්‍යාපාද සංකල්පය නිසා ව්‍යාපාද ඡන්දය උපදී. ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද පරිදාහය උපදී. ව්‍යාපාද පරිදාහය නිසා ව්‍යාපාද පර්යේෂණාව උපදී. ව්‍යාපාද පර්යේෂණය සොයන නූගත් පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී. මෙහිදී කාම ධාතුව පිළිබඳ විස්‌තර කළ අයුරින්ම ව්‍යාපාද සහ සිතුවිලි පිළිබඳ අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. කුමන ආරම්මණයක්‌ ඔස්‌සේ වුවද, ව්‍යාපාද සංඥව සකස්‌ වෙන්නේ තම සිතෙහිය. එනම් අභාවිත සිතෙහිය. මේ නිසා ව්‍යාපාද ආරම්මණය ද අනිච්ච දුක්‌ඛ, අනත්ත නම් ත්‍රිලක්‌ෂණයට යටත්කොට දැකීම අවශ්‍යය. මෛත්‍රිය මනාව පුරුදු කිරීමෙන් තම සිත මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා නම් සතර බ්‍රහ්ම විහරණයට පුරුදු කළහ. ආඝාතය ඇතිවන කරුණුවලින් වැළකිය යුතුය. 'ඒ පුද්ගලයා අතීතයේ මම වරද කළේය. වර්තමානයේ වරද කරන්නේය. අනාගතයේaද කරනු ලබන්නේය. තම ප්‍රිය පුද්ගලයාට අතීතයේ වරදක්‌ කළේය. දැන් වරදක්‌ කරන්නේය. අනාගතයේද වරදක්‌ කරනු ලබන්නේය. තම අහිතවන්තයාට අතීතයේ යහපත කළේය. දැනුදු යහපතකරන්නේය. තම අහිතවන්තයාට අනාගතයේ යහපතක්‌ කරනු ලබන්නේය.'' මේ ලෙසින් සිතා ආඝාතයෙන් වැළකීමට සිත පුරුදු කොට නැතිනම් සිතෙහි ව්‍යාපාද ධාතුව සකස්‌ වී ව්‍යාපාද සංඥ ගැනීම වශයෙන් පස්‌පව්, දස අකුසල් දක්‌වා වර්ධනය වේ. මේ ආකාරයෙන් විහිංසා ධාතුවදා (අනුන්ට විපත් කිරීම ) ගලපා බැලිය යුතුය. විහිංසා ධාතුව නිසා විහිංසා උපදී. විහිංසා සංඥව නිසා විහිංසා සංකල්පය උපදී වශයෙනි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 'මහණෙනි, පුරුෂයෙක්‌ ඇවිලගත් තණ හුලක්‌ වියෑලී තණ ලා හෙලන්නේද, ඉඳින් අතින් පයින් වහා නොනිවන්නේ. මෙසේ ඒ තණ ලැහැබ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු ඇත්ද ඔවුහු විනාශයට පැමිණෙන්නාහුය. 'මහණෙනි, එසේම යම්කිසි භික්‌ෂුවක්‌, බමුණෙක්‌ (උපාසකයෙක්‌, උපාසිකාවක්‌) උපන්නාවූ විෂම බවට පැමිණියා වූ අකුසල සංඥව වහාම දුරු නොකෙරේද, බැහැර නොකෙරේද අවසන් නොකෙරේද අනුක්‍රමයෙන් නොඉපදීමට කටයුතු නොකෙරේද, හෙතෙම මේ අත් බවයේම පීඩා සහිත උපායාස (බලවත් සිත් තැවුල්) සහිතව පරිදාහ සහිතව දුකසේ වෙසෙයි. මරණින් මතු දුගතිය කැමති විය යුතුය. 

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. නෛෂ්ක්‍රම්‍ය විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී, ප්‍රත්‍ය රහිතව නූපදී. අව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. 

ප්‍රත්‍ය රහිතව නූපදී. අවිහිංසා විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. අවෙ‍ෙෂ්ක්‍රම්‍ය (කෙලෙස්‌වලින් නික්‌මීම) ධාතුව නිසා නෛෂ්ක්‍රම්‍ය සංකල්පය උපදී. නෛෂ්ක්‍රම්‍ය සංකල්පය නිසා නෛෂ්ක්‍රම්‍ය ඡන්දය උපදී. නෛෂ්ක්‍රම්‍ය ඡන්දය නිසා නෛෂ්ක්‍රම්‍ය පරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පර්යේෂණාව නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සිත, කය, වචනය නම් වූ තුන් කරුණින් මනාසේ පිළිපදී. අව්‍යාපාද ධාතුවෙහිත්, අවිහිංසා ධාතුවෙහිදීත් මෙම ධර්ම පරියායම ක්‍රියාත්මක වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරත්. ''මහණෙනි, යම් සේ පුරුෂයෙක්‌ ගිනිගත් තණ හුලක්‌ වියලි ත ණ ලැහැබක බහාලන්නේද ඒ තණහුල අතින් පයින් වහාම නිවන්නේද, මෙසේ තෘණ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණිහු වෙත්ද, ඔවුහු විනාශයට නොපැමිණෙන්නාහුය.
එසේම යම් භික්‌ෂුවක්‌ හෝ බමුණෙක්‌ (උපාසකයෙක්‌ හෝ උපාසිකාවක්‌) විෂම බවට පැමිණ අකුසල සංඥව වහාම දුරු කෙරේද බැහැර කෙරේද, මුලින්ම ගළවා දැමේද නැවත හටනොගන්නා බවට පමුණුවාද හෙතෙම මේ අත් බවයේද පීඩා රහිතව, ආයාස රහිතව, පරිදාහ රහිතව සුවසේ වෙසෙයි. මරණින් මතු සුගතිය කැමැති විය යුතුයි. 
උතුම් චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධම වේවා‍ෙ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාමරාග නීවරණය

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති 
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි. එම භවයට අයත් රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු අල්ලාගන්නා ඇස, කන, නාසය, දිව, කය, සිත යන පසිඳුරන්ට ගෝචර වන ඉහත කී රූපාදිය කෙරෙහි ඇල්මක් හටගැනීම ඒවා අල්ලා ගැනීම කාමයෙහි ස්වභාවයයි. මෙසේ උපදින තණ්හාව , කාමතණ්හා, භව තණ්හා , විභව තණ්හා යයි ත්‍රිභේද යි. කාම තණ්හා නම් කැමැති කැමැති අරමුණු කෙරේ සිතේ ඇලීමයි. භව තණ්හා නම් උපන් භවයෙහි ඇලීමයි. විභව තණ්හා නම් උපත් භවය හැර වෙනත් භවයක් නැතැයි යන විශ්වාසයයි. මේ පිළිබඳ විස්තර කරන බුදුරජාණන් වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය අපා යන එකොළොස් භවයන්හි 
ඉපිද ඒ ඒ භවයන්හි තිබෙන රූපාදි අරමුණුවල ඇලීම කාම තණ්හාවයි. රූපී, අරූපී (බ්‍රහ්ම) ලෝකවල ඉපිද එහි වූ සැප සම්පත් විඳීමේ ආශාව භව තණ්හා වයි. (මේවායින් උපන් සත්ත්වයා සදාකල්හි ඒවායින් ම ජීවත් වෙතැයි යන දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියයි) කිසියම් භවයක උපන් සත්ත්වයා තුළ මේ භවය හැර වෙනත් භවයක් (උපතක්) නැතැයි යන විශ්වාසය විභව තණ්හාවයි. “කාම භව, විභව යන ත්‍රිවිධ තණ්හාව රූපාදී ආරම්මන හයෙන් ගුණ කළාම අටළොසක් වේ. ඒවා ආධ්‍යාත්මික බාහිර (තමා හා අන්‍යයා) වශයෙන් සලකා ගුණ කළාම සතිස් වැදෑරුම් වේ. යළිත් ඒවා අතීත, වර්තමාන, අනාගත වශයෙන් තුන් කල්වලට බෙදා ගුණ කළාම තණ්හා වේ ප්‍රභේද එකසිය අටක් වේ.
සසර ඇලෙන්නා යන අරුත් දෙන සත්ත්වයා යන නාමපදයට අයත් ප්‍රාණියා සසර බැඳ තබා ගන්නේ තණ්හාව විසිනුයි. ඔහු උපන් භවයෙන් තවත් භවයකට පමුණු වන චුතිසිත හා පුනර්භවයෙහි උපත සිදුකරන පටිසන්ධී සිත මෙහෙය වන්නේ තණ්හාව අනුවයි. මේ තණ්හා චෛතසික චුති පටිසන්ධි දෙකින් සත්ත්වයාට මිදෙන්නට ඉඩ නොදෙයි. තණ්හාවට මිසදිටු බව හා මානය ද මේ සඳහා උපස්ථම්භක වේ. මේවා සසර සත්වයා පමා කරන ප්‍රපඤ්ච (කෙලෙස්) තුනෙකි. ඒ නිසා සසරින් මිදෙන්නට උත්සාහ කර ගන්නා තණ්හා, මාන, දිට්ඨි යන ප්‍රපඤ්ච දුරලිය යුතුයි. ඇතැමුන් ඉතා සුළු කොට සලකා සැදැහැවතා අදම නිවන් දක්වන්නට දේශනා කරතත් එසේ නිවන් ගිය කිසිවෙක් ලොව මෑතක කිසිවකුට හමු වී නැත. එබඳු දහම් දෙසන්නෝ ධර්මයෙහි යථාර්ථය යන්තම් හෝ දැනගෙන ශ්‍රාවකයන්ට කිය යුතුයි. අප හැමෝම අනුන් මේ ආත්මයේම නිවන් යවන්නට දේශනා කිරීම පසෙක තබා සිල් රකින සදාචාර සම්පන්න මිනිසුන් කිරීමටවත් උත්සාහ කිරීම ප්‍රාමාණිකය. නිවන් දක්වන්නට හෙවත් අවබෝධ කරවන්නට ශ්‍රාවකයාට පෙර නිවන ගැන දැනීමක් වත් ලබා දීම අපෙන් සිදුවිය යුත්තකි. නොඑසේම පුහුදුන් බවින් මිනිසා නිවනට උඩින් පන්නවන්න නොහැකි බව තමා තමා ගැන සිතා අන්‍යයාට ද කියන්න. බුදුන් වහන්සේ තම ධර්මය දුද්දස දුරනුබෝධ බව වදාළේ ගැඹුරු නිසයි. සත්වයා සසර බැඳ, තබන රාගාදී කෙලෙස්වලට ආශාව කියනව, “ආසවන්තීති ආසවා” යන විග්‍රහය පරිදි කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන ආශ්‍රවවලින් සත්ත්වයා වැහිල ඉන්නෙ.ඇස්, කන්,නාස ආදි ඉඳුරන්ගෙන් වැහෙන මේ ආශ්‍රවයෝ සත්වයා තිරිසන්, පේ‍්‍රත, මනුෂ්‍ය,දේව යන ගතිවලට පමුණුවති. රූපාදී අරමුණූ රස වින්දනයට ඇති ආශාව නිසා සත්ත්වයා පව් සිදුකරනවා. භවයෙහි ඉපදීමට ඇති ආශාව නිසා දුක්විඳිනව. මිසදිටුකම නිසා සසර දුකට පත්වෙනව. සසර දුකට සත්ත්වයා පත්කරන මේ ක්ලේශ ධර්මදර්ශනයෙහි (දස්සනා) ප්‍රමාණ කළ යුතුයි. එනම් සිවුසස් අවබෝධයෙන් මයි ප්‍රහීණ කළ හැක්කේ. කටවචනවලට එය කරන්න බැහැ. චක්ෂුරාදී ඉන්ද්‍රිය සංවරයෙන්ම එය කළ යුතුයි. පටිසේවනයෙන් (නුවණින් මෙනෙහි කිරීමෙන්) ඒවා දුරලිය යුතුයි. එනම් චීවරාදී සිවු පසය නුවණින් මෙනෙහි කොට පරමාර්ථ වශයෙන් සලකා පරිභෝග කිරීමෙන් දුරලිය යුතුයි.අධ්වාසනයෙන් හෙවත් ඉවසීමෙන් දුරුකළ යුතුයි. පරවජ්ජනයෙන් එනම් ඇත්, අස්, සර්පාදින් දුරලීමෙන් (මඟ හැරීමෙන්) දුරලිය යුතුයි. විනෝදයෙන් එනම් නුවණින් සලකා බලා (කාමාදී ආශාවන්ට ගිජු නොවී) කාම විතර්ක , ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපන්විට ඒවා දුරලීමට ප්‍රයත්න දැරිය යුතුයි. එසේම භාවනාවෙන් හෙවත් බොජ්ඣංග වැඩීමෙන් දුරලිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ කාමාශාව නොයෙක් උපමා මගින් දෝෂ සහගත බව පෙන්නා දී තිබෙනව. ගිනිවළල්ලකට , මස්වැදැල්ලකට , ගිනිහුලකට, සිහිනයකට, ගැරඬිකුණකට ආදී වශයෙන් කාමයෙහි ආදීනව දක්වල තියෙනව. එහි භයානකකම පිළිකුල් සහිත බව, අස්ථීර බව, හිස් බව ඒ තුළින් දක්වා තිබේ. කාමයෙන් වැළකීමෙන් බිය, උවදුරු දාහාදිය නැති වන බව දේශනා කළහ. කාලයෙන් මිදුනහුට සියලු දුක් දුරු කොට සමථ භාවනාවෙන් උපචාර අප්පනාධ්‍යාන ලබා විදර්ශනාවෙන් මග්ග, ඵල නිබ්බාන පසක් කරගෙන ලෝකෝත්තර සැප සාක්ෂාත් කරගත හැකි වේ.
කාමරාගය පඤ්ච නීවරණයන්ගේ පළමු වැන්නයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා නීවරණ දෙක සෝතාපත්තිමාර්ගයේදී ප්‍රහීණ වන අතර කාමරාග හා ව්‍යාපාද දෙකේ ඕලාරික බව සකදාගාමි මාර්ගයේදී සිදු වේ. අනාගාමි මාර්ග යේදී ඒවා සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. සමථයෙන් මේවා වික්කම්භණ (තාවකාලික යටපත් කර තැබීමක්) වශයෙන් යටපත් වේ. යෝගාවචරයාට ධ්‍යාන, විමොක්ඛ, මග්ග, ඵල යන උත්තරගුණධර්ම උපදවා ගැනීමට බාධා කරන්නේ මෙම නීවරණයි. එසේම කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදුපාදාන, යන මේවා මාර්ගඥානයේදී ක්ෂය වේ. සර්පයකු විසින් මැඩියකු අල්ලාගත්තාක් මෙන් පි‍්‍රයරූපාදී අරමුණු දැඩිව අල්ලා ගැනීමට උපකාර වන නිසා මේවාට උපාදාන යයි කියති. කාමූපාදානය හා දිට්ඨූපාදානය විසින් උපාදානවල යථා තත්ත්වය වනසයි. සීලබ්බත පරාමාස යන වැරදි ශීල හා ව්‍රත විසින් නිවැරදි සීල ව්‍රත, වසයි. ආත්ම දෘෂ්ටිය විසින් අනාත්ම බව වසයි. කාමරාගය වස්තුකාම, ක්ලේශකාම යයි කොටස් දෙකකි. වස්තුකාම නම් ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කරන පි‍්‍රයකරන මනාප වූ රූපාදියයි. ක්ලේශකාම නම් පි‍්‍රය කරන රූපාදිය අරමුණු කරගෙන සිතේ උපදින කාම ක්ලේශයි. මේවා විදර්ශනා වඩන්නාගේ ලෞකික ආර්ය
අෂ්ටාංගික මාර්ගයේදි රූපාදි අරමුණු පිළිබඳව කාමස්වභාවය ධ්‍යාන ශක්තියෙන් විශ්කම්භන (ධ්‍යාන පවතිනතාක්) වශයෙන් යටපත් වේ. යමෙක් ජලාශයක දියසෙවෙල් බැහැර කොට කළයෙන් දිය ගන්නාක් තෙක් දිය සෙවෙල් ඈත්ව තිබෙන්නාක් මෙනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අවස්ථාවේ එනම් මාර්ග ඵල ලබන අවස්ථාවේ සිතේ ඉතිරිව තිබෙන කලේශ කාමයන් සම්චුඡේද (සම්පූර්ණයෙන්) වශයෙන් ප්‍රහීණ වේ.
යෝගාවචරයා සෝතාපත්ති මාර්ගයට පත්වන්නා වූ විට සක්කායදිට්ඨි , විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, යන ත්‍රිවිධ සංයෝජන (සත්ත්වයා සසර බැඳ තබන කෙලෙස්) සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කොට අනතුරුව රූපාදී පඤ්චස්ඛන්ධය හෙවත් පඤ්ච උපාදානක්ඛන්ධ මුල්කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විදර්ශනාව වඩයි. හෙවත් නුවණින් පරීක්ෂා කොට බලයි. දෙවන මාර්ගය වන සකදාගාමී මාර්ගඥානය ලැබීමට විදසුන් වඩන ඔහුගේ සිතේ තිබෙන කාමරාග හා පටිඝ (ක්‍රෝධය) යන සංයෝජන දෙක ඕලාරික බවින් තොරව තුනී වේ. සැහැල්ලු වේ. එසේ වන්නේ ඒ දෙක ඉතා බලවත් නිසයි. මෙහි විශේෂය නම් සෝතාපත්තිඵලස්ථා සත්තක් ඛත්තුපරම හෙවත් මරණින් පසු දෙව්ලොව ඉපිද යළිත් මිනිස් ලොවට එන්නේ නම් හත්වරක් පමණක් වීමයි. නොඑන්නත් පුළුවනි. සකදාගමි පුද්ගලයා දෙව්ලොව උපන් පසු යළිත් මිනිස් ලොවට එන්නේ නම් එක්වරක් පමණයි. අනාගාමී පුද්ගලයා මරණින් පසු දෙව්ලොව ඉපිද භාවනා වඩා ඉහළ ඉහළ ලෝකවල ඉපිද රහත්ව එහි දී පිරිනිවන් පායි. දස සංයෝජනවලින් සක්කායදිට්ඨි , විචිකිච්ඡා , සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන ඕරම්භාගීය (යට හෙවත් කාමලෝකවල උපදවන) සංයෝජනවලින් සත්ත්වයා දිව්‍ය මානුෂික යන කාම ලෝකයන්හි උපදවයි. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච ,අවිජ්ජා යන උද්ධම්භාගීය (බ්‍රහ්ම ලෝක වල උපදවන) සංයෝජනවලින් උඩලෝකවල උපදවයි. මේ සංයෝජන පහ නැසුම තැනැත්තා යළිත් කවරදාකවත් උපතක් නොලබයි. ඒ ඒ සත්ත්වයා සසරට පැමිණි දා සිට මේ භවය තෙක් ඔහු තුළ අප්‍රමාණ භවයන්හි හටගත් කාමාශාවන් අතීත කාමයි. මේ භවයෙන් චුතව ගිය පසු අනාගත භවයන්හි දී උපන් කාමාශා අනාගත කාමයයි.
මේ භවයෙන් චුතවීමක් අනතුරු භවයෙහි ප්‍රතිසන්ධියක් අතර කාලය තුළ උපදින කාමාශාවන් පච්චුප්පන්න හෙවත් වර්තමාන කාමයි. මෙකී නාම රූප, අරූප කවර ලෝකයක වුවත් උප්පත්තියට හේතුවන සියලු ධර්ම තෘෂ්ණාවට වස්තුවන බැවින් හා තෘෂ්ණාවට අරමුණු වන බැවින් අපේක්ෂා සහගත වන බැවින්ද ඇලිය යුතු බැවින්ද මද උපදවන බැවින්ද සියල්ලටම කාම යයි ව්‍යවහාර කරති. කාමරාගය, දුරලීම අනාගාමී මර්ගඥානයෙනුත් රූපරාග, අරූපරාග දුරලීම අර්හත් මාර්ගඥානයෙනුත් සිදුවේ. මාර්ග පිළිවෙලින් ගන්නාවිට සකදාගාමී මාර්ගයෙන් කාම රාගය තුනී වී අනාගාමි මාර්ගයෙන් කාමරාග සම්පූර්ණයෙන් ප්‍රහාණය වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවන් මඟ හෙළි කරන සති සම්බොජ්ඣංගය

මීරිගම, මිණඔලුවේ, විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්ධර,
සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසනශෝභන, 
ධර්මකීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිට විශාරද, ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි

“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි

. සතිය ආරක්ෂක සෙබළෙකුට, කලණ මිතුරකුට, භාණ්ඩාගාරිකවරයෙකුට සමාන කොට ද විස්තර කොට තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙයි. කල්‍යාණ මිත්‍රයා ද තම හිතවතා පාප මිත්‍රයන් ඇසුරට යාමට ඉඩ නොදෙයි. භාණ්ඩාගාරිකවරයා ද තම වගකීම යටතේ ඇති රන් මිණි මුතු ආදී ඉතා වටිනා භාණ්ඩ විනාශ වන්නට ඉඩ නොදී සුරක්ෂිතව රැක බලා ගනී. පොළොවේ රියන් අටක් යට සිට වූ ඉන්ද්‍ර ඛීලයක් නගරයේ දොරටුව ශක්තිමත් කරන්නේ යම් අයුරකින් ද එමෙන්ම සතිය අරමුණ ස්ථිරව පිහිටුවයි. ඇසූ කියූ දෑ සිතේ ස්ථිරව පිහිටුවයි. එහෙයින් සම්මා සතිය සිත සමඟ පහළවන ශෝභන චෛතසිකයක් කොට සැලකෙයි. සුචරිත ධර්මයන් සපුරා ලීමෙන් හා විදර්ශනා මාර්ගයෙන් නිපදවා ගත යුතු නිර්වාණය අවබෝධ කර ගැනීමට සතිය අගනා උපාය මාර්ගයෙකි. සතිය බොජ්ඣංගයක් වශයෙන් ගන්නා විට ද මැනවින් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍යයි. තමන්ගේ කටයතු වලදී, රැකීරක්ෂාවලදී, ගමන් බිමන් වලදී, කතා බහේ දී සිහියෙන් යුතුව කළ යුතු ය. එසේ කිරීමෙන් කටයුතු සාර්ථක කර ගත හැකි ය. එහෙත් ඒවා සති සම්බොජ්ඣංගයට අයත් නොවේ. එසේ වනුයේ බොජ්ඣංග නාමයෙන් ගැනෙන්නේ විශේෂ තේරුමකින් නිසා ය. මේ වචනය සන්ධි විසන්ධි වශයෙන් වෙන්කරගත් විට ‘බෝධි + අංග‘ යි සිටී. එයට සං උපසර්ගය යොදා ගත් විට එයින් විශේෂ අර්ථයක් ද ලැබෙයි. මෙහි යෙදී ඇති බෝධි යන්නෙහි තේරුම කුමක්ද? ‘බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං, චතුමග්ග ඤාණං’ සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග වල දී ලැබෙන ඤාණය බෝධියයි. අංග යන්නෙහි අරුත ඒ බෝධිය ලබා ගැනීමට උපකාර වන මාර්ග යන්නයි. මෙහිලා සති සම්බොජ්ඣංගය නමින් සැලකෙන්නේ මනා සිහියයි. යහපත් සිහියයි. එනම් නිර්වාණගාමී සිව්මග නුවණයි. එවිට මෙහි අර්ථය වනුයේ නිර්වාණාවබෝධය ලැබීමට හේතුවන මනා ‘සිහිය’ යන්නයි. බොජ්ඣංග වශයෙන් සතිය ගන්නා විට නොකඩවා ලැබෙන සතිය ගත යුතු ය. අතරින් පතර ද සතිය ලැබේ. එය අතරින් පතර කැඩේ. මෙතැන ගත යුත්තේ නොකඩවා පවත්නා වූ සතියයි. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවේදී මෙයින් ක්‍රියා දෙකක් සිදුවෙයි. සාමාන්‍ය වශයෙන් සිතට පහළ වන ප්‍රමාද පක්ෂයක් ඇත. එනම් සිත ප්‍රමාදයට හෙළන, අවුල් කරන කෙලෙස් සමූහයයි. එනම් අවිද්‍යාව, මිත්‍යාදෘෂ්ටිය, පඤ්ච නීවරණ ආදී කෙලෙස් සමූහයයි. කෙනෙකුගේ සිත පහත හෙළන, වැඩ නවත්වන, ගෙන යන වැඩ පිළිවෙලට බාධා කරන යම්කිසි සිතිවිලි ඇත්නම් ඒ සියලුම සිතිවිලි ගැනෙන්නේ ප්‍රමාද පක්ෂයටය. ඒ අයුරින් ප්‍රමාද පක්ෂයට හේතුවන, ප්‍රමාද පක්ෂයට හේතුවන කෙලෙස් රැසක් ඇත. මේ සති සම්බොජ්ඣංගය නිසා ඒ කෙලෙස් රැස අයින් වෙයි. බැහැර කිරීම සිදුවෙයි.
ඒ අයින් කිරීමත් සමඟම, බැහැර කිරීමත් සමඟ ම තවත් කාර්යයක් ඉටුවෙයි. එනම් පුද්ගලයාගේ අප්‍රමාද ගුණය වර්ධනය වීමය. යම්කිසි භාජනයක අපවිත්‍ර ජලය ඇතොත් එය ඉවත් කර අලුත් පිරිසුදු ජලය දමන්න. අර අපිරිසුදු ජලය අයින් වෙයි. අපිරිසුදු ජලය අයින් වෙනවා වාගේ සිතට සම්බන්ධ වන මේ කෙලෙස් ද මේ සතිය නිසා අයින් වෙයි. ඒ එක්කම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණ රාශියක් ක්‍රමයෙන් වර්ධනය වෙයි. වටිනා ගුණ රාශියක් සිතේ අභ්‍යන්තරයේ වැඩෙයි. සති සම්බොජ්ඣංග වශයෙන් සිදු වන මේ කාර්යය මැනවින් තේරුම් ගත යුතු ය. සති සම්බොජ්ඣංගය වචනයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. එම කාර්යයන් දෙක මුදුන් පැමිණෙන ආකාරයෙන් සතිය තමා තුළ වර්ධනය කර ගත යුතු ය. එනම් ප්‍රමාද පාක්ෂික කෙලෙස් විද්වංසනය කිරීම හා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්ම වර්ධනය කර ගැනීමයි. ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ප්‍රමාද පාක්ෂික කෙලෙස් අයින් වෙයි. අප්‍රමාද පාක්ෂික ගුණ දහම් එහි අරක් ගනී. සිත පිරිසුදු වෙයි. මේ තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් ගොස් සතර මගපල ලැබීමට එය මහෝපකාරී වෙයි.
සති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන ධර්ම හතරක් ඇත. එනම්, 1. සති සම්පජඤ්ඤය 2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව 3. උපට්ඨින සති පුග්ගල සේවනතාව 4. තදධි මුත්තතාව යන සතරයි.
1. සති සම්පජ්ඤ්ඤය නමින් සැලකෙන්නේ සිහිය සමඟ මනා දැනීමයි. ඒ දැනීම සාත්ථ සම්පජඤ්ඤ, සප්පායථ, සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජ්ඤ්ඤ යනුවෙන් සිවු ආකාර වෙයි. සියලු කටයුතු මනා සිහියෙන් කළ යුත්තේ කෙසේද? ඒ මෙසේ කළ යුතු ය.
01. අභික්කන්තේ පටික්කන්තේ සම්පජාතකාරිහෝති (ඉදිරියට යාමේදීත් ආපසු හැරී බැලීමේදීත් නුවණින් දැන කරයි) 02. ආලෝකිතේ විලෝකිතේ සම්පජාතකාරි හෝනි (ඉදිරිය බැලීමේදීත්, අනුදිසා බැලීමේදීත් නුවණින් දැන බලයි) 03. සම්මඤ්ජිතේ පසාරිතේ සම්පජාතකාරිහෝති (අත්පා හැකි ළිමෙහි දී ද, දිගු කිරීමෙහිදී ද, නුවණින් දැන කරයි.) 04. සංඝාටිපත්ත චීවරධාරණේ සම්පජාත කාරිහෝති (සඟල සිවුර හා පාත්‍ර දැරීම නුවණින් දැන කරයි) 05. අභිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරි හෝතිඅනුභව කිරීමේදීත්, පානය කිරීමේදීත් කෑමෙහිදීත් නුවණින් දැන කරයි)
06. උච්චාර පස්සාව කම්මේ සම්පජාතකාරි හෝති (මළ මුත්‍ර පහ කිරීමේදී නුවණින් දැන කරයි)
07. ගතෙඨිතේ නිසින්නේ සුත්තේ ජාගරීතේ හාසිතේතුන්හී භාවේ සම්පජාතකාරි හෝති (යාමේදී සිටීමේ දී හිඳීමෙහි දී නිඳීමෙහි දී නිදිවැරීමෙහි දී කතා කිරීමේ දී, කතා නොකිරීමේ දී නුවණින් දැන කරයි.)
2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව
මෙයින් අදහස් කරන්නේ මන්ද බුද්ධික, මුළා වූ සිහි නුවණ ඇති පුද්ගලයන් ඇසුරින් දුරු කිරීමය.
3. උපට්ඨින සති පුග්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමය.
4. තදධිමුත්තතාව සතර ඉරියව් පැවැත්වීමෙහිදී සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට එයට නැමී පැවති චිත්ත වේගයෙන් යුතු බව තදධිමුත්තතාවයි.
මෙය උඨඨාන වීර්යය නොවේ. ඒ සමඟම එකට යැවිය යුතු ඵලාපේක්ෂාවෙන් යොමු විය යුතු කැමැත්ත ය. ඒ කැමැත්ත නොයෙක් ප්‍රභේද සහිතයි. මෙයින් කත්තුකම්‍යතා හා කුසලච්ඡන්දය අපේක්ෂිතය. දාන, සීල, භාවනාදියෙහි යෙදීම පිණිස සිතෙහි හට ගැනෙන කැමැත්ත බලාපොරොත්තුව කුසලච්ඡන්දයයි. මෙහි දැක්වෙන තදධිමුත්තතාව සත්ත බොජ්ඣංගයන්ගේ පහළවීම පිණිස සපුරාගත යුතු අංගයකි. ඒ ඒ තැන්වල දී මේ නයින් කෙසේ නමුත් සත්ත බොජ්ඣංගයන් උපදවා ගැනීමට සතර ඉරියව්වෙහි ක්‍රියා කළ යුතු ය. කුසලච්ඡන්දය වීර්ය සමඟ ගමන් කරවිය යුතු ධර්මතාවක් බව මහාසිව නම් තෙරුන්ගේ අපදානයෙන් ස්ඵුට වෙයි. මහාසීව තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටි තිස්නමක් පමණ ශිෂ්‍ය භික්ෂූහු රහත් වූහ.
එහෙත් ආචාර්ය මහාසීව ස්ථවිරයන් වහන්සේ පුහුදුන් බිමෙහිම සිටින බව දැනගත් ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් මුන් වහන්සේ සංවේගයට පැමිණ වූහ. එබැවින් කිහිපදිනකින් රහත් වී ශිෂ්‍ය රහතුන් වෙත එන්නෙමියි හුදකලාව වනයට ගොස් භාවනා කරන්නට වූහ. විටින් විට පරික්ෂාකාරී වූ මුන් වහන්සේ විසින් දෙයැසින් කඳුළු වැගිර වූවාහ අනන්තයි. මෙසේ වුවත් බලාපොරොත්තුව අතරමග නතර නොකොට වීර්යයෙන් ඵලය ලැබෙනතෙක්ම දෘඩතර වූ සේක් තිස්වසකට පසු රහත් භූමියට පත් වූ බව එම කතාවේ සඳහන් වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවත් වීම ම කමටහනක්‌ කරගන්න


ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

කාට හරි හිත තැන්පත් කරගන්න බැරි නම්, සති නිමිත්ත හඳුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, ආනාපාන සතිය මොන විදිහට වත් බැහැ, හිත එක තැනක තබාගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම්, ඒ කියන අයට මම මෙහෙම එකක්‌ කියනවා. සති නිමිත්ත පැත්තකින් තියන්න. ආනාපාන සතියත් පැත්තකින් තියන්න. ඒවා එකක්‌ වත් එපා. ඉතිපිසෝ ගාථාව දහ සැරයක්‌ කියන්න, වඩන්න, හිතන්න. කොහොම ද? "දැන දැක ම" ඉතිපි සො භගවා අරහං සමමා සම්බුදෙධා විජජාචරණ සමපනෙනා සුගතො ලෝකවිදු අනුතතරො පුරිසදමම සාරථි සත්ථා දෙවමනුසසානං බුදෙධා භගවා ති - ගාථාවට අරම්භයේ දී යම් තාක්‌ සිහිය තිබුණා නම් ගාථාව කෙරෙහි ම සිහියෙන් මයි පටන්ගන්නේ. ගාථාවේ හැම වචනයක්‌ ගානේ ම ඊට නැඹුරු වෙච්ච සිහියෙන් මයි පවත්වාගෙන ගියේ. ඒ සිහියෙන් මයි අවසන් කළේ. පෙර-පසු මනසට ටිකක්‌ වත් මේ ගාථාවෙන් බැහැරට යන්න දුන්නේ නැහැ. ඔය විදිහට දහ සැරයක්‌ හිතෙන් කියන්න. නමුත් අට සැරයක්‌ හරියට කළා, අටවැනි සැරයේ හිත ටිකක්‌ අහකට ගියොත් අයෙත් මුල ඉ`දලා කියන්න ඕනේ. ඔය විදිහට දහ සැරයක්‌ කියලා මේ සති නිමිත්තට හිත තියන්න. හොඳට සිහිය තියෙයි. ඕනෑ ම කමටහනකට නැඹුරු කරන්න. හිත දුවන්නේ නැති වෙන්න ගත්තහැකි. 

හැම එකකට ම උපාය කියලා එකක්‌ තියෙයි. ඒ නිසා බැහැ කියලා එකක්‌ නැහැ. මේකට උවමනාවක්‌ නැතිකම, ආරම්භක ධාතු පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු. මේ වීර්යය තුන් ආකාරයකට හරියට නො පවත්වන අපේ ලෝකය - බැරිකම නිසා නො වෙයි, නො කරනකම. ලියුමක්‌ ලියන්න ගත්තොත් මුල් අකුරු ටික හරි ම ලස්‌සනයි. මැදට යන කොට ටික ටික කැත වෙනවා. අගට යන කොට අකුරු හොයන්න ම බැහැ. මොකද මේ වෙලා තියනනේ? ආරම්භයේ දී තිබුණු උද්යෝගය ටිකක්‌ අඩු වෙලා. මැද තියෙන උද්යෝගයත් අන්තිමට නැති වෙලා. ආරම්භයේ දී තිබුණු වීර්යයෙන් පවත්වලා නැහැ. ඒ වීර්යයෙන් ම අවසන් කරලා නැහැ. ආරම්භක ධාතු, පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු කියන තුන සම ව පිහිටලා නැහැ. බැරිකම නිසා නො වෙයි. අවුරුදු උත්සවයකට ලස්‌සන අකුරු තෝරන තරගයක්‌ තිබුණොත් මුලයි, මැදයි, අගයි ඔක්‌කෝ ම එක ම විදිහට මුතුකැට වගේ ලස්‌සනට ලියයි නේ ද? බැරි නැහැ. එතැන දී පුළුවන් නම්, අනිත් තැනේ දී බැරි වුණේ කොහොම ද? ලියුමේ මුල් අකුරු ටික ලස්‌සන වගේ ම මැදත්, අවසන් කරන කොටත් ලස්‌සන වෙන්න නම් ඒකට තියෙන අවධානය ලිහිල් නො කටයුතුයි. 

ඒ වගේ යමක්‌ කරන කොට ඒකේ මුල වගේ ම මැදත්, අගත් එක ම විදිහට තියෙන්න නම් අවධානය ලිහිල් නො කටයුතුයි. ඉතිපිසෝ ගාථාව ආරම්භයේ දී තබපු අවධානය ඒ විදිහට ම පවත්වාගෙන යන්න, ඒ විදිහට ම අවසන් කරන්න. ඔය ආරම්භක ධාතු, පරක්‌කම දාතු, නික්‌ඛම ධාතු කියන තුන් ධාතුව තමයි මේ පින්වතුන් ගේ චිත්ත සමථයට වේගයෙන් ම බලපාන කාරණාව කියන එක මතක තබාගන්න. ඒක චුට්‌ටක්‌ වත් ලිහිල් කළොත් මේ පින්වතුන් ඉඳගෙන ඉඳියි, බුදුගුණත් හිතයි, රෙදි සෝදන වොෂින් මැෂින් එකට රෙදි දාලා ඉතිපිසෝ ගාථාව කියයි. නමුත් කාලය නාස්‌ති කිරීමක්‌ මිසක අර්ථය වෙලා නැහැ. අර්ථය වෙන්නේ වචන ටික මත නො වෙයි, ඒක කරනකොට ඇති වෙන මානසික පසුබිම මත, අර්ථය මතයි කියන එක මතක්‌ කරනවා. 

ඒ වගේ ම, සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා, නිරෝගි වෙත් වා, සුවපත් වෙත් වා. එහෙම නැත්නම් කරණීයමෙත්ත සූත්‍රය කියන්න ආරම්භයේ ඉඳන් ම අවසානය දක්‌වා. ඔය විදිහට ටික කාලයක්‌ කළොත් ඔය විසිරුණු මනස අපහසුවකින් තොර ව හැදෙයි. මේ පින්වතුන් හැම දා ම භාවනා කරන අය වෙනවා. 

ඊට පස්‌සේ වැඩකටයුතුත් කරන්න භාවනාව තුළින් ම. කොහොම ද වැඩකටයුතු කරන්නේ භාවනාව තුළින්? පෙර පසු මනස අහකට යන්න නො දී කරන කරන වැඩෙත් එක්‌ක මනස තියාගන්න. බුදුගුණ සිහි කිරීමත් එක්‌ක මනස තියාගත්තා වගේ, පිඟන් ගත්ත බවටත් නුවණයි, ඒක අරගෙන වතුර භාජනයට දාපු බවත් නුවණයි. පෙර-පසු මනසට එක එක දේවල් සිතෙන්නට නො දී, කෙරෙන සිද්ධාන්තයත් එක්‌ක ම මනස තබාගන්න. හාල් ටික ගරන කොට ඒ ගරනවා කියන සිද්ධිය තුළ ම අත්විඳින්න. මිදුල අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. ගේ අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. හැම වේලාවක ම පෙර-පසු මනස ගැන වගබලාගන්න අහකට නො හැර. වර්තමානයේ ජීවත් වීම ම "නිවන් දැකීමේ ම`ගින්" ඉවර වෙන්නේ නැද්ද කියලා බලන්න.

මේ පින්වතුන්ට යම් විදිහකට ජීවත් වෙන කොට නිවන් ලැබෙයි නම් ඒ විදිහට ජීවත් වෙන ක්‍රමය හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. පෙන්වනවා කුරු රටවාසීන් යටත්පිරිසෙයින් දැසිදස්‌ කම්කරුවෝ වතුර ටිකක්‌ වත් ගේන්න යන්නේ නැහැ ලු කමටහනක්‌ අතහරුලා. වෙන මුකුත් නො වෙයි - කරන කියන දෙයට එළඹ සිටි සිහිය. ඒකයි මම කිව්වේ, සමථය කියන එක අපි ඉගෙනගෙන තියෙන්නේ එක තැනක ඇස්‌ දෙක වහගෙන ඉඳගෙන හිටියොත් කියලා. නමුත් සමථය කියන එක අර්ථයෙන් දකින්න. සක්‌මන් භාවනාව කියලා එකක්‌ අපි දන්නවා. ඒකෙන් කරලා තියන අර්ථය මොකක්‌ ද කියලා බලන්න. අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඊළඟ අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එකෙන් කරන්නේ වර්තමාන සිද්ධාන්තයකට සිත තබලා පෙර-පසු මනසට අතීත අනාගත දෙක ඇසුරු වෙන්න නො දී වර්තමානයක හිත තබාගන්න උපායක්‌ කරලා නො වෙයි ද මේ තියෙන්නේ? සමථය කියන්නේ පෙර-පසු මනස කොහාට වත් යන්න නො දී වර්තමානයක හිත තබාගන්න එක ද, නැත්නම් සක්‌මන් කිරීම ද?

මේ පින්වතුන් හිත එක එක තැන්වල දුවමින්, හිතෙන් මොනවා හරි දේවල් කරමින් ඇවිද්දොත්, ඒ ඇවිදින ක්‍රියාව එතකොට භාවනාව නො වෙයි කියනවා. එහෙනම් භාවනාව වුණේ මේ කරන දෙයට ම අනුව හිත තබාගන්න එක නේ ද? එහෙනම් මේ සක්‌මන නො වෙයි සමථය. "සක්‌මන උදව් කරගෙන නිර්මාණය කරගත්තා හිතේ නො දුවනකම. වර්තමානයක ඉන්නකමටයි සමථය කිව්වේ. එහෙනම් සක්‌මන් භාවනාවේ සමථය මෙහෙම පනවන්න ඕනේ. මේකයි හරි, මේකයි වැරදි - ඒකටත් අපි ගහගන්නවා. අනිත් කෙනා මෙහෙම කිව්වේ. නමුත් අපට ප්‍රශ්නයක්‌ නැහැ. කොතැනකින් හරි අර්ථය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. වර්තමානයක හිත තබාගන්නවා කියනකම, අතීත අනාගත දෙකට දුවන්නේ නැහැ කියනකම නිර්මාණය වෙලා නම්, ඕනේ විදිහකට සක්‌මන් භාවනාව කළාට කමක්‌ නැහැ.

එතැනින් කරලා තියෙන්නේ මොකද්ද? වර්තමානයක ඉන්න හිත හුරු කිරීම. ඒ වගේ හැම කටයුත්තක්‌ ම වර්තමානයක කරන්න හිත හුරු කරනවා නම්, මේකට කිව්වා සමථය කියලා. ආනාපාන සතිය ආදී අරමුණු වශයෙන් සියුම් කමටහන් තියෙයි. ඒවා කරන්න අපහසු කෙනෙක්‌ ඉන්නවා නම් මම අර කිව්ව ක්‍රමය කරන්න. සරලයි කියලා අතහරින්න එපා. සමථය සරල ම තමයි. ඔක්‌කෝ ම සරලයි. ආනාපානසතියෙන් කළ කෙනා ගේ මනසත්, ඉතිපිසෝ ගාථාව දැන දැක ම ආරම්භයයි, මැදයි, අවසනයි කියන තුනේ පවත්වපු කෙනාගේ මනසත්, දෙකෙන් ම නිර්මාණය වේච්ච සමථයේ අර්ථය එකයි. වෙනසක්‌ නැහැ. මේ සමථයට වඩා අර සමථය ශ්‍රේෂ්ඨයි කියලා එකක්‌ නැහැ. නමුත් ආනාපාන සතියෙන් සිත සමාධි වීමේ, එකඟ වීමේ ප්‍රතිශතය වැඩියි. අර්ථය එකයි. 

එතකොට ඕනෑ ම කමටහනක්‌, නැත්නම් ඕනෑ ම දෙයක්‌ කරන කොට පෙර-පසු මනස අතීත අනාගත දෙකට යන්න නො දී, වර්තමානයක්‌ තුළ ඉඳගෙන කරන්න පුළුවන් නම්, කරනවා නම්, ඒ හැම තැනක දී ම සමථය කියනකම නිර්මාණය වෙලා. අකුසලයක්‌ හදිස්‌සියේ කළොත් ඒකටත් සමථය කියන එක උදව් වෙනවා. එතැනත් සමථයක්‌ තිබෙනවා. මිච්ඡාසමාධි කියලා කියනවා ඒකට. නමුත් මම මතක්‌ කළේ සමථ කියනකම දැකිය යුත්තේ වචන ටිකකින් නො වෙයි. අර්ථයකින්. 

ඊට පස්‌සේ, විදර්ශනාවට තියෙන්නේ සත්ත්ව, පුද්ගල, ආත්මභාවය විදියට පෙනෙන මේ නාමරූප මෙනෙහි කිරීම. සත්ත්ව, පුද්ගල ආත්මභාවයට හම්බ වෙන මේ නාමරූප ධර්මයෝ නුවණින් මෙනෙහි කිරීමටයි විදර්ශනා කිරීම කියලා කියන්නේ. 

එතකොට සීලයක පිහිටියා, සමථ කමටහනකින් හිත වඩනවා - මෙන්න මේ ටිකට හම්බ වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. යෝනිසෝමනසිකාරය කියන තැන දී කුමන ධර්මයක්‌ මෙනෙහි කළත් යෝනිසෝමනසිකාරය තමයි. නමුත් එතැන දී සත්ත්ව, පුද්ගලභාවය දුරු වෙන විදිහට, නාමරූප දෙකක්‌ තියෙන්නේ කියන කාරණාව දකින, ප්‍රකට වෙන විදිහට මෙනෙහි කිරීම කටයුතුයි. එයා ගේ යෝනිසෝමනසිකාරය වෙන්නේ නූපන් ආශ්‍රව ධර්ම නූපදවලා, උපන් ආශ්‍රව ධර්ම දුරු කිරීම. මේ කාලයේ දී අපට රළු සතර මහා ධාතු රූපයට සාපේක්‌ෂවයි නූපන් ආශ්‍රව ධර්ම උපදින්නේ. උපන් ආශ්‍රව ධර්ම වැඩෙන්නේ. එහෙනම් මේ කාලයේ දී අපේ ඉලක්‌කය විය යුතුයි මේ ඕදාරික ශරීරය විදර්ශනා කිරීම, නාමරූප දැකීම.

අර ආසිවිසෝපම සූත්‍රයේ තියෙන්නේ මුලින් ම සර්පයෝ හතර දෙනා ගෙන් බේරිලා යන්න ඕනේ කියලා. එහෙම යනකොටයි සතුරු වධකයෝ පස්‌ දෙනා හම්බ වෙන්නේ. ඉස්‌සල්ලා ම සතුරු වධකයෝ පස්‌ දෙනා ඉන්න තැනින් පටන්ගන්න එපා. ඒ කියන්නේ මේ ආයතන හය විදර්ශනා කරන්න පටන් ගන්න එපා. "ඉස්‌සෙල්ලා ම" ගෙඩි පිටින් ම පුද්ගලයෙක්‌ හම්බ වෙන, සත්ත්වයෙක්‌ හම්බ වෙන මේ රළු නාමරූප දෙකේ නො රැවටෙන මට්‌ටම ඇති කරගත යුතුයි. අන්න එතැන ඇත්ත දකින විදිහට විදර්ශනා කළ යුතුයි කියන කාරණාව මතක්‌ කරනවා. 

තමන් ගේ නිවීම, තමන් ගේ මිදීම හදාගන්න මේ ධර්මය ඔබ හැම දෙනාට ම පාරමිතාවක්‌ ම වේවා. !!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසර අඳුරට ඇද දමන කර්ම විපාක

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

ස්වාමින් වහන්ස, සමාජයේ සමහර පිරිස් අධර්මයෙන් මුදල් උපයනවා. ධර්මයට පටහැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අරමුණු ඉටුකරන ගන්න උත්සාහ කරනවා. මෙවැනි අයට අත් විඳින්න සිදුවන ප්‍රතිවිපාක මොනවාද?
අපේ ජීවිතය ගලන ගඟක් වගේ. බොහෝ දෙනා ගලන ගඟේ ගසාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගසාගෙන යන ගඟේ උඬුගං බලා පිහිනන්න ක්ෂේම භූමියක් කරා යන්නට උත්සහ කරන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණක් බව.
සමහර අය ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට, ගැටළුවලට බාධක වලට මුහුණ දෙනවා. බාධක මතින් ජීවිත ගමන නවත්වනවා. දියුණුවට තිබෙන මංමාවත් ඇහිරී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඇරඹුවානම් ගමන යන්න. බලවත් ආරම්භය නො නවත්වා දිගටම කරගෙන යන්න. අපේක්ෂිත අභිමතාර්ථය ඉලක්කය කරා යන ලෙස උන්වහන්සේ අවවාද කරනවා. ඒ නිසා අදාළ කරන අපේක්ෂිත අරමුණු ජය ගන්න තුරුම උත්සාහය අඛණ්ඩව ගෙන යා යුතුමයි. මේ ජීවිතයේදී සමහර අය කෙටි මාර්ග වලින් තමන්ගේ ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න හදනවා. ධර්මයෙන් පිට පැන්න අඳුරු ජීවිත ලැබෙන්න හේතු වෙනවා. එවිට අඳුරු කර්ම, කළු කර්ම කර ගහගන්න වෙනවා. ඇසට රැවටුන නිසා ඇසෙන් වැරැදි කළා. කනට රැවටුන නිසා කනෙන් වැරැදි කළා. නාසයට රැවටුන නිසා නාසයෙන් වැරැදි කළා. දිවට රැවටුන නිසා දිවෙන් වැරැදි කළා. කයට රැවටුන නිසා කයෙන් වැරැදි කළා. මනසට රැවටුන නිසා මනසින් වැරැදි කළා. ඒ පිරිස දන්නේ නැහැ ධර්මයෙන් පිට පැන්න විට තිබෙන්නේ වැනසීමයි. එය බොහෝම ස්වල්ප වූ සැපයක් වුවත් වෙස් වළාගත් මහා දුකක් බව.
මේ සඳහා ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා මහ අඳුරක, ඝන රාත්‍රියක විදුලියක් කෙටුවොත් ඒ ආලෝකය තිබෙන්නේ අසුරු සැණක් පමණයි. පුංචි නිමේෂයක් පමණයි. ඒ වගේ මේ සංසාරයම අඳුරු කර ගන්න නරකයි. එවිට අපේ සිතේ ලෝභය වැඩෙනවා. ද්වේශය, මෝහය වර්ධනය වෙනවා. සසරම අඳුරු වෙන්නේ පුංචි සැපයක් නිසායි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මහා ඝන අඳුරක පැටලෙන්න පුංචි විදුලියකට රැවටෙන්න එපා කියා. ඒ නිසා ඔබ ස්වල්ප දෙයක් පතා මුළු සසරගත ජීවිතයම අඳුරට පෙරළා ගන්න එපා. පුංචි විදුලි ආලෝකයට ගිජුවෙලා මහ ඝනදුරක පැටලී ඔබේ ප්‍රශ්න ධර්මයෙන් පිට නොගොස් ධර්මය තුළින්ම ලිහාගෙන, සැනහෙන මාර්ගයට පැමිණෙන්න කියා අවවාද කරනවා.
දෙමාපියන්ට ගරු කිරීම, ආදරය කිරීම, ගෞරව කිරීම අපේ සමාජයේතිබෙන ගුණ ධර්මයක්. නමුත් යම් යම් අවස්ථාවල පුංචි පුංචි දේ තුළින් මව්පියන්ට තිබෙන ගෞරවය සැලකීම ඇතැම් අඩුවී යනවා. එකටෙක කියනවා. මේ වගේ කුඩා කුඩා දේ සාංසාරික අඳුරකට හේතු වෙනවාද?
අප කරන සෑම දෙයක්ම කුසල් වැඩෙන දේද? අකුසල් වැඩෙන දේද කියා මුලින්ම තෝරා බේරා ගන්න ඕන. ඒ පිළිබඳව සතිමත් වෙන්න ඕන. රාත්‍රි නින්දට යනවිට අපට පුළුවන්නම් අද දවස පුරාවටම මගේ අතින් වැඩිපුර සිදුකෙරුණේ කළු කර්මද? සුදු කර්මද? කියා විමසා බලනවා නම්, අනෙක් දවස සුළුවෙන් හෝ හොඳ වැඩකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා කළු කර්ම ශීලාචාර සමාජයකට පාර කියන්නේ නැහැ. පොඩි දේ පවා විපාක ගෙන දෙනවා. මේ සඳහා බුද්ධ කාලයේ සිදු වූ උපදේශක කතාවක් මෙසේ සඳහන් කරන්නම්.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්තර නමින් තරුණයෙක් ජීවත් වුණා. ඔහු බුද්ධිමත් තරුණයෙක්. රජතුමාගේ ප්‍රධාන රාජ අනුශාසක වූ වස්සකාර ඇමැතියාගෙන් මේ තරුණයාට තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මේ තරුණයා ඒ විවාහයට අකැමතිව ගොස් පැවිදි වූවා. සාරිපුත්ත මහරහතන් වහන්සේයි ගුරුවරයා වුණේ. කාලයක් යද්දී මේ උත්තර සාමණේරයන් රෝගාතුර වුණා. ප්‍රතිකාර සඳහා ගිතෙල් අවශ්‍ය වුණා. උන්වහන්සේ ගිතෙල් ලබා ගැනීමේ අදහසින් එක ගමකට පිඬුසිඟා වැඩියා. ඒ ගමේදී උන්වහන්සේගේ ලෙඩේ උත්සන්න වූවා. වැව් බැම්මේ පාත්තරය තබා ශරීරයේ තිබූ දැවිල්ල දාහය නිවා ගැනීමට උන්වහන්සේගේ වැවට බැස්සා.
මේ අතර සොරු කණ්ඩායමක් පිටුපස්සේ ගමේ මිනිසුන් එළවාගෙන එමින් සිටියා. සොරුන් කළේ කුමක්ද? ඔවුන් ළඟ තිබු රත්තරන් බඩු සහ මුදල් වැව් බැම්මේ තිබූ පාත්තරයට දමා දිව ගියා. දුවගෙන ආ මිනිසුන් පාත්තරයේ තිබෙන රත්තරං දුටුවා. බැලුවා වැව දෙස. කෙනෙක් නානවා. සිතුවේ මේ සොරා කියායි. රජතුමා ළඟට ඇදගෙන ගියා. රජතුමාගේ ප්‍රධාන අනුශාසක අර වස්සකාර ඇමැතියායි. ඔහුට පෙර සිදුවීම සිහිපත් වුණා. රජතුමා වෙත ඉදිරිපත් කළේ එක දෙක කරමින් රජතුමා උල තබන්න නියෝග කළා. උල තිබ්බේ විශේෂ උලක. ඒ කොහොඹ උලක්. වහා දුකක් උරුම කරන මාරාන්ති ක උලක්. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ සමඟ උල උඩ සිටින සාමණේරයන් වහන්සේ වෙත වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා. උත්තර, ඔබ මේ ජීවිතයේ කිසිදු සොරකමක් කළේ නැහැ. කිසිම පාපයක් සිදුකරපු කෙනෙක් නොවේ. නමුත් ඔබ පෙර ජීවිතයක කරපු විපාකයක් මේ ගෙවන්නේ. ඔබගේ අම්මා අවවාදයක් සිදුකළ විට ඔබ කියා සිටියේ “මට අවවාද කරන්න එපා. මම දන්නවා කරන්න ඕන දේ. අම්මා උල තියන්න ඕන” කියායි. බැලූ බැල්මට එය විශාල අකුසලයක් නොවේ. කට වචනයකට කිව්වේ. ඒ පුංචි දේ භව ගණනාවක් සැඟ වී තිබුණේ අළු යට තිබෙන ගිනි පුපුරු වගේ.
ඒ වගේම තවත් ජීවිතකදී ඔබ සෙල්ලමට මෙන් ගසක සිටි මැස්සෙක් අල්ලාගෙන උල තබන්නේ මෙන්න මෙහෙමයි කියමින් කොහොඹ ගසක කීරක් අරගෙන මැස්සා උල තබා අනෙක් අයට පෙන්නුවා. එය ප්‍රාණඝාත පාපයක් වුණා. ඒ සාමණේරයන්ට ප්‍රබල පුණ්‍ය කර්ම තිබූ නිසාත් පව පිනෙන් වසන්න පුළුවන් නිසාත් භව ගණනාවක් ඒ කර්ම දෙක සැඟවි තිබුණා. අන්තිම භවයේදී “කටත්තා කර්ම”යක් ලෙස එය විපාක දීමට ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ උල උඩ සිටි භික්ෂුවට ධර්මය දේශනා කළා. කොහොඹ උල උඩම උන්වහන්සේ අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මගේ ශ්‍රාවකයන් අල්ප වූ පාප කර්මයක්වත් සිදු නොකළ යුතුයි කියා.
ඒනිසා ඔබත් තේරුම් ගන්න අම්මාට, තාත්තාට විහිළුවට හෝ වැරැදි වචන පාවිච්චි කරන්න එපා. ගරහන්න, උපහාස අපහාස කරන්න එපා. කයින් වැරැදි ආකාරයට ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්න එපා. ඒ විපාක පන්න පන්නා අප පසුපස ලුහුබඳිනවා. අපේ ජීවිතවලට අඳුර ගෙන එනවා. දරුවන් කේන්ති ගියාම කියනවා අම්ම තාත්තා මොනවද මට කළේ? අරයටනේ වැඩිපුර දුන්නේ? කියා. නමුත් අම්මා, තාත්තා අපට සුගති ලොවක් වූ මේ මනුස්ස ලෝකයට එන්න අවස්ථාව දීපු එක කෙතරම් දෙයක්ද? අතපය නොකඩා හදා වඩා ලේ කිරි කර පොවා අප උස්මහත් කළ දේට කළගුණ සලකා නිම කළ හැකිද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මහ බ්‍රහ්මයාට සමාන කළේ. ආනන්තරීය පාප කර්මයක මුලින්ම සිටින්නේ අම්මා සහ තාත්තා. ඉන්පසුවයි බුදුරජුන් සහ රහතන් වහන්සේට සිදුකරන කර්ම තිබෙන්නේ. ඒ නිසා ඔබත් මේ කෙරෙහි සිහිය නුවණ යොදා තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් සිදුවන සෑම කළු කර්මයක් දෙසම ප්‍රත්‍යවේක්ෂා කරමින් ටිකෙන් ටික එයින් ඈත්වී සංසාර දුකෙන් අත මිදෙන්න උත්දාහ වෙන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බොදු පිළිවෙත නම් කිම?


පූජ්‍ය වැල්ලයාවේ සුමනබෝධි හිමි

බුදුරජාණන් වහන්සේ යනු අසම වූ අසම සම වූ මහා කාරුණික වූ ශාස්‌තෘන් වහන්සේ නමකි. ඒ මහා උතුමාණන් වහන්සේ සියලු සත්වයින් කෙරෙහි සම සිතින් වාසය කළ සේක. සියලු සත්වයන් සුවපත් වේවා යන මහා කරුණා ආධ්‍යාශය නිසාවෙන්ම උතුම් ධර්මය දේශනා කරන සේක. ඒ උතුම් ධර්මය පිළිපදින්නා වූ අනේක අප්‍රමාණ සත්ත්වයෝ සසරින් මිදෙන්නේය.

එසේ ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ සැබෑම කාරුණික බව ශ්‍රාවක සංඝරත්නයට පිළිපැදීම උදෙසා දේශනා කරන දේශනා මඟින් මොනවට පිළිබිඹු වේ. එය ලොව අන් කිසිදු ශාස්‌තෘවරයකුට නැති ගුණයකි. එසේ වූ ඒ ධර්ම රාජයාණන් වහන්සේ සරණ යැමට තරම් භාග්‍යවන්තයෝ වූ අපි සැබෑ ශ්‍රාවකයෝ ලෙසින් ඒ අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සැබෑම පූජාවෙන් පූජා පවත්වමින් ප්‍රතිපත්ති ගරුක විය යුතුමය. සැබෑම සරණාගමනය එයමය.

ඒ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරනු පිණිස දේශනා කරන ලද එක්‌ ධර්ම දේශනාවක්‌ වත්මන් බෞද්ධ ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වන්නකි. කිමද යත් වැටත් නියරත් ගොයම කන කල අසරණ වූ බෞද්ධයාට තෙරුවන් සරණ හැර අන් සරණක්‌ නොමැති බව මනාව පසක්‌ වන බැවිනි.

ඒ සූත්‍ර දේශනාව නම් බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවයි. දීඝ නිකායෙහි පළමු වැනි සූත්‍ර දේශනාවයි.

එහි දක්‌වන්නේ තෙරුවන අරමුණු කර සිදු කරන බාලයන්ගේ කෲර ක්‍රියා හමුවේ බෞද්ධයා කටයුතු කළ යුතු අකාරයයි. ඒ මෙසේයි.

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආඝාතෝ න අප්පච්චයෝ න ෙච්තසෝ අනභිරද්ධි කරයා. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා අපි නු පරේසං සුභාසිතං දුරීභාසිතං තුම්හේ ආජානෙයයථාර් ති."

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් කෝපය, නොසතුටක්‌, සිත් අමනාපකමක්‌ නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඔබලාටම එයින් අන්තරාවක්‌ වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඒ අනුන්ගේ කීම සත්‍යයක්‌ ද අසත්‍යයක්‌ ද යෑයි ඔබලා දැනගන්නේ ද?

පසුගිය කාලයෙහි ඇතැම් පාප පුද්ගලයන් විසින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනී මස්‌ අනුභව කළා යෑයි කියමින් අප ලොව්තුරා ශාන්තිනායක දසබලධාරී සර්වඥරාජෝත්තම සුගත තථාගත සම්මා සම්බුදුරජාණන්ට අපහාස කළේය. එය සැදැහැතියනට ඉමහත් වේදනා ගෙනෙන හීන ග්‍රාම්‍ය නින්දිත ප්‍රකාශයකි. එනමුත් සැබෑවටම සරණ ගියා වූ අපට බුදුරජාණන්වහන්සේ ඉහත ධර්ම මාර්ගය වදාරන සේක. කෙසේද යත් බුදුරජාණන් වහන්සේ වූ තමාට යමෙකු අපහාස කරන්නේ නම් එහිලා ශ්‍රාවක වූ අප නොකිපිය යුතුය. කීම? එයින් අනර්ථයක්‌ වන්නේ කිපෙන්නෙහුටමය.

ඒ කෙසේද?

ද්වේශය යනු අකුසලයකි. සිත දූෂ්‍ය වන කරුණක දුෂ්‍ය වනවා යනු දෝමනස්‌ස සහගත පටිඝ සම්පයුක්‌ත අසංසාරික සසංසාරික අකුසල සිත් පහළ වන්නේය. ඒ හේතුවෙන් කාය කර්ම ලෙස හෝ වචී කර්ම ලෙස හෝ මනෝ කර්ම ලෙස හෝ අකුසල සංස්‌ඛාරයෝ රැස්‌ වන්නේය. එහි විපාක ලෙස දුගති පීඩා එන්නේය. එබැවින් අරමුණ කුමක්‌ වුවද හටගන්නේ ද්වේශයක්‌ නම් ඒ හේතුවෙන් දුකට පත්වන්නේ එකී අකුසල් රැස්‌කර ගන්නහුමය. එබැවින් තමන් වහන්සේ කෙරෙහි හෝ නැත්තාවූ නුගුණ කියන කල නොකිපිය යුතුබව, සිත දූෂ්‍ය කර නොගත යුතු බව තථාගතයාණන් වහන්සේ දේශනා කළ සේක.

අහෝ ආශ්චර්යයකි. 

මාගේ මෑණි වූ ලොව්තුරා බුදු වූ උතුමාණන් වහන්සේ හැර අන් කවරෙකුට මෙබඳු වදනක්‌ පැවසිය හැකිද? කිසිවකුටත් නොහැකිමය. කිසිවකුත් පවසා ද නැත්තේමය. තමා සරණ ගියා වූ ශ්‍රාවකයකු හට අබමල් රේණුවක තරමේ වත් අහිතක්‌ නොවීමට මග සකසන මා බුදු පියාණන් කෙතරම් කාරුණිකද? ඔබ වහන්සේ සරණ යාමට තරම් මා පුණ්‍යවන්තයකු වීම වාසනාවකි.

තමාට ගරු නොකරන්නේ නම් මරා දමන ලෙස අණ කරන නාමික ශාස්‌තෘවරයෙකුට වඩා මා පියාණන් වූ බුදු රජාණන්වහන්සේ ශේ්‍රෂ්ඨය. එබැවින් ඒ ධර්ම පර්යාය පිළිපැදීම පිළිබඳ මා හට කිසිදු නොහැකියාවක්‌ නොමැත. කිසිදු චකිතයක්‌ නැත. කිසිදු සැකයක්‌ නොමැත. නැත්තේමය.

එසේ නොකිපෙන මා කුමක්‌ කරම්ද?

නිවටව සිටිම්ද?

නැත. ලොව ශ්‍රේෂ්ඨ වූ අනුත්තර වූ උත්තරීතර වූ බුදුරජාණන්වහන්සේ සරණ ගිය මම කුමට නිවටයෙක්‌ වම්ද? කුමට දීන වම්ද? එසේ විය යුතු යෑයි මා ශාස්‌තෘන් වහන්සේද දේශනා කර නැත.

ඉදින් මම් කුමක්‌ කරම්ද?

මෙසේ කළ යුතුය. කෙසේද යත්?

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි අභූතං අභූතතෝ නිබ්බේඨෙතබ්බං ඉතිපේතං අභූතං. ඉතිපේතං අතච්ඡං. නත්සෙච්ච්තං අම්හේසු. න ච පනේතං අම්හේසු සංවිඡ්ජධන්ති

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ අභූතයකි. මෙය මෙසේ අසත්‍යයකි. මෙය අප කෙරෙහි නැත. මෙය අප තුළ විද්‍යමාන වන්නේ නැත යෑයි අසත්‍යය අසත්‍ය බව කරුණු දක්‌වා පෙන්විය යුතුය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ නුගුණ කියන කල නිහඩව නොසිටිය යුතුය. කියන්නේ කුමක්‌ දැයි අසා දැහැමින් කරුණු දැක්‌විය යුතුය. මේ මේ කාරණා හේතුවෙන් මේ ප්‍රකාශ සාවද්‍යය. මේ මේ හේතුවෙන් මුසාවකි. යනුවෙන් දැහැමින් කරුණු දැක්‌විය යුතුය. අන් කිසිවකටත් නොව ශාස්‌තෘ ගෞරවය සුරැකීම පිණිසය. ධර්ම ගෞරවය සුරැකීම පිණිසය. සංඝ ගෞරවය සුරැකීම පිණිසය. බොහෝ සත්වයන්ගේ හිත සුව පිණිසය. ලොවට අනුකම්පා පිණිසය. 

කිමද යත්? යමෙකු තෙරුවන් සරණ යයි ද ඒ හේතුවෙන් ඔහු සසර දුකින් මිදෙන්නේය. යමෙකු දුකින් මිදීමට තෙරුවන් සරණ යා යුතුය. තෙරුවන් සරණ යාමට තෙරුවන ආරක්‌ෂා විය යුතුය. එබැවින් අන්තවාදී පහත් ක්‍රියාවන්ගෙන් සම්බුදු සසුන සුරැකීම සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස වන්නේය.

එපමණකින් නොනැවතණු අප මහා ශාස්‌තෘන් වහන්සේ මෙසේද දේශනා කරන සේක.

"මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආනන්දෝ න සෝමනස්‌සං න ෙච්තසෝ උබ්බිලාවිතත්තං කරයං. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍රවේ තුම්හේ අස්‌සථ ආනන්දිනෝ සුමනා උබ්බිලාවිනෝ තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ.

මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි භූතං භූතතෝ පටිජානිතබ්බං. ඉතිපේතං භූතං. ඉතිපේතං තච්ඡං. අත්සෙච්ච්තං අම්හේසු. සංවිඡ්ධජති ච පනේතං අම්හේසුර්ති."

මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද ඉදින් එහි ඔබලාට ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම වන්නේ නම් එයින් ඔබලාටම අන්තරාය වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ ඇත්තකි. මෙය මෙසේ සත්‍යයකි. මෙය අපට ඇත. මෙය අප කෙරෙහි විද්‍යමාන වන්නේ යෑයි ඇති දේ ඇති සැටියෙන් ප්‍රතිඥා කළ යුතුය. 

ඇතැම් පුද්ගලයන් බුද්ධ රත්නයේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ නිසි ලෙස නොදැන බුදු දහම වර්ණනා කරනු ලබයි. බොහෝවිට බටහිර විද්‍යාව හදාරන පුද්ගලයින් බටහිර විද්‍යාව ද නිවැරදිව නොදැන බුදු දහම ද නිවැරදිව නොදැන බුදු දහම වර්ණනා කරනු යෑයි සිතා නොදැනුවත්කමින් අගෞරව කරන අවස්‌ථා තිබේ. එබඳු අවස්‌ථාවන් හි අප සතුටු වන්නේ නම් අපට පහළ වන්නේ ලෝභ මෝහ අකුසල සිත්ය. එය අපටම අහිත පිණිස පවතින්නකි.

එසේම ඇත්තා වූ ගුණ ද පවසන කල ඒ කෙරෙහි ඇලීම නුසුදුසුය. 

එබැවින් එබඳු අවස්‌ථාවන්හිදී සතුටු නොවී හරි දේ හරි කීමටත් වැරදි දේ වැරදි බව කීමටත් ප්‍රඥාවන්ත විය යුතුය.

එයම සැබෑ ශ්‍රාවක ප්‍රතිපත්තිය වේ. එයම නිවන කරා පවතින්නේ වේ.

ඉදින් මෙසේ ශ්‍රාවක අපහට, ශාස්‌තෘ වූ තමන් වහන්සේ නිසාවෙන් හෝ අකුසලයකට ඉඩක්‌ නොතබන ඒ උතුම් මහා කාරුණිකයාණන් වහන්සේ සරණ යාමට ලැබීම අප ලද භාග්‍යයක්‌ නොවන්නේද?

ඒ උතුමාණන් සරණ ගිය අප සැවොම ඒ මහා උත්තමයාණන් වහන්සේට ගෞරව අත්කර දෙන පරිදි හැසිරීම කළ යුතුම නොවන්නේද? එසේ හැසිරීම අපගේ වගකීම නොවන්නේද?

එබැවින් පින්වතුනි,

යම් මුග්ධ මුද්ගලයන් තෙරුවනට අගෞරව කරන කල්හි නොකිපෙනු මැන. නොකිපී දැහැමින් ඒ අධර්ම ක්‍රියා වලකනු මැන.

ගුණ වර්ණනා කරන කල සැබෑ ගුණ ප්‍රකට කරමින් නැති අගුණ බැහැර කරමින් ධර්මයම ඉදිරිපත් කරනු මැන.

එය ශාස්‌තෘ ගෞරවයක්‌ මෙන්ම ඔබ අප සැමටම නිවන් පිණිස ප්‍රතිපදාව වන්නේය. එබැවින් සියලු

තැන නුවණැති වන්න. දැහැමින් ජය ලබන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි..!!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

පරසතු මදාරා මල්ගස

අද අප කථා කරන්නේ “පාරිච්ඡත්තක” සූත්‍රය යි. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව විස්තර වෙනවා.
දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට,ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.
දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.
හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.
අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

අපේ ජීවිතයත් මදාරා මල්ගස වගේ

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.
පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.

සතුට කරා යන මඟ

ඒ නිසා තථාගතයන් වහන්සේ අපට අවවාද කරනවා මේ පාරිච්ඡත්තක වාක්ෂය වගේ ඔබත් පියවරෙන් පියවර ඉදිරියට යන්න. මල් පොහොට්ටු ගස පුරා පිපුණා සේ මේ භයානක සසරෙන් එතෙර වන්න. දුකෙන් පෙළෙන අපට සතුට කරා යන්න, පී‍්‍රතිය නැති අපට පී‍්‍රතිමත් වන්නට මේ පාරිච්ඡත්තක වෘක්ෂය මඟ කියා දෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මරණාසන්නයේ සිතෙහි පහළ වන දසුන් ඊළඟ භවයට බලපානවාද?


නිරයෙ අග්ගික්ඛත්ඨ ච
පෙතලොකං ච අත්ධකං
තිරච්ඡානයො නිං ච
මං සක්ඛඣං ච මානුසං
විමා නං දෙව ලො කම්හි
නිමිත්තං ච පංච දිස්රරෙ

මෙම ගාථා ධර්මයෙන් තමන් අදහන්නා වූ ආගම කුමක් වුවද මරණය සිදුවන මොහොතේදී දර්ශනය වන්නා වූ නිමිති පහක් ගැන සඳහන් වේ. එම නිමිත්තට අනුව ඊළග ප්‍රතිසන්ධි තලයේ පුනර්භවය ඇතිවන බැව් පැවසේ.

1.අග්නි ජාලාවක් දර්ශනය වේ නම් – නිරයේ පුනර්භවය සිදුවේ

2.අන්ධකාරයක් දර්ශන වේ නම් - ප්‍රේත යෝනියක පුනර්භවය සිදුවේ

3.වන සතුන් හා වනාන්තර දර්ශනය වේ නම් තිරිසන් යෝනියක පුනර්භවය සිදුවේ

4.මියගිය ඥාතීන් හෝ මිනිසුන් දර්ශනය වේ නම් – මිනිසත් භවයේම පුනර්භවය සිදුවේ

5.දිව්‍ය විමාන දර්ශනය වේ නම් – දිව්‍ය ලෝකයක පුනර්භවය සිදුවේ

මියයමින් සිටින කෙනකුට දර්ශනය වන මෙම පංච නිමිති ගැන පර්යේෂණය කර විමසා බලා අත්දැකීම් ලබාගත් විට මෙකී නිමිතිවල ඇති සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්තු, විමානවත්තු වැනි සූත්‍ර දේශනා කොට වදාළේ මිනිසුන් අතින් සිදුවන්නා වූ අකුසල්වලින් වළක්වා කුසල් රැස්කර ගැනීමට උනන්දු කරවීමට හා ඒතුළින් මිනිසාගේ මෙලොව පරලොව දෙකෙහිම යහපත සලසාදීමටය.

අපාය ගැන දේශනා කොට මිනිසුන් බිය ගන්වා හෝ දිව්‍යලෝක ගැන දේශනාකොට මිනිසුන්ට සුරංගනා ලෝක මවා පා බුදුදහමට මිනිසුන් පොළඹා ගැනීමට ක්‍රියානොකළ ආගමික ශාස්තෘවරයකු වී නම් ඒ බුදුපියාණන් වහන්සේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන්ම දැන වදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක. එවන් දහමක් ගැන සැක නොකොට මැරෙන මොහොත දර්ශනය වන පංච නිමිති ගැන විමසිලිමත්ව කරුණු අධ්‍යනය කර බලා සත්‍ය තේරුම් ගත හැකිය. ¼

අග්නි ජාලාවක් දර්ශනය වන්නෝ හඳුනාගත හැකි ලක්ෂණ – මියයන මොහොතේ ගිනි ගොඩක් පේනවා යැයි කියන අය මෙන්ම ඒ බව නොකියා දනවා දනවා යැයි කියමින් කෑ ගසන අයද සිටිති. තවත් සමහරු කිසිවක් නොකියා අභිනයන් මගින් (පිළිස්සෙන විට පළකරන ඉරියව්) පළ කරති. ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දමන්නට හදන ලෙස හුළං පිඹින අය සිටිති. වතුර වතුර කියා ජලය හොයන අය සිටිති. එවන් අය නිරයේ යන්නෝ වෙති.

අන්ධකාරය දර්ශනය වන්නෝ හඳුනා ගැනීම – ‘මට මොකවත් පේන්නෙ නෑ. ලාම්පු පත්තු කරන්න. ලයිට් දමන්න. හරිම කළුවරයි. මොකවත් පේන්නෙ නෑ’ යැයි මරණ මොහොතේ කියන අය සිටිති. එළියක් අරගෙන එන ලෙස කෑගසන අය සිටිති. ඇස්පිල්ලන් ගසමින් ඇස් පොඩි කරමින් ඇස් නොපෙනෙන අය ඇස්වලින් පලකරන ඉරියව් පළ කරන අය සිටිති. එවන් අය කිසියම් ප්‍රේත යෝනියක පුනර්භවයක් ලබන්නෝ වෙති.

වන සතුන් හා වනාන්තර දර්ශනය වන්නෝ හඳුනා ගැනීම

අලි එනවා හරක් එනවා යැයි සතුන්ගේ නම් කියමින් කෑ ගසන අය මෙන්ම එසේ නොකියා සතුන් එලවන ශරීර පිට කරන්නෝ වෙති. එසේම නොයෙක් සතුන්ගේ කෑගසන හඬට සමාන හඬ පිටකරමින් මියයන්නෝ සිටිති. වනාන්තර ගැන තොරතුරු කියන්නෝ වෙති. එසේම කැලේ යන අය මෙන් විපරමින් වටපිට බලන ඉරියව් පල කරන අය සිටී. එසේ වන සතුන් හා කැලෑවන් දර්ශනය වන්නෝ මරණයෙන් පසු තිරිසන්ගත යෝනිවල පුනර්භවය ලබන්නෝ වෙති.

ඥාතීන් හා මිනිසුන් දර්ශනය වන්නන් හඳුනා ගැනීම

මියයන මොහොතේ තම මියගිය ඥාතීන් දර්ශනය වන අය මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම් කියමින් කතා කරන අය එම අයගේ තොරතුරු කියන අය ඒ අය සිහියට එන අය මරණයෙන් මතු මිනිසත් භවයේම පුනර්භවය ලබන්නෝ වෙති.

දෙවියන් හා දිව්‍ය විමාන දර්ශනය වන අය

මරණාසන්න මොහොතේ ප්‍රසන්න මුහුණින් යුතුව මල් සුවඳ හා මල් ගැන කතාකරන එසේම බියකරු ඉරියව් කිසිවක් පළ නොකර අහස දෙස බලා සිටින්නාක් මෙන් උඩ සිටින දෙවිවරු ගැන කියන අය සිටී. එවන් අයගේ මුවින් දිව්‍ය විමාන දිව්‍ය රථ ගැන ප්‍රකාශ වේ. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැන්නවුන්ට මෙවන් දර්ශන පෙනුන බැව් බෞද්ධ පතපොතේ සඳහන්ව ඇත. වර්තමානයේද එවැන්නෝ ගැන අසන්නට ලැබෙන අවස්ථා ඇත. එසේ දිව්‍ය විමාන, දිව්‍ය රථ මල්මාලා, මල්වට්ටි ආදී දර්ශනය වන්නෝ මරණයෙන් මතු සුගතිගාමී දිව්‍ය ලෝකවල පුනර්භවයන් ලබන්නෝ වෙති.

මේ නිසාම මරණාසන්නව සිටින අය වෙත භික්ෂුන් වහන්සේ වැඩම කරවා ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදී සිරිත, චාරිත්‍ර අදත් බෞද්ධ සමාජයේ පවතී. බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇති ධම්මික උපාසකතුමාගේ කථාව තුළින්ද දිව්‍ය ලෝකවල උපදින අයට දිව්‍ය රථ හා දිව්‍ය විමාන දර්ශනය වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර දී ඇත.

හදිසි අනතුරුවලින් ඉතාමත් කෙටි කාලයක් තුළදී මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේද යන්න සිත පිළිබඳව නොදත් කෙනකුට ගැටලුවක් විය හැක. එහෙත් මෙකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් ප්‍රමාණවත්ය.

විශුද්ධි මාර්ගයෙන් පෙන්වාදී ඇති ආකාරයට ජීවියකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක් වේ. රථ රෝදයක් කැරකෙමින් යන විට රෝදය එක් මොහොතක් පොළව හා බද්ධ වී පවතින්නේ එක් ස්ථානයකින් පමණක් වන සේම ජීවියාගේ පැවැත්ම පවතින්නේ එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බව පෙන්වා දෙයි. ඒ අනුව යම් සිතිවිල්ලක් සත්ත්වයාගේ සිත තුළ පහළවීද ඊට අදාළ ගති ස්වභාවයන් ඇත. ඒ ගති ස්වභාවය දේවගතියක් විය හැක. මනුෂ්‍ය ගතියක් විය හැක. ප්‍රේත ගතියක් විය හැක. තිරිසන් ගතියක් විය හැක. දුගති සත්ත්ව ගතියක් විය හැක. එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශන පහළවීම චිත්ත නියාමය වේ.

මේ නිසා බුදුමඟ ගමන් කරන බෞද්ධයන් වශයෙන් තම තමාගේ චිත්තසන්තානයක් තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන ්‍යෑමට සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වන්නේ නම් මරණාසන්න මොහොතේ සුගතිගාමී නිමිති දැකගැනීමට හැකියාව ලැබේ.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤